Print this Article


පරිසරයට අභියෝග කළ අයට පාඩමක්

පරිසරයට අභියෝග කළ අයට පාඩමක්

කෙනෙක් තරගයට මෙන් පරිසරය විනාශ කරති. තවත් කෙනක් ඒවාට විරුද්ධ වෙති. පරිසරය රැක ගැනීමේ අරමුණ ඇතිව බොහෝ සංවිධාන දේශීය වශයෙන් මෙන් ම, ජාත්‍යන්තර වශයෙන් ද බිහිවී ඇත. ඒවා අතර සත්ත්ව අවිහිංසාවාදී සංගම්, රුක්රෝපණ ව්‍යාපාර, පරිසර සංරක්‍ෂණ ආදී සංවිධාන බිහි වී ඇත.

පසුව පරිසරයේ ඇති වැදගත්කම නිසා ම ලෝකයේ රටවල් වශයෙන් ද එක් වී කටයුතු කිරීමට ඉදිරිපත් වූහ. යම් යම් සම්මූතීන් පවා ඇතිකර ගත්හ. අප රටේ ද රාජ්‍යමය වශයෙන් හා පෞද්ගලික වශයෙන් ද පරිසරය රැක ගැනීමට කටයුතු කරන බොහෝ පිරිසක් සිටිති. පරිසර අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශය ආදී බොහෝ රාජ්‍ය ආයතන මට්ටමින් ද පරිසරය සුරැකීම සඳහා කටයුතු කරයි.

පාසල් දරුවන්ට පරිසරය පිළිබඳ ඉගෙනීමට පරිසරය යනුවෙන් විෂයයක් පවා හඳුන්වා දී ඇත. ලෝකයේ පරිසරය පිළිබඳ තොරතුරු සොයන, එය රැක ගැනීමට ක්‍රියා කරන, ඒ සඳහා ම කැප වූ පරිසර විද්‍යාඥයෝ පවා සිටිති.

පරිසර විද්‍යාඥයින්ට අනුව අපේ පරිසරය ගෝල පහකින් සමන්විත ය. ඔවුහු පරිසරය ගෝල පහක සංයුතියක් බව පෙන්වා දෙති.

එනම් වායු ගෝලය, ජල ගෝලය, භූ ගෝලය, වෘක්ෂලතා ගෝලය හා ජීව ගෝලය යි. මේ ගෝල පහත් සමඟ නිතර ගැටෙමින් කටයුතු කරන මිනිසාගේ විෂම චර්යාවන් නිසා ලෝකයේ විවිධ ගැටලු හටගෙන තිබේ. එම ගැටලු කිහිපයක් පිළිබඳ අපි පසුගිය සතිවල සාකච්ඡා කළෙමු.

අප පරිසරයට කරන බලපෑමට දඬුවමක් දීමට මෙන් සොබාදහම විසින් කෝවිඩ්-19 වසංගත තත්ත්වය ඇතිකරන ලදී. ඇසට නොපෙනෙන ඉතා කුඩා වෛරසයකට මුලුමහත් ලෝකයක් පාලනය කිරීමට හැකි විය. ලෝකයේ දුප්පත් පොහොසත්, හැකි අය, නොහැකි අය, බලවත් අය, දුර්වල අය, උගත් අය, නූගත් අය යන හැම දෙනාම අසරණ කරමින් කොරෝනා වෛරසය හැම දෙනාට ම එක සේ දඬුවම් ගෙන දුන්නේ ය. ලක්ෂ ගණනකට ජීවිත අහිමි කළේ ය. තවත් ලක්‍ෂ ගණනක් රෝගීන් කළේ ය. තවත් පිරිසක් ඉතා අසරණ තත්ත්වයට පත් කළේ ය.

ඉතා සීඝ්‍ර ගමනක නිරත වෙමින් සිටි ලෝ වැසි සියලු දෙනා වසර දෙකකට ආසන්න කාලයක් නිහඬ කිරීමට එම වසංගතය සමත් විය. පරිසරයේ සියලු සත්ත්වයන්ට තර්ජනයක් වෙමින් කටයුතු කළ මිනිසා ගෙවල්වලට වී බොහෝ කාලයක් කල් යැවී ය. වෙනදා අහසේ පියාසර කළ ගුවන් යානා සියල්ල නතර විය. ඒ වෙනුවට කුරුලු රෑන් අහසේ නිදහසේ එහි මෙහි පියාසර කරනු දක්නට ලැබිණි. වෙනදා මහා ඝෝෂා නගමින් ක්‍රියාත්මක වූ කර්මාන්ත ශාලාවල හඬ නිහඬ විය. කුරුල්ලන්ගේ කීචි බීචි නාදයන් හා සතා සිව්පාවුන්ගේ හඬවලින් පරිසරය වර්ණවත් විය. මහ පාරේ දුම දාගෙන ගමන් ගත් රථවාහන නතර වී තැන් තැන්වල ගාල්කොට තිබෙණු දක්නට ලැබිණ. ඒ වෙනුවට වන සිව්පාවුන්, නිදහසේ මහා මාර්ගවල පවා ගමන් කරනු අපට දැක ගත හැකි විය.

පාසල් යමින්, පෞද්ගලික පන්තිවලට යමින් ඉතා දැඩි මානසික පීඩනයකින් ඉගෙන ගත් දරුවෝ නිදහසේ මව්පියන් සමඟ ආදරයෙන් නිවෙස්වලට වී සිටුනු දක්නට ලැබිණ.

රාජකාරී නිසා හෝ, බොහෝ වැඩ කටයුතු නිසා හෝ ගෙදර රස කෑමක් බීමක්වත් සෑදීමට වේලාවක් නැතිව සිටි අම්මලා නිදහසේ කෑම වර්ග සකසා පවුලේ අය සමග භුක්තිවිඳීන සැටි දැක ගත හැකි විය.

කොරෝනාවෙන් ලෝක ආර්ථිකයට බලපෑමක් ඇති වූ බව කීව ද පරිසරයට නම් සිදුවූයේ අසීමිත වාසියකි. සමහර දුමින් පිරී තිබූ නගර දුම රහිත නගර බවට පත්විය. විෂ වායුව පරිසරයට එක් නොවීම නිසා පරිසරයේ ගහකොළ පවා මනාව වැඩෙන්නට විය. බොහෝ මිනිසුන්ට තිබූ රෝගාබාධ ඉබේ ම සුව වන්නට විය. පාළුවට ගොස් තිබූ ගෙවතු එළවළු පලතුරුවලින් පිරී යන්නට විය.

කොරෝනාව පරිසරයට වින කළ ඇත්තන්ට දුන් දඬුවමක් දෝ කියා විටක සිතේ. කාර්යය බහුලයි කියමින් කිසිම විවේකයක් නොමැතිව සිටි බොහෝ දෙනා මොනවා කරනවාදෝ කියමින් කරන්න දෙයක් නොමැතිව කල් යැවුහ. අවසානයේ අපට කෝවිඩි-19 එක් පාඩමක් කියා දුන්නේ ය. අප කොතරම් දියුණුයි කීව ද, මේ පරිසරයට අභියෝග කළ හැකි නොවේ. ස්වභාව ධර්මයට විරුද්ධව කිසිවකුට ක්‍රියා කළ නොහැකි ය. අප සියලු දෙනා පරිසරයට අනුගත විය යුතු ය.