Print this Article


තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු ය

තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු ය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන - භාසති වා කරොතිවා
තතො නං දුක්ඛ මන්වෙති - චක්කංව වහතො පදං

මනස මූලික වීමෙන් සිතිවිලි උපදී. සිතිවිලිවලට මනස ම ශ්‍රේෂ්ඨ වෙයි. එවිට සිතිවිලි මනෝමය නම් වේ.

රාග, දෝස, මෝහ ආදී වූ කෙලෙස් හේතු කොටගෙන හිත කිළිටි වෙයි. එසේ කිළිටි වූ සිතින් කියන කරන දේ දුක් ලැබීමට කාරණා වෙයි. කරත්තයේ බැඳි ගොනාගේ පියවර අනුව කරත්ත රෝද ගමන් ගන්නාක් මෙනි. තමන් කළ කර්ම තමන් පසු පස ගමන් කරයි.

“පභස්සර මිදං භික්ඛවෙ චිත්තං තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්ඛිලිට්ඨං” පුද්ගලයාගේ සිත පිළිබඳ ස්වභාවය මේ පාඨයෙන් විස්තර වේ. මහණෙනි, මේ සිත ප්‍රභාස්වර ය. එහෙත් අමුතුවෙන් ඇතුළුවන කෙලෙස් නිසා කිළිටි වෙයි.

ළදරු හිත පැහැදිලි ය. පිරිසුදු ය. බැබළෙන සුළු ය. ඒ නිසා නොකිළිටි වූ හිතේ ආලෝකය සිරුර විනිවිද පිටතට ගලා එයි. එබැවින් සියල්ලන්ගේ හිත ළදරුවා වෙත ඇදී යයි. එයට අපි ආදරය යැයි කියමු.

එකී ළදරුවා වයසින් මුහුකුරා යනවාත් සමඟම ආශාව, තරහව ආදි අපිරිසුදු චෛතසික සිතේ පහළ වෙයි. එවිට සිත කිළිටි වී යයි. ඒ සමඟම ලෝකයාගේ හිත් බැඳ ගන්නා ශක්තිය ක්‍රමයෙන් ළදරුවා තුළින් ඉවත්ව යයි.

ඇතැම් බාල වයසේ ළමයින්ට ජාති ස්මරණ ඥානය පහළවන හැටිත්, අවුරුදු කීපයකින් පසු ඒ ශක්තිය ඉවත්ව යන බවත් අපි දනිමු.

පුද්ගල සන්තානයෙහි, පුද්ගලයා විසින් භවයෙහි දී එක් රැස් කරන ලද අකුසල් තැන්පත්ව පවතී. ඒවාට ආශ්‍රව යැයි කියයි. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව ලෙස ආශ්‍රව සතරාකාර ය.

පස්කම්හි ඇලීමේ පුරුද්ද කාමාසව යි.

සසර ඉපදීමට ඇති කැමැත්ත භවාසව යි.

වැරැදි ඇදහීම් පිළිගැනීමේ පුරුද්ද දිට්ඨාසව යි.

මෝඩකම අවිජ්ජාසව යි.

ප්‍රභාස්වර වූ සිත් දූෂණයට පත්කරන ප්‍රධාන දේ නම් මේ ආශ්‍රවයෝ ය. තව ද චිත්ත සන්තානයෙහි නිදාගන්නාක් මෙන් සිට උපතට හේතු ලැබීමෙන් මතුවන සත් වැදෑරුම් ක්ලේශයෝ ද ඇත.

එනම් කාමරාග, භවරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා යන මොවුහු ය.කාමවස්තු ගැන ඇල්ම කාම රාගයයි.භවයේ ගමන ගැන ඇල්ම භව රාගයයි. තරහව පටිඝ නම් වේ. අහංකාරකම මාන නම් වේ. වැරැදි දැකීම දිට්ඨි යයි. බුද්ධාදී අටතැන්හි සැකය විචිකිච්ඡාවයි. මෝඩකම අවිජ්ජාවයි.

මේ සියල්ල සිතේ ප්‍රභාස්වර ගතිය පිරිහී යාමට හේතූන් ය.

තවද කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන අකුසල් ගති තුනක් ද සිතට එක් වෙයි.

රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස්කම්හි සිත යෙදීම කාම විතර්කයයි.

අනුන් නැසේවා,වැනසේවා’යි සිතීම ව්‍යාපාද විතර්ක යයි.

අනුන්ට හිංසා පීඩා කිරීමේ චේතනාව විහිංසා විතර්කයයි.

සත්වයා විසින් අකුසල් කරන විට සිතට හොරා නොකළ හැකි බැවින් හිත අපිරිසුදු බවට පත්වේ. එවිට ඒ අපිරිසුදු සිත නිසා ලබන විපාක දුක්ඛ සහගත වේ.

සත්වයාගේ ආයුෂය, වර්ණ, සැපය, බලය, ප්‍රඥාව යන සම්පත් ලැබීමට හේතු වන්නේ කුසලා කුසල කර්ම බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක. ලෝක සත්වයන්ගේ විවිධ හැඩරුව, විවිධ දක්ෂතා ආදියට හේතු වී ඇත්තේ ඔවුනොවුන් කරන ලද කර්මයයි.

විසිතුරු ලෙස දහම් දෙසූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාශය ද විසිතුරු ය. සත්ව සන්තානයට බලපාන ආකාරයට ක්ලේෂයන්ට ද විවිධ නම් යොදා කෙලෙස් සමුදාය පැහැදිලි කර වදාරණ ලදී.

කාම ඕඝ,භව ඕඝ,දිට්ඨි ඕඝ,අවිජ්ජා ඕඝ යනුවෙන් කාමාදි සතර සත්වයා සංසාර සාගරයට ගසා ගෙන යන බලවේග සතරක් නැතහොත් සැඩ පහරවල් සතරක් ලෙස දක්වා වදාළහ. මේ සතරම සත්වයා සසර බැඳ තබන යන තේරුම අනුව ඕඝ යන නමින් ද දක්වා වදාළහ. කාමුපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදුපාදාන යනුවෙන් භවය අල්ලා ගෙන සිටී යන අදහස අනුව උපාදාන සංඛ්‍යාවට කාමාදිය ඇතුළත් කර ඇත.

සංසාරයෙහි සත්වයා ගැට ගසා තබන අර්ථයෙන් සංයෝජන නාමයෙන් ද කෙලෙස් දහයක් දක්වා වදාළහ. එකී දස සංයෝජන වලින් පහක් ඕරම්භාගිය සංයෝජනයෝ ය. පහක් උද්ධම්භාගිය සංයෝජනයෝ ය.

ධ්‍යාන ලැබීමට බාධා ගෙන දෙන්නා වූ භාවනාවෙන් යටපත් කළ යුතු වූ නීවරණ නමින් හඳුන්වන කෙලෙස් පහක් ද දක්වා ඇත. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච,විචිකිච්ඡා නම් වූ මේවා සත්‍යය වසාලන අර්ථයෙන් නීවරණ නම් වේ.

සත්‍ය අවබෝධ කිරීමට විරුද්ධ ව සිත හා යුද වැදුනු මාර සේනාව නම් වූ කෙලෙස් සේනාවක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බව ප්‍රකට කරුණකි. කාමය, අරතිය, ක්‍ෂුධාව, පිපාසය, තණ්හාව, ථීනමිද්ධ, උත්ත්‍රාසය හෙවත් බිය ,විචිකිච්ඡාව, ගුණමකු බව ථම්භය නම් වූ දළදඬු බව, ලාභ සත්කාර, කීර්තිය, යසස තමන් උසස් කොට හා අනුන් පහත්කොට සැලකීම යන මොවුහු ඒ මාර සේනාවයි.

ඉහත කී විවිධ නම්වලින් හඳුන්වනු ලබන සියලු අකුසල ධර්මයන් සිදු කෙරෙනුයේ කය, වචන, හිත යන තුන් දොර මුල්වයි.

කාය කම්මං තිධාවුත්තං
වාචාකම්මං චතුබ්භිධං
මනසා තිවිධංචෙති
දස කම්ම පථා ඉමෙ

සතුන් මැරීම, හොරකම , කාම මිථ්‍යාචාරය යන තුන කය මුල් කරගෙන ද, බොරුව, කේලම, පරුෂ වචනය, හිස් බස්, වචනය මුල් කර ගෙන ද සිදුවේ.

තිදොර සංවර කර ගැනීමෙන් සියලු අකුසල්වලින් මිදිය හැකි ය.

පසිඳුරන් දමනය කිරීමෙන් තිදොර සංවර වේ. මෙසේ යහපත් උත්සාහයෙන් තොරව තිදොරින් අකුසල් කරන ලද නම්, ඒ අකුසල ඒ පුද්ගලයා පසු පස ගොස් සසර කොතැනක දී හෝ දුක් විපාක ලබා දෙයි. ගොනාගේ පියවර අනුව පෙරළී පෙරළී ගමන් කරන රියසක මෙනි.