Print this Article


පසේබුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ම සුපිපෙන සුවඳ මලක්

පසේබුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ම සුපිපෙන සුවඳ මලක්

සක්විති රජවරු පිළිබඳ, ලෝක ධාතු පිළිබඳ, පෘථිවියේ ආරම්භය හා විනාශය පිළිබඳ, මනුෂ්‍ය වර්ගයාගේ සම්භවය පිළිබඳ මෙන්ම පච්චේකබුද්ධ හෙවත් පසේබුදුවරු පිළිබඳ අනේක තොරතුරු හෙළිදරව් කරන ලද්දේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනි.

පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා. පසේබුදුරජාණන් වහන්සේට ශ්‍රාවක ජනයා නැත. උන්වහන්සේ ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවේ නොවඩිති. චතුරාර්ය සත්‍ය ඉස්මතු නොකරති. හිමාලයේ ගන්ධමාන පර්වතයෙහි මඤ්ජුසක වෘක්ෂය සෙවණේ විමුක්ති සුව විඳීමින් බවුන් වඩන උන්වහන්සේ ගමට වඩින්නේ පිණ්ඩපාතය සඳහා පමණි.

භාග්‍යවතුන් වහන්සේ පසේබුදුරජාණන් වහන්සේගේ පහළ වීම ගැන මෙසේ වදාළා.

සුළුකුළු පව්ව, මහකුළු පව්ව, නාවෙළුම, සඳගැබ, හිරුගැබ, රන්පස, හිමවත යන පව් හතම හිමාලයේ පිහිටා ඇත. එය ගන්ධමාදන පව්ව ලෙස හැඳීන්වේ. එහි නන්දමූලක නම් ස්ථානයේ පසේබුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන ස්ථානය යි. රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව, යැයි ගුහා තුනකි. එහි මැණික් ගුහා දොරටුවේ යොදුනක් උස, යොදුනක් පළල මඤ්ජුසක නම් ගසක් වේ. එම ගසේ දියෙහි හෝ ගොඩබිමෙහි සෑම තැනකම පිපෙන මල් පිපේ. පසේබුදුරජාණන් වහන්සේ නමක් පහළවන දින විශේෂයෙන් එහි මල් පිපේ. එහි අවට සෑම තැනම රන්මල් ඇත. පිස දමන සේ හමායන සුළඟින් එහි කසල ඉවත් වේ.

මනාව එකලෙස හමන සුළඟින් සියලු රුවන්මය වැලිගොඩැලි සමතලා කරයි. දියපොද මුසුව හමනා සුළගේ අනොතප්ත විලෙන් දිය ගෙනවුත් ඉසියි. සුළඟ විසින් හිමාලයේ සියලු සුවඳවත් ගස්වලින් සුවඳ ගෙන එනු ලබයි. සුළඟ විසින්ම මල් කඩා බිම හෙළයි. ඒ සුළඟ විසින් ම අතුරා යන පරිදි ඒ මල් හැමතැන ම විසිරී යයි. නිරන්තරයෙන් එහි ආසන පනවා ඇත.

පසේබුදුරජාණන් වහන්සේ පහළවන දවසෙහි අනෙක් පසේබුදුරජාණන් වහන්සේ රැස්ව ඒ ආසනවල වැඩ සිටිති. අලුතෙන් පහළවන පසේබුදුරජාණන් වහන්‌සේ පනවන ලද අසුනේ වැඩ හිඳීති. කුමන හෝ සමවතකට සම වැඳ නැඟී සිටිති. එහිදී වැඩ සිටි සංඝ තෙරුන් වහන්සේ නැවත පසේබුදුරජාණන් වහන්සේගෙන් සියලු පසේබුදුරජාණන් වහන්සේලාට අනුමෝදන් වනු පිණිස අවබෝධය ලබන ලද්දේ කෙසේ දැයි විමසති.

එවිට උන්වහන්සේ එයම තම උදාන ගාථාව ලෙස වදාරති. පසේබුදුරජාණන් වහන්සේගේ කතාව ලොවට විවිර වන්නේ එවිට ය. කාලයෙන් කාලයට ලෝකයට පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පසේබුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පසේබුදු වූ ආකාරය පැවසූ උදානය ලෝකයාගේ දැන ගැනීම පිණිස නැවත වදාරති. එය සුත්ත නිපාත අටුවාවේ සඳහන්ව ඇත.