Print this Article


ලක්දිව සංඝරාජ පදවිය -  16:

ලක්දිව සංඝරාජ පදවිය -  16:

සඟ සසුන ඒකාලෝක කළ ඉහළ දෙළොස්පත්තුවේ නායක පදවි

මල්වතු අස්ගිරි විහාර දෙකෙහි සහ ලංකාවේ සංඝ සමාජයෙහි පරිපාලනය උදෙසා විහාර දෙක වෙනුවෙන් එක් එක් පළාත් සඳහා සංඝ සමාගම් අට බැගින් පිහිටුවා ගෙන ඇත. ඒ 1847 වසරේ දී ය.

මෙම සමාගම්වල ප්‍රධාන හිමි නම අනුනායකය. මෙකී අනුනායක අට නම විංශත් වර්ගික කාරක සභාවේ අනුනායක පදවිවලට අයත් නොවේ. එම සමාගම් අට නම්,

මහනුවර සමාගම උඩුනුවර, යටිනුවර, තුම්පනේ, සාරසියපත්තුව, දුම්බර හේවාහැට, උඩ පළාත

සතර කෝරළේ සුළු සමාගම සතර කෝරළය, පාත බුලත්ගම, තුන් කෝරළය

සත් කෝරළේ ඉහළ දොළොස් පත්තුව සුළු සමාගම වෑඋඩ විල්ලි හත්පත්තුව, හිරියාල පත්තුව

සත් කෝරළේ පහළ දොළොස් පත්තුව සුළු සමාගම දේවමැදි හත් පත්තුව, කටුගම්පොල හත්පත්තුව

ඌව සුළු සමාගම ඌව වෙල්ලස්ස, වියලුව,වලපනේ, කතරගම

මාතලේ සුළු සමාගම මාතලේ, උඩුගම,බින්තැන්න, ලග්ගල

සපරගමුවේ සුළු සමාගම සපරගමු කෝරළ තුන

නුවර කලාවියේ සුළු සමාගම නුවර කලාවිය සහ තමන්කඩුව වශයෙන් සඳහන් කළ හැකි ය.

වර්ෂ 1847 දී මෙලෙස සුළු සමාගම් පිහිටුවා ගැනීම පිළිබඳ තොරතුරු නිශ්චිත ය. එසේ වුව ද, ස්‍යාමෝපසම්පදාව පිහිට වූ අවධියේ පටන් මෙම සුළු සමාගම්වලට අයත් ඇතැම් නායක පදවි දැරූ නාහිමිපාණන් වහන්සේ අනුනාහිමිවරුන් වශයෙන් හඳුන්වා ඇති බව විශ්වාසයි.

සත්කෝරළයට අයත් හිරියාල හත් පත්තුව සහ වෑඋඩවිල්ලි හත් පත්තුව යන බල ප්‍රදේශ ඒකාබද්ධ කොට ගනිමින් සාදා ඇති ඉහළ දොළොස්පත්තුව එවැනි වැදගත් බල ප්‍රදේශයකි. මල්වතු මහාවිහාර පාර්ශ්වයේ වැදගත්ම සඟ පරපුරකි තිබ්බටුවාව සඟ පරපුර. ඒ සමඟ සබැඳෙන කුරුණෑගල රිදීවිහාරය පිහිටා ඇත්තේ ද වෑඋඩවිල්ලි හත්පත්තුවට අයත් ප්‍රදේශයක වීම විශේෂ සිද්ධියකි.

ස්‍යාමෝපසම්පදාවෙන් පසු වැලිවිට සරණංකර හිමියන් සංඝරාජ පදවියට පත්වූහ. එම හිමියන්ගේ අග්‍රෙසර ශිෂ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන් ය. උන්වහන්සේ මල්වතු මහා විහාරයේ ප්‍රථම මහා නායක පදවියට ද පත් වූහ.

සංඝරාජ හිමියන්ගේ ද්විතීය ශිෂ්‍ය වූ ධුතංගධාරී දරමිටිපොල ධර්මරක්ෂිත හිමියන් වෙත ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණි. තෘතීය ශිෂ්‍ය වූයේ ගිණිගත්පිටියේ සංඝරක්ෂිත හිමියන් ය. උන්වහන්සේ වෙත පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීය. ඒ රජතුමා විසිනි.

ප්‍රථම ප්‍රාදේශීය නායක පදවි දෙක වශයෙන් මෙම පදවිද්වය සැලකිය හැකි ය. මෙම නාහිමිපාණන් වහන්සේ දෙනම ද අනුනායක හිමිවරුන් ලෙස හඳුන්වා තිබේ.

ධුතංගධාරී දරමිටිපොල ධර්මරක්ෂිත හිමියන් ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවමින් වැඩ සිටියහ. උන්වහන්සේ මල්වතු මහා විහාරයේ අනුනායක පදවිය ද හොබවන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. මල්වතු විහාරයේ දෙවැනි මහා නායක මැදවල ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේ වයෝවෘද්ධත්වය හේතුවෙන් මහා නායක පදවියෙන් ඉල්ලා අස් වූහ. ඒ නිසා පුරප්පාඩු වූ මහා නායක පදවිය සඳහා දරමිටිපොල ධර්මරක්ෂිත හිමියන් පත් වී වදාළහ.

දරමිටිපොළ හිමියන්ගෙන් පුරප්පාඩු වූ ඉහළ දොළොස්පත්තුවේ අනුනායක පදවිය සඳහා තත්ශිෂ්‍ය කටුපොත අනුනාහිමියෝ පත් වූහ. එම හිමියන් ද මල්වතු විහාරයේ අනුනායක පදවිය ද හොබවන ලදැයි පිළිගැනීමයි. මින් පසු එම පරපුරට ම අයත් ගල්ගිරියාවේ සුමංගල හිමියන් ඉහළ දොළොස්පත්තුවේ නායක පදවිය හොබවා තිබේ. මෙම හිමියන් මල්වතු මහා විහාරයේ දස වැනි මහා නායක පදවියට පත් වීමෙන් තත්ශිෂ්‍ය මැදගම දේවමිත්ත හිමියන් එම පදවියෙන් සම්මානිත වී ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වෙතින් අක්තපත්‍ර ලබා ඇත.

මැදගම දේවමිත්ත හිමියන් මල්වතු විහාරයේ දොළොස්වන මහා නායක පදවියෙන් පුද ලදහ. ඒ නිසා ස්වකීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කඳුලව අත්ථදස්සි හිමියන් වෙත එම පදවිය පිරිනමා තිබේ. තදනන්තරව 1907 වසරේ දී ගල්ගිරියාවේ බුද්ධරක්ෂිත හිමියෝ ඉහළ දොළොස්පත්තුවේ නායක පදවියට පත් වූහ. 1913 වසරේ දී මල්වතු පාර්ශ්වයේ පහළොස්වන මහා නායක පදවියෙන් සම්මානිත වී වූහ.

ගල්ගිරියාවේ බුද්ධරක්ෂිත හිමියන් මහා නායක පදවියට පත් වීමෙන් පසු නැලව පොත්ගුල් විහාරාධිපති හේරත්ගම සීලරතන හිමියන් ඉහළ දොළොස්පත්තුවේ නායක පදවිය හෙබවූහ. උන්වහන්සේ 1928 වසරේ අපවත් වූ පසු ගල්ගිරියාවේ මහ නාහිමියන්ගේ අග්‍ර ශිෂ්‍ය වූ මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය සහ ජ්‍යෙෂ්ඨ කාරක සභික ධුර හෙබවූ ඇඹෝගම පියරතන හිමියන් එම පදවි හොබවා 1955 අපවත් වී තිබේ. තම බලප්‍රදේශයේ විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ හිමිනමක වශයෙන් ඇඹෝගම හිමියන් සලකනු ලබයි.

ඉන්පසු පිළිවෙළින් ගොකරැල්ල පොල්ගොල්ල පිංගල්පොත්ත රාජ මහා විහාරාධිපති උඩතම්මිට විමලසාර හිමියන් ද, හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙන් විහාරය සහ ගණේවත්ත සුමංගලාරාමය යන උභය විහාරාධිපති නවගමුවේ ධම්මාලෝක හිමියන් ද, පිංගල්පොත්ත රාජමහා විහාරාධිපති රඹුක්වැල්ලේ පඤ්ඤාසාර හිමියන් ද මෙම සම්භාවනීය පදවිය හෙබ වූ පසු වර්තමානයේ දී ගණේවත්ත සුමංගලාරාමාධිපති අටමුණේ ආනන්ද නාහිමියන් විසින් හොබවනු ලැබෙයි.

ධුතංගධාරී දරමිටිපොල ධර්මරක්ෂිත මහා නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර වෙත ඉතිහාසය පුරා පුද කොට ඇත.

නායක පදවිය පිළිබඳ මෙම ලිපිය සම්පාදනය සඳහා මල්වතු විහාරවාසී කර්ම වාගාචාර්ය දන්තුරේ විපස්සි හිමියන් වෙතින් ලද තොරතුරු උපකාරී වූ බව සිහිපත් කර සිටිමි.