Print this Article


අසිරිමත් බුද්ධ වර්ණනාව

අසිරිමත් බුද්ධ වර්ණනාව

බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදුමුවකින් ප්‍රකාශ කරන්නේ වී වුවත්, කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ යන්න බුද්ධ දේශනාව යි.

එපමණට ම බුදුගුණ අනන්තයි. බුද්ධ ගුණය අසීමිත යි. අචින්ත්‍ය යි කියන කරුණ තමා එයින් අර්ථවත් වන්නේ. තිවිධො බුද්ධවණ්ණො නාම, චරියවණ්ණො, සරීරවණ්ණො, ගුණවණ්ණො ‘ති යනුවෙන් අටුවාචාරින් වහන්සේ විසින් මේ වර්ණනාව පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

මේ කියැවෙන වර්ණනා තුන තමා බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳ කියැවෙන වර්ණනාව, බුද්ධ ශරීරශෝභාව පිළිබඳ කෙරෙන වර්ණනාව හා බුද්ධ ගුණය පිළිබඳ කෙරෙන වර්ණනාව.

බුද්ධ චරිතය පිළිබඳ සමස්ත ලෝකයේමත් පළ වී ඇති පොතපත පමණක් ගෙන බැලුවත් කොපමණ ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියැ වී තිබෙනවා ද කියන කරුණ හිතන කොටමත් මේ කරුණ පැහැදිලි වෙනවා. එපමණක් නොව මෙම ලියවීමේ අවසානයක් නැහැ. අදත්, මේ දැනුත් විවිධ පර්යේෂකයන්, විද්වතුන් සමස්ත ලෝකයේමත් මේ අසිරිමත් බුද්ධ චරිතයේ ස්වභාවය ගැන නොයෙක් පර්යෂේණ, වාද සංවාද කරනවා, ලියනවා.

මේ චර්යා වර්ණනාව ආරම්භ වන්නේ දිපංකර පාද මූලයේ දී සුමේධ තාපසව සිටි අවදියේ සිට යි. මේ චරිතයේ විශිෂ්ටත්වය වන්නේ තමන් අතට එදා පත් වූ නිවන් සුවය අත්හැර දැමීමෙන් ම උන්වහන්සේ අපේක්ෂා කළේ තවත් අනන්ත අප්‍රමාණ පිරිසකට ධර්මාවබෝධය ලබා දී ඒ හැම දෙනාටමත් සසර කෙළවර කර ගැනීමේ අවස්ථාව උදා කරදීම යි.

ඉතින් මෙයින් පැහැදිලි වන්නේ උන්වහන්සේගේ චරිතයේ පැවති අසාමාන්‍ය කරුණාව යි. තවත් අයකුට පිහිට වීමේ උදාර පැතුම යි. මේ තුළින් උන්වහන්සේගේ දයාව, කරුණාව පරහිත අනුකම්පාව අපරිමිත බව ප්‍රකට වෙනවා.

ඒ නිසා උන්වහන්සේ එදා අධිෂ්ඨාන කර ගත්තා. තමන්වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ලෝකත්‍රයෙහි සසර දුක් විඳීන අපමණ සත්ව ප්‍රජාව ඒ දුකින් අතමුදවන්නට. ඒ අනුව තමා සමත්‍රිංශත් පාරමී දහම් පුරා නොයෙක් ජාතිවල උපත ලබා අපමණ දුක් කන්දරාවක් වින්ඳේ.

වෙස්සන්තර ආත්මභාවයේ දී තමාගේ සුරතල් දරු දෙදෙනා ජූජක නම් නපුරු ගති ඇති රුදුරු බමුණාට දන්දීලා තම භාර්යාව මද්‍රිදේවියත් ඔහුට ම පවරා දීලා අවසන් ආත්මභාවයේ දී බුදුබව ලබා ගත්තේ.

ඊළඟට අවසාන සිද්ධාර්ථ ගෞතම ආත්ම භාවයේ දී කිඹුල්වත්නුවර රාජ්‍යයත් අතහැරලා, තම පුතු රාහුල හා දේවිය යසෝධරාවනුත් එක පයින්ම අතහැර දමා අනන්ත අප්‍රමාණ සත්ව ප්‍රජාවට පිහිට වීමේ අරමුණෙන් ම වසර 6 ක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියාව සිදු කළා.

කුස අතගාන්ට හිතා කුස අතගාන විට පිට අතගෑවෙන තරමට කෘෂව, විරූපී වුණා. අන්තිමට එහි ද නිසරු බව පසක් කර ගෙන මැදුම්පිළිවෙතෙහි අනුසස් අවබෝධ කර ගත්තා.

සුජාතාව පිළිගැන්වූ කිරිපිඩු වළඳා ඇසතු බෝරුක් සෙවණෙහි පළක් බැඳ වැඩසිටිමින් ඒකාන්තයෙන් මගේ සම්,මස් ඇට නහර වියළී ගියත්, අධිෂ්ඨාන කරගත් චතුරංග සමන්වාගත වීර්යයෙන් නැගී සිට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය ලබා මිසක් නැවත මේ ස්ථානයෙන් නොනැඟිටිමි යන අධිෂ්ඨානයෙන් වැඩ සිටියා.

එදා වෙසක් පුන් පොහෝ දිනයයි. එදින අරුණ නැඟෙනවාත් සමඟම උතුම් අභිසම්බුද්ධත්වයට පත් වීම ම අසිරිමත් චරිත වර්ණනාවක් නොවන්නේ ද?

බුදුරජාණන් වහන්සේ විශාල ගෝල පිරිසක් හැදුවා. ඒ ගෝල භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් රැක බලා ගත්තා.

යම්කිසි භික්ෂුවක් නොමඟ යනවා නම් නිරන්තරයෙන් ඒ ශිෂ්‍යවරයන් ගැන විමසිල්ලෙන් අවවාද අනුශාසනා කළා. එහෙම අවවාද අනුශාසනා කරලා කොහොම හරි නිවැරැදි මඟට ගන්නට කටයුතු යෙදුවා. එහෙම නොහැකි වනු දුටුවිට මුග්ධ භික්ෂුවකැ'යි කියා බැහැර කළා.

ඉන්පසු නැවත නැවතත් ඒ ගෝල නම ගැන විමසිලිමත් වුණා. දැන් නම් හරි, හැදිලා සිටිනවා කියා බුදු නුවණට වැටහුණ විට උන්වහන්සේ ඒ ගෝල නම සිටින තැනට වැඩලා ප්‍රශංසා කර නැවත උන්වහන්සේගේ ඇසුරට කිට්ටු කර ගත්තා.

මේ චරිත වර්ණනාවේ විශේෂ අවස්ථාවක් මෙහෙම දක්වන්නට පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ඇතුළු භික්ෂු පිරිසට අවශ්‍ය අවවාද අනුශාසනා කරලා අවසන් වී පිරිනිවන් පෑමට සූදානම් වනවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකයකුට අවශ්‍ය වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට පෙර විසඳා ගතයුතු ප්‍රශ්නයකට විසඳුමක් ලබා ගන්නට.

මේ පරිබ්‍රාජකයා ආනන්ද හාමුදුරුවන් වෙතට ගොස් දන්වා සිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර විසඳා ගත යුතු ප්‍රශ්නයක් තිබෙනවා.

ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ බොහොම අපහසුවෙන් වැඩ ඉන්නේ. මේ පිරිනිවන් පාන්නට සුදානම් වන වේලාව, බුදුහාමුදුරුවන්ට කරදර කරන්නට නම් අපහසුයි කියලා. එහෙම වුණත් මේ පරිබ්‍රාජකයා දිගින් දිගටම ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියා බුදුරජාණන් වහන්සේ හමුවීම අවශ්‍ය බව.

මේ කථාබහ අසා සිටි බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජකයාට පැමිණීමට අවසර දෙන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට දන්වා සිටියා. ඒ විදියට අවසර ලැබුණ පසු බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගැටලුව, නැති නම් ප්‍රශ්නය පැත්තක තියලා දහම් දේශනා කළා. පරිබ්‍රාජකයා මහණ වෙලා රහත් වුණා. මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා. ඒ සුභද්‍ර යි.

ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණනාව යි. උන්වහන්සේගේ රූප ශෝභාව ද අචින්ත්‍ය වූවක්. කොයි පැත්තෙන් බැලුවත් එහි අඩුවක් නම් නැහැ. අද අපි රූප ශෝභාව ගැන කථා කරන කොට රූප සුන්දරියයෝ, රූපවන්ත තරුණයෝ ගැන කථා කරනවා. ඔවුන්ගේ මොන මොන පැත්තෙන් රූපය ශෝභාවත් වුණත් හොඳට විමසිලිමත් වුණොත් විවිධ කෝණවලින් බලපුවහම අඩුපාඩු එමට යි. එහෙම වුණත් බුදුරජාණන් වහන්සේගේ රූප ශෝභාවේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ.

ඇතැම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුණේ උන්වහන්සේගේ රූප සම්පත්තිය නිස යි. එහෙම බුද්ධ රූපයට වසඟ වෙලා බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වෙලා රහත් බවට පවා පත් වූ වක්කලී මහරහතන් වහන්සේගේ කථා පුවත මෙයට හොඳම නිදසුන වෙනවා.

දවසක් දා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ ගහක් මුල විවේක සුවයෙන් වැඩ වාසය කරන අවස්ථාවක ඒ අසලින් විශාලා මහනුවර ලිච්ඡවි රාජ කුමාරවරුන් පිරිසක් සුනඛ රැළක් දක්කා ගෙන දඩයමේ ගියා. මේ වෙලාවේ මේ වෙනකොට බුදුහාමුදුරුවෝ ගැනවත්, උන්වහන්සේගේ ගුණ ගැනවත් , බුදු බණ ගැනවත් දැනගෙන නො සිටි මේ කුමාරවරු කීපදෙනා බුදුරජාණන් වහන්සේ දකිනවාත් සමඟම ඒ බුදුරුවට වසී වුණා.

මේ සැරපරුෂ දඩබ්බර විනෝදකාමි ගැටවර පිරිස බුදුරුව දකිනවත් ම ඔවුන් ශරීරයේ රඳවා ගෙන සිටි දුනු ඊතල සියල්ල බිම දැමුවා. සුනඛ රැළ යන අතක යාමට සලස්වා බුදුරජාණන් වහන්සේ සිටි තැනට ගිහින් වටකරගෙන උන්වහන්සේට වැඳ ගෙන ශරීරයේ කිසිදු සෙලවීමක්වත් නැතිව නිශ්ශබ්දව ගල්ගැසී බිම බලාගත්වනම සිටියා.

මේ අවස්ථාවේ මහානාම ලිච්ඡවී නම් ප්‍රසිද්ධ ලිච්ඡවි රජතුමා මේ මඟෙහි යනවිට මේ සිදුවීම දැක පුදුම වුණා. මේ සුප්‍රකට දඩබ්බර තරුණ ලිච්ඡවි කුමාරවරුන්ගේ ශාන්ත හැසිරීම පිළිබඳව.

බුදුරජාණන් වහන්සේටත් මේ මහා අසිරිමත් වෙනස ගැන මහානාම රජතුමා ප්‍රකාශ කළා. ඒ සියල්ලම එසේ සිදු වූයේ උන්වහන්සේගේ දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගේ ශෝභාව හා අසූඅනුව්‍යඤ්ජන ශරීර වර්ණනාවේ ස්වභාවය නිසයි.

ඊළඟට සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙවැනි වර්ණනාව වන ගුණ වර්ණනාව යි. බුදුගුණ සංක්ෂේප කරලා නවයක් ප්‍රකට වශයෙන් බෞද්ධයෝ නිරතුරුව බුද්ධ වන්දනාවේ දී සිහිපත් කරනවා.

අරහං යන පළමු ගුණයෙන් ආරම්භ වෙන ඒ ගුණ නවය ගැන සිතීම පවා දුෂ්කර කාර්යයක්. මේ අරහං යන බුදුගුණයේ අසිරිය පෙන්වන්නට දඹදෙණි රාජධානි සමයෙහි මහා බණ පොතක් මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමිපාණන් විසින් රචනා කරලා තිබෙනවා. ඒ පොතට කියන්නේ පූජාවලිය කියල යි. ඒත් ඉතින් මෙවැනි බණ පොතකින් පවා උන්වහන්සේට ඒ අරහං යන බුදුගුණයෙහි තරම පෙන්වා දීමට නො හැකි වී තිබෙන්නේ ඒ එක ගුණයක පවා තිබෙන දිග පළල සිතීමට පවා දුෂ්කර නිස යි.

බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය විස්තර කරන්නට පොළොන්නරු රාජධානි කාලයේ ගුරුළුගෝමි මහාපඬිවරයා විසින් අමාවතුර නමින් එවැනි ම මහා බණ පොතක් ලියා තිබෙනවා.

දීඝනිකායේ මහා ගෝවින්ද සුත්‍රයේ දී තව්තිසා දෙව්ලෝ වැසි දෙවියන් අමතා ශක්‍ර දේවෙන්ද්‍රයා විසින් බුදුගුණ අටක් ප්‍රකාශ කරලා තිබෙන ආකාරය සඳහන් වෙනවා. එයින් කියැවෙන පළමු වැන්න බුදුරජාණන් වහන්සේ තම සම්පුර්ණ ජීවිතයම ගත කළේ දෙවිමිනිසුන්ට වැඩ පිණිස යන්නයි.

දෙවැන්න වුණේ උන්වහන්සේ ඒ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කළේ මෙන්න ඒ දහම, මේ බලන්න, ප්‍රතිඵල මේ වෙලාවෙම ලැබෙනවා කියන ගුණය. තෙවැන්න වූයේ උන්වහන්සේ කුසල් අකුසල් හොඳ නරක, කළ යුතු හා නො කළ යුතු දේ පැහැදිලිව පෙන්වා දුන්නා.

සිව්වෙනුව උන්වහන්සේ සදාකාලික නිවීම වූ නිවනත් ඊට පිළිපැදිය යුතු මගත් පෙන්වා දුන්නා. පස්වෙනුව උන්වහන්සේට දානමාන, ලාභ, කිර්ති ප්‍රශංසා අප්‍රමාණව ලැබුණු ආකාරය පෙන්වා දුන්නා.

සයවෙනුව උන්වහන්සේ පිරිවරා යන එන ඉතාමත් ශ්‍රේෂ්ඨ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම ප්‍රධාන පිරිසක් වැඩසිටින බව ප්‍රකාශ කළා. සත්වෙනුව උන්වහන්සේ එකල කිසිදු වෙනත් ශාස්තෘවරයකුගෙන් ප්‍රකාශ නො වුණු, කියන දේ කරන, කරන දේ කියන යථාවාදි තථාකාරි ගුණයෙන් යුක්ත වූ ආකාරය පෙන්වා දුන්නා.

උන්වහන්සේට කිසිවක් පිළිබඳ සැක සාංකාවක් නැතිව සියලු දහම පැහැදිලිව සෘජුව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුණා. මේ අටවැන්න යි. මේ සියල්ලම ඒ අසිරිමත් වූ බුද්ධ වර්ණනාව යි.