Print this Article


දුටුගැමුණු මහ රජතුමා 64 කොටස: සටන් අරඹන්න ජයග්‍රහණය ස්ථිරයි

දුටුගැමුණු මහ රජතුමා 64 කොටස:

සටන් අරඹන්න ජයග්‍රහණය ස්ථිරයි

“චුලතිස්ස ඇමතිය, ඒ දෙපළ මෙහි කැඳවාගෙන එව. අපේ සාකච්ඡාව රහස් සාකච්ඡාවක් ද නොවේ. “

මව් බිසවත්, තිස්ස යුව රජතුමාත් සන්ථාඝාරයට ඇතුළු වුහ. දුටුගැමුණු මහ රජතුමා ඇතුළු සභාවේ සියලු දෙනා නැඟී ආචාර කළහ. සියලු දෙනාම තමන්ගේ අසුන්වල හිඳ ගත්හ.

“අයියණ්ඩි, තොරතුරු රැස්කර ගෙන එන්නට සිටි නිසා ප්‍රමාද වුණා. අනුරාධපුරයේ අපේ රහස් ඔත්තු සේවය බිඳවැටිලා. චරපුරුෂයන් අක්‍රියයි. ලබාගත හැකි තොරතුරු ප්‍රමාණවත් නැහැ. ඇතැම් පිරිස් ආපසු ඇවිත් ඉතිරි වී සිටින කිහිප දෙනාත් උපතිස්ස සමග එකතු වී අපට විරුද්ධව වැඩ කරනවා.”

“දීඝාභය අයියණ්ඩි අපට විරුද්ධ වුණේ ඇයි ? ඔහුගේ වෙනස්වීම ගැන තිස්ස දැනගෙන සිටියේ නැද්ද ?”

“නැහැ,දීඝාභය අයියණ්ඩි එළාර රජු වෙත ගිහින් තියෙන්නේ පිය රජතුමා මියයන්නට කලින්. “

“මාත් සමග තියෙන අමනාපයට ඔහු ද්‍රෝහී වී තිබෙන්නේ මෑණියන්ටත්, පියාණන්ටත්”

“දීඝාභය, ගැමුණු කෙරෙහි එතරම් හොඳ ආකල්පයකින් සිටියේ නැහැ. නිතර නිතර යුද්ධය සඳහා අවසර ඉල්ලමින් පිය රජතුමාට කරදර කිරීම ගැන අප්‍රසාදයෙන් සිටියේ. ඒ වගේම ස්ත්‍රී ඇඳුම් පැළඳුම් එවීමෙන් පියාණන්ට කල අපහාසය ගැන කෝපයට පත් වුණා. පිය රජතුමා ලෙඩට වැටුණේ ගැමුණු නිසාය කියන හැඟීමක් ඔහු තුළ තිබුණේ. අන්තිම වරට පිය රජතුමා කතා කළේත් ගැමුණුගේ අකීකරුකම ගැන වේදනාවකින්.” විහාරමහා දේවිය කීවා ය. ගැමුණුගේ පලා යාමට මම උදව් කළ බව ගිරි අබා රජු, සෝමා නැගණියත් රාජතුමාට කියා එවා තිබුණා. එතැන් සිට රජතුමාත් මා සමඟ සිටියේ අමනාපයෙන්.”

“දිඝාහය මාගමට ආපු හැම වතාවකම ආපසු ගියේ මට වැඳලා. නමුත් එදා මම සිලාපස්ස පිරිවෙනට ගොස් ආපසු එන්නට කලින් ඔහු පිටවෙලා ගොස් තිබුණා. ඔහු යන්නට ඇත්තේ කුමක් හෝ පෙරළියක් කරලා අපේ හිත රිදවන අදහසින් බව මට ඒ වෙලාවේ හැඟී ගියා.”

“මෙය දීඝාභය අයියණ්ඩිගේ හදිසි පියවරක් ද ? පෙර සුදානමක් ඇතිව කළ වැඩක් ද ? කියන්නට බැහැ.”

“දීඝාභය, පිය රජතුමාගෙන් වරප්‍රසාද කිසිවක් බලාපොරොත්තු වුණු කෙනෙක් නොවෙයි. නමුත් ගිරි රාජ්‍යයේ පාලනය හෝ මාගම යුවරජකම ඔහුට පවරා දෙනු ඇතැයි යන හැඟීමක් ඔහුගේ තිබුණු බව මට දන්තිගෙන් දැන ගන්නට ලැබුණා. “

“පුතා ගැමුණු, මහ රජතුමනි දැන් මෙවැනි නිෂ්ඵල දේ ගැන කතා කර කර කලකිරෙන්නටවත්, කාලය අපතේ යවන්නටවත් අවශ්‍ය නැහැ. අපි තවත් ප්‍රමාද වන්නේ ඇයි? අපේ අපේක්ෂිත සටන සැලසුම් කරන්න. සෙනෙවිවරුන්ට සේනා සංවිධානය පවරන්න. තිස්ස, යුද්ධය පටන් ගත් මොහොතේ සිට අවසන් වනතුරු ආහාර පාන සැපයීම ගැන බලා ගන්නට ඕනේ. “

“අයියා, මල්ලි සටනින් වෙච්ච හානිය සුළුපටු නැහැ. නමුත් මහා සටනකට පෙරහුරුවක් ලෙස පැවැත්වුණු මේ පුංචි සටන ගැමුණුට හොඳ අත්දැකීමක් .” විහාර මහා දේවිය එසේ කියමින් සිනාසුනා ය.

“දැන් මේ සියලු දෙනාගේ ම ඉලක්කය යුද්ධය වන්නට ඕනේ. මෙතෙක් කල් මේ හැම දෙනාම සුදානම් වුණේ ඒකටයි. දැන් සුදානම් වුණා ඇති. ක්‍රියාත්මක වෙමු. හොඳ නැකතක් සුදානම් කරගෙන උතුරට ගමන් කරන්න. විහාර මහා දේවියගේ ප්‍රකාශය අණ කිරීමක් බඳු විය.

තිස්සමහාරාම සිතුල්පව්ව විහාරස්ථානවල රහතන් වහන්සේ කැඳවා ආශිර්වාදය ලබා ගන්න. මහාසිව මාහිමිපාණන් වහන්සේගේ , ත්‍රිපිටකතිස්ස තෙරුන් වහන්සේගේ , කාම්බෝජ පඬිතුමාගේ උපදෙස් ලබා ගන්න. යුද්ධයේ පරමාර්ථය මහජනතාවට පවසන්න. වහාම යුද්ධය ආරම්භ කරන්න.

එය පිය රජතුමාට වඩා කෙතරම් නිර්භීත, එඩිතර ප්‍රකාශයක් ද යන්න ගැමුණුගේත් තිස්සගේත් පුදුමයට හේතුවිය.

“දීඝාභය, උපතිස්ස ගැන වදවෙන්න එපා. දීඝාභය කතරගම පරපුරේ පුතෙක්. මවගේ මරණයෙන් පසුව ඔහු හැදුනෙ වැඩුනෙ මගේ දරුවෙක් විදිහටයි. දීඝාභයත්, දුටුගැමුණුත් මගේ නිවුන් දරුවන් ලෙසයි කුඩා කාලයේ හැදී වැඩුණේ. මම මාගම අග බිසව නොවුණා නම් මේ රාජ්‍යයේ හිමිකරුවා දීඝාභය.”

“උපතිස්ස මිත්‍ර මහ සෙනෙවියාගේ සහෝදරියකගේ පුතෙක්. නන්දිමිත්‍රගේ ඥාති සහෝදරයෙක්. යම් කරුණක් නිසා ඔවුන්ගේ ජාතික ආගමික හැඟීම් දියවී ගියා නම් ඒවා නැවත වර්ධනය වේවි. අපි සටන් ආරම්භ කරන විට අපේ ජයග්‍රහණය දකින විට ඔවුන්ට අපට විරුද්ධව කටයුතු කරන්නට හැකි වේ යැයි මම සිතන්නේ නැහැ.”

ඒ කරුණු කෙසේ සිදුවුවත් ඔවුන් දැන් අපේ සතුරන්. රජ මාලිගයට එන සෑම දෙනාටම රසවත් ආහාරපානවලින් සංග්‍රහ කළ දන්තී කුමරියත් අතුරුදහන් වෙලා . ඇය දැන් සිටිනා ප්‍රදේශයේ දන්නේ කවුරුන්ද?

“දේවින් වහන්ස, දන්තී කුමරිය දැන් එළාර රජතුමාගේ දියණියකගේ සමීපතම යෙහෙළියක්. මිත්‍ර මහ සෙනෙවිගේ දියණිය පුණ්ණාත් රජ මාළිගයට භාර දී තිබෙන්නේ උපතිස්ස. සිංහල මහ සෙනෙවියකු වූ මිත්‍ර කවුරුන් විසින් හෝ හොර රහසේම ඝාතනය කරලා. දැන් සිංහල මහ සෙනෙවි දීඝාභය කුමාරයා. විජිතපුර භාර උපසෙනෙවි ලෙස කටයුතු කරන්නේ උපතිස්ස. ඒත් දීඝජන්තු මේ පත්වීම් දෙකටම විරුද්ධලු” මහනෙල කීය.

පසුගිය කාලයේ දන්ති ගැන මට සැක සිතුණා. ඇය ගැන මා නිරතුරුවම විපරමින් සිටියේ. දීඝාභයගේ බලපෑම් නැතිනම් දන්ති අපෙන් දුරස් වෙන්නේ නැහැ. ඒත් දන්තී කිසිම දිනක අපට ද්‍රෝහී වෙන්නේ නැති බව මට විශ්වාසයි.

“සේරු රාජ්‍යයේත්, සෝම රාජ්‍යයේත් ශිව, අභය රජවරුන් දෙදෙනා මහවැලි ගඟෙන් මෙගොඩට දෙමලුන් පැමිණෙන තෙක් බලා සිටින බව මට දැන ගන්නට ලැබුණා. මේ තත්ත්වය අනුව යුද්ධයේ දී ඔවුන්ගේ සහාය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

“නැහැ පුතා, ඔවුන් අපට විරුද්ධ නැහැ. නමුත් ඔවුන් ස්වාධීන රජවරුන් ලෙසයි ඉන්නට කැමති. අභය රජු ගිරි රාජ්‍ය කැමැත්තෙන්ම අතහැර ගියේ ඒ නිසා බව දැන් පැහැදිලි යි. නමුත් අපි යුද්ධය ජයග්‍රහණය කර තුන් සිංහලයම එක්සේසත් කරනවිට ඔවුන් අනිවාර්යයෙන් ම අපේ යටත් ප්‍රාන්ත රජවරු වෙනවා.”

රාජ්‍ය පරිපාලනය පිළිබඳ මෑණියන් වහන්සේගේ දූරදර්ශී භාවයත් දැනුමත් කාගේත් ආඩම්බරයට හේතු විය. ගැමුණු තිස්ස සොහොයුරන් සිය මෑණියන් දෙස බලා සිටියේ ඉමහත් ආදරයෙනි.

“අපට දසමහ යෝධයන් සිටිනවා. එළාරට විසි මහ යෝධයන් සිටිනවා. අපට සූවිසි දහසක සේනාංකයක් සිටිනවා. එළාරට සුසැට දහසක් සේනාංක තිබෙනවා. නමුත් ඔවුන්ගේ සෙබළුන් සියයකට පහර දෙන්නට අපේ එක් සෙබළෙකුට පුළුවන්. එයින් දහසකට පහර දෙන්නට අපේ එක යෝධයෙකු ට පුළුවන්. හෙටම සටන් අරඹන්න. ජයග්‍රහණය නියතයි.