Print this Article


නෙත් සිත් කුමට බුදුහිමි රූ සිරි නොදුටු

නෙත් සිත් කුමට බුදුහිමි රූ සිරි නොදුටු

රූසිරින් වොරැඳී සිරුරකින් හෙබි, අතිශයින් පියකරු හා දැකුම්කළු, කුඩා අනුකුඩා ලකුණු විසින් දුටුවන් නෙත් මවිත කළ ලොව උත්තරීතර මනුෂ්‍ය රත්නය වන්නේ බුද්ධ රත්නයයි.

දිනපතා මම බුදුන් සරණ යෙමි’යි ඉමහත් බැතියෙන් බුදුන් සරණ ගිය හා බුදුබණ පද තොළගෑ මිනිසුන් වශයෙන් තථාගතයන් වහන්සේගේ නිකැළැල් සොඳුරු බව බැතියෙන් හා මුදුනතින් පිළිගැනීමට අපට කිසිදු බාධකයක් නැත.

කූටදන්ත සූත්‍රය වැනි සූත්‍රවල සඳහන් පරිදි අන්‍යාගමික නායකයන් පවා බුදුන් වහන්සේගේ අප්‍රතිම රූප සෞන්දර්යය පිළිබඳ අකුටිලව සිය ප්‍රසාදය පළ කළ අයුරු සූත්‍රවල දක්වා ඇත. වක්කලී තෙරණුවන් වැනි ශ්‍රාවකයන් බුදු සිරුරේ අසිරිය කෙරෙහි වශීකෘතව බලා හුන් අයුරු ඉතා ප්‍රකට ය.

මිනිසුන් නොවන සත්ව කොටස් මෙන්ම තිරිසන්ගත සතුන් පවා බුදුන් අබියස නිසොල්මන් වීමේ සෞන්දර්යාත්මක පෞරුෂයක් බුදු සිරුර තුළ ගැබ්ව තිබූ බවට නිදසුන් බොහෝ ය. එබැවින් ම එකල දඹදිව කාගේත් වැඩි අවධානයට යොමු වූ ශාස්තෘවරයාණෝ නම් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය.

බණ පොතට අනුව මහාමායා බිසව හා සුදොවුන් මහ රජුට දාව උපන් සිදුහත් කුමරු රනින් කළ රුවක් බඳු පිනෙන් වොරැඳී පුත්‍ර රත්නයකි. අවසන් සුසුම් පොද හෙළීමට පෙර මහා ප්‍රජාපතී තෙරණිය තමන් විසින් හැදූ වැඩූ එකී රන්වන් බුදු සිරුර දැකීමට ප්‍රිය කළ අයුරු මහා පජාපතී අපදානයෙහි සඳහන් වී ඇත්තේ අප සිත් තුළ බුදු බැතිය වඩවමිනි. ඒ ළමා කාලයේ දී ය.

පසු කලෙක බුදුන් වහන්සේ විසින්ම සිය තුරුණු විය පිළිබඳ දැක්වූ අදහසක් මෙසේ දක්වමු. “මහණෙනි, මා තරුණ වියේ දී ඉතා සියුමැලි ය. සියක් ගුණයෙන් සියුමැලි ය. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙන් යහපත් වූ යෞවනයෙන් යුක්ත වූයෙමි. ඉතා කළු කෙස් ඇත්තේ වූයෙමි. සොඳුරු යොවුන් වියෙහි සිටියෙමි. කඳුළු පිරි මුහුණින් මව්පියන් හඬද්දීම කෙස් රවුළු බහා පැවිදි වූයෙමි.”

සය වසක් කළ දුෂ්කර ක්‍රියාවෙන් එම සිරුර වැහැරී ගිය නමුත් ඉන්පසු යළි පැහැපත් හා ප්‍රසන්න බවට හැරී භවික පින් මතු වූ බව සත්‍යයකි. රජගහ නගර වැසියන් සිදුහත් තවුසාණන් පළමු වරට දැක වශීකෘතව බිම්සර රජුට වහා දැන්වීමෙන් එය සනාථ වේ. පොත පතෙහි එම අවස්ථාව සටහන් කොට ඇත්තේ මෙසේ ය.

“රජගහනුවර වැස්සෝ බෝසතුන්ගේ රුව දැක්මෙන් ධනපාල ඇත් රජු දුටුවාක් මෙන්, අසුරේන්ද්‍රයා දුටු දෙව්ලොව වැස්සන් මෙන් කැළඹී ගියෝ ය. රාජපුරුෂයෝ වහාම රජු හමුවූහ. දේවයන් වහන්ස, දෙවියෙක් ද, මනුස්සයෙක් ද, නාගයෙක් ද, සුපර්ණයෙක් දැයි කිව නොහැක. අපූර්ව රූප ශෝභාවකින් ශෝභමාන පුද්ගලයෙක් පිඬු සිඟති'යි දැන්වූහ” යනුවෙනි.

මෙම අවස්ථාව සියැසින් දුටු බිම්සර රජු මවිතව අසිරිමත් අද්භුත රූමත් පුද්ගලයෙක් ම යැයි මාළිගාවට කැඳවූ බව ද වාර්තා වේ.

බුදුන් වහන්සේගේ කායික රූප සෞන්දර්ය ජානමය කරුණු නිසාම සිදුවූවක් නොව ලෞකික අපට වටහා ගත නොහැකි චර්යාමය හා සාංසාරික කාරණා රාශියක් ම පදනම් කොට ඇති වූවකි. එකල විසූ ආධ්‍යාත්මික ශක්ති සහිත වූ පුද්ගලයන්ට පවා එකී කාරණය ලෙහෙසියෙන් තේරුම් ගැනීමට නොහැකි විය. බුදුබවට පත්වී පළමුව දහම් දෙසීමට බරණැසට වැඩමවද්දී හමුවූ උපක තවුසා උන්වහන්සේ දුටු මතින් පැහැදී පළමුවම පැවසූයේ “ඇවැත්නි, ඔබේ ඉඳුරන් ඉතා ප්‍රසන්න ය. සිරුරු පැහැය වෙසෙසින් ම ප්‍රභාවත් ය. නිර්මල ය.” යනුවෙනි. බාහිර ශාරීරික ලක්ෂණවලින් පමණක් නොව ආධ්‍යාත්මික ලක්ෂණ විසිනුදු අතිශයින් පිවිතුරු හා නිර්මල බුදුන් වහන්සේ කිසිවකුට සමාන කොට දැක්වීමේ හැකියාවක් නැත. එහෙයින් ම අප්පටිමො, අසදිසො වැනි පද රාශියක් බුදුන් වහන්සේට විශේෂණ වශයෙන් පෙළෙහි යෙදී ඇත. කිසිදු කලාකරුවකුට බුදුන් වහන්සේ සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කළ නොහැකි වන්නේ එහෙයිනි.

ථේරවාද මෙන්ම මහයාන බුදුසමයේ ද බුදුරදුන් යනු කවරෙක් දැයි හඳුන්වා දීමට දැරූ උත්සාහයන් දක්නට ලැබේ. බුදුන් වහන්සේට යෙදූ මහාපුරුෂ යන පදය ඉන් එකකි. ලෝකයේ මහා පුරුෂයෝ දෙදෙනෙක් වෙති. ඉන් එක්කෙනෙක් වන්නේ චක්‍රවර්ති රජතුමා ය. අනෙක් තැනැත්තා වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. චක්‍රවර්ති රජුටත් නැති මහාපුරුෂ ලක්ෂණ රාශියක් බුදුරජාණන් වහන්සේ සතු බව ත්‍රිපිටක සූත්‍රවල මෙන්ම සර්වාස්තිවාදීන්ගේ ලලිතවිස්තරය වැනි පොත්වල ද මහායානිකයන්ගේ ගණ්ඩව්‍යූහ සූත්‍රය හා ප්‍රඥා පාරමිතා සම්ප්‍රදායට අයත් අභිසමයාලංකාරලෝක වැනි කෘතිවල පෙන්වා දී ඇත.

පාලි සූත්‍රවල බුදුසිරුරෙහි දෙපතුළේ සිට හිස මුදුන දක්වා තිබූ මහාපුරුෂ ලක්ෂණ දෙතිසක් පෙළගස්වා ඇත. ලලිතවිස්තරය නම් ග්‍රන්ථයෙහි ඒවා හිස මුදුනේ සිට දෙපතුල දක්වා ගෙනහැර දක්වා තිබීම විශේෂයකි.

මෙම පොත්වල දක්වන කරුණු අනුව බුදුන් වහන්සේගේ දෙපතුල, විලුඹ, ඇඟිලි, කෙණ්ඩා, රහසඟ, සම, සමේ පැහැය, රෝමකූප, ඍජු කය, මනාව වැඩුණු කය, උරහිස්, ආරෝහ පරිණාහ බව, මුහුණේ හනු, සම සතලිසක් පියකරු දත්, දිව, අභිනීල නෙත්‍ර, බැම, දෙබැම අතර ඌර්ණ රෝමධාතුව සහ නළල් තලය යන සියලු ශරීරාංග සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා වෙසෙසින්ම වෙනස් ය. නිදසුනක් ලෙස ශ්‍රී පාද යුග්මය හඳුන්වා ඇත්තේ සුප්පතිට්ඨිතපාද යනුවෙනි. මෙයින් අදහස් වන්නේ යටිපතුල්වල නියම හැඩය සමතලා වන බවයි. උන්වහන්සේ මිහිමත පා තබා ඍජුව නැඟී සිටින විට පාද ද්වයම සමානව තැබේ. මෙය ථේරවාද අප පමණක් නොව ලෝකයේ පැවති වෙනත් බෞද්ධ සම්ප්‍රදායවල ද එකසේ පිළිගත්තකි. අනෙක් සියලු ශරීරාංගවල ද මෙබඳු විශේෂතා පැවතිණ.

කෙනකුගේ ශරීරයෙහි කිසියම් අවයවයක හෝ දෙකක විශේෂතාවක් පැවති හෙයින් සුවිශේෂී ලස්සනක් බිහි නොවේ. බුදුසිරුරේ එබඳු ප්‍රධාන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් පැවතුණි. ඒවා දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වශයෙන් අපි හඳුන්වමු. වඩාත් ආකර්ෂණීය වන්නේ තවත් සුළු සුළු විශේෂ ලක්ෂණ රාශියක් තිබීමයි. ඒවා අසීත්‍යනුබ්‍යඤ්ජන නමින් පාලි පොත්වල දක්වා ඇත.

මෙම ලිපියේ ලිපියේ ඉතිරි කොටස වෙසක් අව අටවක පෝදා (22) පත්‍රයේ පළවේ