Print this Article


පූජාච පූජනීයානං

විශ්වකලාවේ නායක හාමුදුරුවෝ

මැදවච්චියේ රතනපාල නාහිමිපාණන් වහන්සේ

තිරිකුණාමලය, ගෝමරන්කඩවල සුරුළු මහමුනියාව රාජමහා විහාරය, පිළියන්දල විශ්වකලාව බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු දසමහා විහාරාධිපති, මහනුවර මල්වතු මහා විහාරයේ විශේෂ කර්ම වාගාචාර්ය, තිරිකුණාමල දිසාවේ බටහිර කට්ටකුලම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, විචිත්‍රභාණී මැදවච්චියේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සැත්තෑ දෙවන ජන්ම දිනය මැයි මස නව වැනි දිනට යෙදේ.

තිරිකුණාමල දිසාවේ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයට අයත් මැදවච්චිය ග්‍රාමයේ විසූ කපුරාළලාගේ ධර්මරත්න මැතිතුමාගේ සහ කව්රාළලාගේ කිරිහාමි මැතිණියගේ දෙටු පුත්‍ර වන ලෙස වර්ෂ 1950 මැයි මස 09 වන දින නාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලදහ.

නව හැවිරිදි වියේ දී ඓතිහාසික සුරුළු මහමුනියාව රාජ මහා විහාරයේ දී මැදවච්චියේ රතනජෝති මාහිමියන්ගේ සහ කිවුලේකඩ සීලවංස හිමියන්ගේ ආචාර්යයත්වයෙන් පැවිදි බව ලැබූහ.

ස්වකීය ගුරුදේව කිවුලේකඩ සීලවංස හිමියන් අපවත් වීමෙන් පසු හේරත්හල්මිල්ලෑවේ ගුණරතන නාහිමියන්ගේ ශිෂ්‍යභාවයට පත්ව පිරුණු විසි වයස් ඇතිව මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

වර්ෂ 1963 දී කොළඹ දිස්ත්‍රික්කයේ මාම්පේ ශ්‍රී සෝභිත විශ්වවිද්‍යාල පිරුවනට ඇතුළත්ව ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය දක්වා වර්ගපටිපාටියෙන් අධ්‍යාපන කටයුතු සිදු කළ අතර පිරිත් දේශනා පිළිබඳ ප්‍රගුණ කළේ මේ වකවානුවේ දී ය.

පිරිත් රජ්ජුරුවෝ ලෙසින් විරුදාවලි ලත් වත්තල ශ්‍රී සීලරතන නාහිමිපාණන් වහන්සේ සමඟ පිරිත් දේශනා කිරීමට භාග්‍යවත් වූ රතනපාල නාහිමියෝ එම නිසා සමාජයේ ඉහළ ජනප්‍රසාදයක් ලැබූහ.

වර්ෂ 1976 බෙල්ලන්විල රාජමහා විහාරයේ දී මංගල සති පිරිත් අනුශාසනාව සිදු කොට 1977 වර්ෂයේ කැලණි රාජමහා විහාරය ඇතුළු බොහෝ ස්ථානවල පිරිත් අනුශාසනා සිදු කළහ. තිස්පෑ දේශනා, තිස්පෑ හතේ දේශනා, සති පිරිත් දේශනා, විහාර අස්න, දොරකඩ අස්න ඇතුළු පෞරාණික චාරිත්‍රවිධින්ට අනුකූලව පිරිත් දේශනා කිරීමට අද ලක්දිව වැඩසිටින ජ්‍යෙෂ්ඨතම නාහිමිපාණන් වහන්සේ නමක වශයෙන් කීර්තියට පත් වන සේක.

කලාපුරයේ සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත භූමි භාගයෙහි විශ්වකලාව බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට වර්තමානයේ සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් ඉදි කරවන ලදහ.

විහාර අස්න හෙවත් නම් පොතෙහි සඳහන් වන ඓතිහාසික සුරුළුමහමුණියාව රාජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන දහයක ආධිපත්‍යයට පත් වූහ.

මල්වතු මහා විහාරය විසින් විශේෂ කර්මවාගාචාර්ය පදවියකින් පුද ලද රතනපාල නාහිමිපාණන් වහන්සේ උපසම්පදා පුණ්‍යකර්ම සඳහා දායකත්වය ලබා දුන්හ. 2001 වර්ෂයේ දී ස්වකීය ආචාර්යයන් වහන්සේගෙන් පුරප්පාඩු වූ තිරිකුණාමල දිසාවේ බටහිර කට්ටකුලම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය සද්ධර්මකීර්ති ශ්‍රී විචිත්‍රභාණී ගුණරතන යන ගෞරව නාමය සහිතව පුද දෙන ලදි.

විචිත්‍රභාණක හිමිනමක වන මැදවච්චියේ රතනපාල නාහිමිපාණන් වහන්සේ හට ලෝක ශාසන සංග්‍රහය පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් ප්‍රාර්ථනා කොට සිටිමු


අනුනායක පදවි ලබන

අඹේවෙල වජිරඤාණ නාහිමිපාණන් වහන්සේ

වර්ෂ 1960 දෙසැම්බර් 13 වැනි දින වීරසූරිය මුදියන්සේලාගේ පුංචිබණ්ඩා මහෝපාසකතුමන්ගේ සහ බාදන මුදියන්සේලාගේ ලොකුමැණිකා මැතිණියගේ පුත්රුවනක ලෙස ජන්මලාභය ලබා හෙවණකුඹුර පුඤ්ඤසාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා වර්ෂ 1977 මැයි මස 20 වැනි දින අඹේවෙල පුඤ්ඤසාර මාහිමියන්ගේ සහ ඌව ස්‍යාමවංශික මහා නිකායේ වර්තමාන අධිකරණ නායක අඹේවෙල රාහුල නාහිමිපාණන්ගේ ශිෂ්‍යවරයකු වශයෙන් තෙන්නකෝන්වල පූර්වාරාමයේ දී පැවිදි බිමට පත් වූහ.

කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරුවනින් මූලික අධ්‍යාපනය ලබා පෙරදිග මහා තක්ෂිලාව යැයි නම් ලද ලක්දිව සුපතළ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවනට ඇතුළත්ව සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඇදුරු පා සෙවණේ අධ්‍යාපනය ලැබූහ.

පිරුණු විසිවයස් ඇතිව කැප්පෙටිපොල ශ්‍රී සුභද්‍රාරාමස්ථ ශ්‍රී සුමංගල උපෝසථාගාරයේ දී සියම් මහ නිකායේ ඌව පාර්ශ්වීය මහ සඟරුවන වෙතින් උපසම්පදාව ලැබූහ.

අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව සාර්ථකව අධ්‍යාපනය ලබා ත්‍යාග සහිතව ත්‍රිපිටකවේදී උපාධිය ලබා ඉනික්බිති කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගුරු සේවයට එක්ව සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ මූලස්ථානය වූ ස්වකීය මුල් ගුරු භූමිය වූ සෝමානන්ද පිරිවෙනෙහි ආචාර්ය පදවියකට පත් වූහ. අනුක්‍රමයෙන් නියෝජ්‍ය පරිවේණාධිපති සහ පරිවේණාධිපති පදවි හොබවා 2020 වර්ෂයේ දී විශ්‍රාම ලැබූහ.

විහාරස්ථානයේ දහම්පාසල අකර්මණ්‍ය වී තිබීම නිසා 80 දශකයේ එම දහම් පාසල ප්‍රතිසංවිධානය කොට මේ දක්වා පවත්වා ගෙන ඒමත්, විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීමටත් නාහිමිපාණන් වහන්සේ පුරෝගාමී වූහ.

ඌව ස්‍යාම වංශික නිකායේ කර්මවාගාචාර්ය, කාරකසභික, නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ මහා ලේඛකාධිකාරී තනතුරු හොබවන ලද වජිරඤාණ නාහිමියන් 2021 වර්ෂයේ දී අතිපූජ්‍ය වැටහිරේ සෝරත අනුනාහිමියන් මහා නායක පදවියට පත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවියට පත් වූහ. එසේම උපසම්පදාවන්හි ථෙරාසනය හෙබවීම පිණිස උපාධ්‍යාය පදවියකින් අනුනාහිමිපාණන් වහන්සේ සම්මානිත කිරීමට නිකායික සංඝසභාව තීරණය කරන ලදි.

අභිනව අනුනාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීම මැයි මස 8 වැනි දින පෙරවරුවෙහි කැප්පෙටිපොල සුභද්‍රාරාම විහාරස්ථ සියම් නිකායේ ඌව පාර්ශ්වයේ මූලස්ථානයේ දී සිදු කෙරෙන අතර අභිනන්දන උත්සවය එදින පස්වරුවේ හෙවණකුඹුර පූර්වාරාමයේ දී පැවැත්වේ.

අභිනව අනුනායක මාහිමිපාණන් වහන්සේ හට ලෝක ශාසනික සංග්‍රහය පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කොට සිටිමු.