Print this Article


සසුන් කෙත ඒකාලෝක කරන වෑකුඹුරේ පඤ්ඤානන්ද නාහිමිපාණෝ

සසුන් කෙත ඒකාලෝක කරන වෑකුඹුරේ පඤ්ඤානන්ද නාහිමිපාණෝ

කොටිකාවත්ත කුඩාබුත්ගමුව ශ්‍රී පියදස්සනාරාමය බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරවන, දර්ශනයෙන් පි‍්‍රය උපදවන මහා විහාරයක් බවට පත් කරවූ තත් විහාරාධිපති රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය වෑකුඹුරේ පඤ්ඤානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ 2021.02.12 දින තම 85 වැනි ජන්ම දිනය සපුරති.

බදුල්ල දිස්ත්‍රික්කයේ කඳුකර කෝරළයේ වෑකුඹුර ග්‍රාමයේ උපත ලද නාහිමිපාණෝ වෑකුඹුරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති ව වැඩ විසූ තල්ලන්දේ බුද්ධසෝම මහා තෙරුන් හා තත් ශිෂ්‍ය වෑකුඹුරේ වජිරඤාණ හිමිපාණන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1951 වෙසක් පෝ දින වෑකුඹුරේ පඤ්ඤානන්ද නමින් උතුම් ප්‍රවෘජ්‍යා දිවියට ඇතුළත්ව ගුරු දේවයන් වහන්සේ වෙතින් මූලික බණ දහම් වත් පිළිවෙත් ඉගෙන ගත්හ.

අධ්‍යනය සඳහා ගාල්ල බද්දේගම ගණේගම ශ්‍රී රතනසර පිරිවෙනට ඇතුළත් ව මූලික හා ද්විතීය අධ්‍යාපන ලැබූහ. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් විය. එහි දී දක්ෂ ශිෂ්‍යයකු ලෙස පිරිවෙන් අවසානය තෙක් අධ්‍යාපනයෙන් සහතිකලාභී වූහ. අනතුරුව විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන විට තම ගුරුදේවයන් වහන්සේ අපවත්වීමෙන් ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමයේ ආධිපත්‍ය භාර ගැනීමට උන්වහන්සේට සිදුවිය.

අප නාහිමිපාණෝ තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් මැනවින් සපුරාලීමෙහි දක්ෂ හිමිනමකි. තම විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්වීමෙන් එවකට උග්‍ර ප්‍රශ්නයක් ව පැවති පානීය ජල ප්‍රශ්නය විසඳීමට පියවර ගනිමින් කරන ලද කාර්යය අසල්වාසී දායකයින්ට ද ඉමහත් ප්‍රයෝජනයක් අත්විය. විහාරස්ථානයේ අඩුපාඩුව පැවති දාන ශාලාවක්, ඝණ්ඨාර කුළුණක් ද සාදවා විහාර සංවර්ධන සැලසුමක් ද ඉදිරිපත් කළහ. ගම්වෙල සිටි ගැඩවිල දක්වා කිලෝමීටර් හතරකට ආසන්න දිග් වූ මාර්ගය වෑකුඹුර ග්‍රාම සංවර්ධන සමිතියට පවරාගෙන ගල් අතුරා තාර දමා සකස් කරලීමේ පුරෝගාමීයා වූහ. මුන් ගැඩවිලට සමූපකාරය සමිතියක් ලබාදීමට ද සමත් වූහ.

එවකට අති දුෂ්කර ගම් පෙදෙසක් ව පැවති මෙම ප්‍රදේශයේ සියලු ආගමික කටයුතු සැතපුම් ගණන් පයින් ගමන් කරමින් කඳු නඟිමින්, හෙල් බසිමින් බණ, දාන, පාංශුකූල, සෙත් පිරිත් ආදී සියලු ආගමික කටයුතුවල නිරත වූයේ ඉතා සතුටු සිතින් පරාර්ථකාමීව බව ද උන්වහන්සේ අදත් සිහිපත් කරති.

1990 දී කොළඹට පැමිණ කොටිකාවත්තේ නාගරුක්ඛාරාමයේ පදිංචි ව එහි දායකයන්ගේ ආගමික කටයුතු ඉටුකර දෙමින් එම විහාරස්ථානයේ ද අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගත්හ. සිල් ඇත්තන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමෙන් සිල් ඇත්තන්ගේ ගෞරවය දිනා ගැනීමට ද සමත් වූහ. කුඩා බුත්ගමුව ශී‍්‍ර පියදස්සනාරාමය අක්කර 03 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඇති පැරැණි වලව්වකි. පැරණී ගොඩනැඟිලි සහිත මේ භූමිය 1885 දී පමණ කොර්නේලිස් අප්පු උපාසක මහත්මා ශාසනයට පූජා කර ඇති අතර 1900 පමණ ආරාමයක් බවට පත් වූ ඉපැරැණි විහාරස්ථානයකි.

නායකත්ව ලක්ෂණවලින් හෙබි සුදුසු භික්ෂූන් වහන්සේ නමක් පහළ නොවූ නිසාදෝ 2006 ජුනි 06 දින මෙම විහාරයට වැඩම කළ අප නාහිමිපාණෝ 2007 වසරේ සිට ගරා වැටුණු බුද්ධ මන්දිරය වෙනුවට අභිනව විහාර මන්දිරයක්, සතර මහා දේවාලයක්, පිවිසුම් දොරටුව අසල ද රමණීය බුදු කුටියක් හා ආකර්ශණීය වාහල්කඩක් මෙන් ම දහම් පාසලේ ප්‍රධානාචාර්ය බවට පත්ව ඒ සඳහා බොහෝ ඉඩකඩ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් හා එයට අදාළව වැසිකිළි පද්ධතියක් පවා සාදවා නිම කර ඇත.

මේ සියලු කාරණා ඉදිරියේ නවක භික්ෂූන්ට බොහෝ ආදර්ශ ගත හැකි අතර, කථානායකයන් වහන්සේට පැවිදිව ඉටු කර ඇති සේවය සලකා රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ගෞරව දක්වා ඇත.

දැනුදු ක්‍රියාශීලි ස්වභාවයෙන් වැඩ වසන නාහිමියෝ ප්‍රදේශයේ සිදුකරන සෑම ආගමික ජාතික කටයුතුවලට පුරෝගාමීත්වය පිරිනැමීම වස් මුළු දිවයිනට ම සාම විනිසුරු හා කොළොන්නාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නැඟෙනහිර කලාපයේ

- බලන්ගොඩ සෝභිත නායක ස්ථවිර සභාපතිත්වය පිරිනමා ඇත්තේ ද නිතරඟයෙනි.

ඉකුත් 2022.04.10 දින මහනුවර මල්වතු විහාර උපෝසථාගාරයෙහි දී නායක පදවි සන්නස් පත්‍ර ප්‍රදානය සියම් මල්වතු විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් විසින් සිදුකරන ලදී.

අප නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් හා මහජනතාවට සේවය කිරීමට ශක්තිය – ධෛර්යය ලැබේවා ‘යි අපි අධිෂ්ඨාන කරමු.