Print this Article


පහන් සිතක කවි

 

සසර පිනකට

සංසාර ගමනේ එක තැනක
නතර වී පුතුනි නුඹ අද
සුපින්වත් කසාවත දරා
ගිහි ගෙයින් නික්මෙනා බැමි බිඳ

කොතැන හෝ හමුවුණි ද වෙන්වුණි ද
මව් සෙනේ එලෙස ම ය
රෑ සිහිනෙනුත් දෑස තෙමනා කඳුළට
බුදු බණෙන් සිත නිවාලනු මැන

සිලිසිලිය නැඟි බෝපතක සුවය
බෝධිය වටා පියමනින විට දැනුණා
තුන් හාර මසකුත් ගෙවී
හිතේ හිස් බව තුනී වූවා

නවම් පෝදා පන්සලේ බණ මඩුවට
පොඩි හාමුදුරුවෝ වැඩිය වග ඇසුණා
කවි බණෙන් දම් දෙසන්නට හිමියනි ඔබ
කුල ගෙයින් නික්මුණේ සසර පිනකට
බව වැටහුණා


පොඩි හාමුදුරුවෝ

සොහොයුරු සොහොයුරියන් නෑදෑ මිතුරන් දාලා
මව්පිය නැමද කසාවත පොරවලා
සමුගෙන යද්දි නෙතඟින් කඳුළු බේරිලා
පා වඳිමි හිමියන් දුක් කඳුළු සඟවලා

අතිර වූ මේ සසරෙ පින් පැතුමකි ඉටු වුණේ
මව්පිය පින නිසයි නුඹ අද පැවිදි වුණේ
සදහම් දෙසා ලෝ සත නිවනු මැන අනේ
හැම සැපතකට ම වැඩිය නිවන් සුව උතුම් වුණේ


ඔබ දෙපළගෙන් බණ ඇසුමට ළඟට එමී

දූ දරු කැළට එක ලෙස සෙනෙහස වීදු
සිප් නැණ තනන්නට වෙහෙස ව මඟ පෑදූ
බුදුවරු දෙවිවරුන් මෙන් යහපත සෑදු
අපෙ මව්පියන් නමදිමු බැතියෙන් සාධු

“සම්බුදු” හිමි දෙසූ දම් වරුසාවෙ තෙමි
මව්පිය ගුණ සයුර සිහිකර වඳමි නැමී
දිනයක අරුත ලද සසරෙහි මුදා බැමී
ළගෙන් බණ ඇසුමට ළඟට එමී


මහා දුක් ගිනි

වන අරණෙහි
බවුන් වඩමින
භවයෙ - ඇති දුක
සිතින් පිරිසිද
දැක දැක....

නුවණින් ස්පර්ශය කොට
දුක හදා දෙන
මහා - ආශාවෝ
නෙඵම් පතින්
පහතට හැළෙනා
පිනි - බිඳු සේ
සිතින් පහකොට
හලමින් - නැතිකොට
මහා - දුක් ගිනි
නසා - වනසා දමන්නේ


සිතිවිලි ...

මහ මෙවුනා උයනෙ සුන්දර තුරු මුදුණේ
කහ මල් පොකුරු සුළඟට ළෙල දෙන සෙවණේ
මහ සිසිලසින් හද තෙමනා වන අරණේ
පහ කළ කෙලෙස් බුදු සමිඳුන් වැඩ සිටිනේ

සුසුමට ඉඩ දෙමින් නෙතු යුග පියා ගෙන
දෙතොලට මඳ සිනා රැල්ලක් නඟා ගෙන
මුහුණට මහා කරුණා රස හොවා ගෙන
වැඩුමට බවුන් හිමි ඇත කය සදා ගෙන

නිල් තුරු වදුලෙ මෙත් ගඟුලැලි ඇද හැලෙනා
සෙල් පිළිමයක විස්මිත බව කිව නොහෙනා
සිල් සුවඳින් සැදැහැවතුනගෙ සිත් වෙළුණා
මල් පුදනා උවසු උවැසියො පෙළ සැදුණා

සම්බුදු ගුණ කළු ගලකට කවන්නට
නරඹන සැමගෙ සිත් දමනය කරන්නට
දැනගෙන ශිල්ප මේ පිළිමය නෙළන්නට
සුණ කලාකරුවා නැත සොයන්නට


රැකවරණය

මහා නාග වන උයනේ බුදුහිමියන් වැඩ හිඳියි
යක්ෂ නාග පවිටු දනන් ඒ උයනම වට කරයි
බුදු සමිඳුන් හා සටනට පවිටුන් සැලසුම් කරයි
බුද්ධ රශ්මි ධාරාවෙන් ඒ අය පළවා හරියි

සීතල පිනි පොද වැටිලා දුරුතු මාසේ සුන්දරයි
පළමු ගමන බුදු සමිඳුගෙ හෙළ දීපය බබළවයි
බුදු සමිඳුගෙ කේශධාතු මියුගුණ මහ දා ගැබෙයි
සුමන සමන් දෙවිඳුන්ගේ නිති රැකවරණය ලැබෙයි

එදා සිටම දාගැබේ බුද්ධ රශ්මි රැස් විහිදෙයි
මහවැලි ගං කොමළියගෙ ජල බිඳු සිසිලත් ලැබෙයි
හෙළ දීපයේ සැදැහැතියන් සාධු සාධු හඬ නඟයි
දුරුතු මාසේ ඒ අසිරිය ලක් දෙරණට ජය ගෙනෙයි


අනේ අපොයි

දසමස කුස හොවා ලේ කිරි කර පොව ලා
හැදු මව වියපත් ව ඇත අසරණ වී ලා
හිඟමන් යදින්නටවත් තම අත පා ලා
නැති ලෙස ඉඩක් දරුවන් ඇත වැජඹී ලා

අව් වැසි නොබලමින් කුඹුරේ වැඩ කරලා
හෙළූ දහඩිය කඳුළු පොළවට සරු කර ලා
කන බොන අඳින දේ සිප් සතර ද දී ලා
වාරුව නැති පියා නිදියයි වක ගැසි ලා

දරුවන් තනන්නට දිවිය ම කැප කරමින්
කුස ගිනි දරා ඔවුනගෙ කුසගිනි නිවමි න්
කැපවූ මව් පියන් ගැන අමතක කරමි න්
ගැසුව ද ‘අමනයකු’ලෙස ඉනිමඟට පයි න්