Print this Article


ගැටලුව අභියෝගයක් කොට නිර්මාණාත්මක පිළිතුරක් සොයන්න

ගැටලුව අභියෝගයක් කොට නිර්මාණාත්මක පිළිතුරක් සොයන්න

එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් දිනක් පැනයක් විමසයි. ඒ පැනය නම් ඇතුළතත් ගැටලු ය. පිටතත් ගැටලු ය. ගැටලු , ගැටලු ජාලයක පැටලී ඇත. බුදු රජාණන් වහන්ස මේ ගැටලු විසඳන ක්‍රමවේදය කුමක් ද යන්නයි. එවිට බුදුරජාණන් වහන්සේ ඔහුට නිසි පිළිතුරක් ලබා දෙති.

සීලයෙහි පිහිටන්න. සමාධිය ගොඩනඟා ගන්න. ප්‍රඥාවෙන් කටයුතු කරන්න. එවිට සියලු ගැටලු විසඳිය හැකි බවයි.

සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂණය පුද්ගල සන්ථාන ගත ගැටලු විසඳයි. සමාජ ගත ගැටලු විසඳයි. මෙලොව ගැටලු විසඳයි. පරලොව ගැටලු විසඳයි. ලෞකික ගැටලු විසඳයි. පාරලෞකික ගැටලු විසඳයි. සම්මුති හෙවත් මෙලොව අප විසින් සම්මත කර ගත් ගැටලු විසඳයි. පරමාර්ථ වශයෙන් මේ භව සංසාරය පුරාවට ඇති දුක නැමති ගැටලුව විසඳා ලෝකෝත්තරව ලබන සුවය ලබා දෙයි.

සීලය විවිධ වෙයි. පඤ්ච සීලය, උපෝසථ අෂ්ඨාංග ශීලය, ආජීව අෂ්ටමක සීලය, දස සීලය, කෝටියක් සංවර සීලය, චූල සීල, මධ්‍යම සීල, මහා සීල, චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල ආදි වශයෙන් විවිධ ලෙස කොටස් කර ඇත.

සරලව ගත් විට කය හා වචනය සංවර කර ගැනීම සීලයයි. කයින් කරන ක්‍රියාකාරකම් වෙයි. වචනයෙන් සිදුවන කථා බහ වෙයි. ඒවා තමන්ට හානිකර නම්, අනුන්ට හානිකර නම්, තමන්ටත් අනුන්ටත් දෙපිරිසට ම හානි කර නම් ඒවා සිදු කරද්දී සිතට දුකක් දැනේ නම්, එහි ප්‍රතිවිපාකය කදුළු පිරි මුහුණින් භූක්ති විඳින්නට සිදු වේ නම්, එය කය අසංවර වීමයි. සිත අසංවර වීමයි.

සතුන්ට හිංසා කිරීම, සතුන් මැරීම, හොරකම් කිරීම, මංකොල්ල කෑම, වැරැදි ආකාරයේ ස්ත්‍රී පුරුෂ සේවනය, මත්පැන් හා මත්ද්‍රව්‍ය පරිහරණය, බොරු, කේළාම්, පරුෂ හා නිෂ්ඵල කථා කිරීම මේ ආදි දේ සිදු කිරීම ඒ අසංවර භාවයයි. මෙම පාපී දෙයින් වෙන් වීම සීලයයි.

ඒ සීලය සමාජයෙහි සියලු ක්ෂේත්‍ර තුළ තිබිය යුතුයි. අධ්‍යාපනය, දේශපාලනය, ආර්ථිකය, හා සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සීලය සුරැකෙයි නම්, අර්බුද හට නොගනියි. සීලයෙන් තොර බව, ආදරය, කරුණාව, දයාව, ආදී යහපත් සිතිවිලි නොමැති වීම හා වෛරය, ක්‍රෝධය, රාගය, මානය වැනි අයහපත් චේතනාවන්ගෙන් යුක්ත වීම සියලු අර්බුදයන්ට හේතු වෙයි.

සීලය නොමැති වූ විට චිත්ත සමාධිය ගොඩ නොනැඟෙයි. නොසන්සුන්කම, සැකය, පසුතැවිල්ල හට ගනියි. එවන් සිත් තුළ නරක සිතිවිලි ගොඩ නැඟෙයි. මම මගේ කියන ආත්මාර්ථය, සැකය, මිථ්‍යා ඇදහිලි විශ්වාස පසු පස්සේ යාම, කම්සැප විඳීමේ ආශාව , රූපය පිළිබද ආශාව, යථාර්ථය නොදැකීම, අනවබෝධය, මානය, වෛරය ආදි විවිධ විනාශ කාරී සිතිවිලි උපදියි. ඒ සිතිවිලි තුළින් කරන සියලු ක්‍රියාකාරකම්, සියලු වචන අර්බුද ගොඩනඟයි.

කය, වචනය සංවර කරගත් විට සිත සමාධි ගත වෙයි. එකඟ සිතක් ගොඩනැඟෙයි. ඒ සිත මම, මගේ ආකල්පයන්ගෙන් තොර වෙයි. නොදුටු දෙවියන්, යකුන්, භූතයන් පසු පස්සේ ලුහු බැඳීම නතර වෙයි.

කාමය පසු පස්සේ, රූපය පසු පස්සේ දිවීම නතර වෙයි. අවබෝධයෙන් කටයුතු කරයි. මෛත්‍රී සහගත වෙයි. අනතිමානි වෙයි. සන්සුන් වෙයි. ඒ සමාධි සිත ගැටුම් නැති කරයි. ගැටුමක් ඇති වූ කල ඒ සඳහා නිවැරැදි විසඳුම් ලබා දීමට අවශ්‍ය බුද්ධිය නැතහොත් ප්‍රඥාව ගොඩනඟයි.

බුදු දහම වනාහි ප්‍රඥා මූලික දර්ශනයකි. එය විශ්වාසය පදනම් කර ගත් දහමක් නොවෙයි. විශ්වාසයට එහා ගිය යථාර්ථය දකින දහමකි. එම දැක්ම මසැසින් පමණක් නොව නැණැසින් ද දකියි. දකින දේ එලෙසම මුලාවකින් නොදකියි. සිතින් දකියි. පරිකල්පන ශක්තියෙන් දකියි. සුවිශේෂීව දකියි. ඒ දැක්ම ප්‍රඥාවයි.

ජීවත්වීම යනු ගැටලු රාශියකි. මෙම ජීවිතය තුළ මුහුණ දෙන ගැටලුවලට නිවැරැදි පිළිතුරු සොයා ගැනීම ප්‍රඥාවයි. ප්‍රඥාව ඇති විට ගැටලුවට ඇති නිවැරැදි ම විසඳුම ලබා දෙයි.

සමහර ගැටලු සඳහා පිළිතුර ද ගැටලුවක් වෙයි. පිළිතුරු නැති ගැටලු ඇත. ඒ සඳහා නිර්මාණාත්මක ව පිළිතුරු ගොඩනඟයි. ප්‍රඥාව යනු එයයි.

ප්‍රඥාව බුදු දහම තුළ සුවිශේෂී වෙයි. කරණීය මෙත්ත සූත්‍රයේ දී දියුණුවන්නකු තුළ තිබිය යුතු ගුණ ධර්මයක් ලෙස “ නිපකො ” දක්වා ඇත. “ පඤ්ඤා නරානං රතනං” ප්‍රඥාව මිනිසුනට රත්නයක් යැයි කීම තුළ ප්‍රඥාව මැණිකක් මෙන් අනර්ඝ ය. අලංකාර වෙයි. ප්‍රඥාව පිළිබඳ වඩාත් ආලෝකය ලබනුයේ උම්මග්ග ජාතකය තුළිනි. උම්මග්ග ජාතකයෙහි සියලු සමාජ ගැටලු සඳහා බුද්ධිමත් ව කටයුතු කළ ආකරය දක්වයි. බුද්ධිමත් ව සමාජ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය දක්වයි.

විටෙක කිහිරි දණ්ඩක් එවා එහි මුල අග සොයා දෙන ලෙස දක්වයි. එහි පිළිතුරු ඇත. කිහිරි දණ්ඩෙහි මුල කොටස බර වැඩි වෙයි. අග කොටස බර අඩු බවයි.

තවත් විටෙක ගොනකු හොඳට කවා බඩ පුම්බවා ඔහු පැටියකු බිහි කරන්නට සිටින බවත් ඒ පැටියා ප්‍රසූත කර එවන ලෙස දක්වයි. එවිට මුඛරි මිනිසකු ලවා තමන්ගේ පියා ප්‍රසූත වේදනාවෙන් සිටින බවත්, ඔහු වදවා දෙන ලෙස දැක් වු විට පැනයට පැනයකින් ම පිළිතුරු දෙයි.

තවත් විටෙක පැනයට පිළිතුරු නිර්මාණය කරයි. අෂ්ඨවංක මාණික්‍යයට නූලක් දමා දෙන ලෙස කියූ විට මැණිකෙහි සිදුරු දෙකෙහි පැණි ගා එසේ පැණි ගෑ නූලක් එක සිදුරක තබයි. කුහුඹුවෝ ඒ පැණි ගෑ නූල ඇදගෙන ඊ ළඟ සිදුරෙහි ඇදී පැණි සුවඳ ඔස්සේ ගමන් කරති.

මේ අයුරින් යුද්ධය, සාම සාකච්ඡා, බරපතළ ව්‍යසනකාරි තත්වයන් උපසමනය කිරීම ආදි නොයෙක් කටයුතුවල දී බුද්ධිමත්ව කටයුතු කළ යුතු ආකාරය දක්වයි.

උම්මග්ග ජාතකයෙහි මේ අයුරින් දක්වනවා මෙන් ම ජාතක කථා කිහිපයක ම බුද්ධියෙන් ගැටලු විසඳා ගන්නා ආකාරය දක්වයි.

නළපාන ජාතකයෙහි දැක්වෙන්නේ අනතුරක් ඇති විට නිර්මාණාත්මක පිළිතුරක් සොයා ගැනීමකි. වතුර බීම කළ යුතුයි. බොන්න ගිය සතුන්ගේ පා සලකුණු ඇත. එහෙත් ආපසු ආ බවක් නැත.

ඒ පොකුණෙහි වූ රකුසකු එම සතුන් අල්වා ආහාරයට ගැනීමයි. එහි දී වඳුරු නායකයා උණ බටයක් ගෙන, එය සිදුරු කොට එයින් වතුර බීවේ ය. ඇති වූ ගැටලුව අභියෝගයක් කොට ගෙන නිර්මාණාත්මක පිළිතුරක් ගොඩ නඟා ගත් ආකාරයයි.

වානර ජාතකය තුළ වානරයා තමාගේ ජීවිතය කිඹුලාගෙන් බේරා ගන්නේ බුද්ධිමත් ව කටයුතු කිරීම තුළිනි.

දහම්සොඬ ජාතකයෙහි දක්නට ලැබෙන්නේ ගැටුමක් සිදු නොවී හැම දෙනාගේ ම අවශ්‍යතාව ඉටු කර ගන්නා ආකාරයයි. රජුට බණ ඇසීමේ අවශ්‍යතාව ඇත. යක්ෂයාගේ අවශ්‍යතාව තමන්ගේ කුස ගින්න නිවා ගැනීමයි. දෙදෙනාගේ ම අවශ්‍යතා කිසිදු ගැටුමකින් තොරව විසඳා ගත් ආකාරය එහි දක්වයි. බුද්ධිමත් භාවය මේ තුළින් පැහැදිලි වෙයි.

එසේම ජාතක කථා කරුවා මෝඩකම් තුළින් ඇතිවන විනාශයක් දක්වයි. සිගාල ජාතකයෙහි එක් සිගාලයෙක් බමුණකු පාඩම් කරන බලගතු වශී මන්ත්‍රයක් අසා පාඩම් කර ගනී. මන්ත්‍රය ජප කොට ඔහු වනේ සතුන් වශී කොට කැලේ රජා බවට පත් වෙයි. ඔහු සිංහ, ඇත් ආදි සතුන්ගේ සේනාංක හදයි.

ඔහුට කැලේ රජකම පමණක් නොව දඹදිව රජකම ද අවශ්‍ය වෙයි. දඹදිව තම සේනාව මගින් වටලයි. එක්කෝ රාජ්‍ය ලබා දෙන්න. නැතිනම් සටන් කරමු යයි රජුට පණිවුඩ යවයි. රජු සිවලා හා සාකච්ඡා කරයි. සාකච්ඡා කොට ඔහුගේ යුද මෙහෙයුම හඳුනාගෙන සටන් කරමු යැයි පණිවුඩ යැවී ය.

එහි දී සිවලා කෝපයට පත් ව සිංහ හමුදාවට කේසර සිංහ නාද පවත්වන්නට අණ කරයි. සිංහ නාද පැවැත් වූ විට සිවලා ඇතුලු සියලු සතුන්ගේ කන් අඩි පැලී මරණයට පත්විණි. අඥානකම නිසා විනාශය සිදුවන අයුරු ඉන් කියැවෙයි.

මේ අයුරින් බලන විට ගැටලු විසඳීම සඳහා බුද්ධිමත් විය යුතුයි. එසේ නොමැති වුවහොත් අත්වන්නේ විනාශයයි. එම නිසා බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය.