Print this Article


සිත වසා ගත් අඳුරු සිතිවිලි

සිත වසා ගත් අඳුරු සිතිවිලි

" සිතෙහි නොසන්සුන් බව ඇති විට නුවණින් මෙනෙහි නො කිරීම නිසා උද්ධච්ඡ කුක්කුච්ඡය හටගනී. නොසන්සුන් බව අනුවණ ලෙස මෙනෙහි කිරීමට විරුද්ධ කුසල් සිත් වැඩීමෙන් තදංග ලෙස ද, සමාධි බලයෙන් විශ්කම්භන ලෙස ද, උද්ධච්ඡ කුක්කුච්ඡය ප්‍රහාණය වේ."

අනුන් විනාශ කරන්නට සිතනවා ද?

ක්‍රෝධය, ‍කෝපය, ද්වේශය, කිපීම, තරහව කියන්නේ මේ ව්‍යාපාද නීවරණය යි. මෙය දෝෂ චෛතසිකය යි. ක්‍රෝධය පිණිස හේතු වන කරුණු 9ක් තිබේ. ඒවා නව ආඝාත වස්තු ලෙස හඳුන්වනු ලැබේ. ඒවා නම්:-

* මට අනර්ථයක් කරයි.

* දැන් ද මට අනර්ථයක් ම කරයි.

* අනාගතයෙහි ද මට අනර්ථයක් ම කරන්නේ ය.

* මගේ හිතවතාට අනර්ථයක් කළේ ය.

* දැන් ද මගේ හිතවතාට අනර්ථයක් කරයි.

* අනාගතයෙහි ද මගේ හිතවතාට අනර්ථයක් කරන්නේ ය.

* මගේ විරුද්ධ කාරයාට අර්ථයක් ම කළේ ය.

* දැන්ද මගේ විරුද්ධ කාරයාට අර්ථයක්ම කරයි.

* අනාගතයේ ද මගේ විරුද්ධ කාරයාට අර්ථයක් ම කරන්නේ ය.

ව්‍යාපාද අකුසලය කර්ම පථයක් බවට පත් වන්නේ සත්වයෙක් වීමත්, ඔහු නසමියි පවතින ද්වේෂ චේතනාවත් යන අංග දෙක සම්පූර්ණ වීමෙනි.

“අනුන් විනාශ කරමියි” සිතීමෙන් ද ධ්‍යානයන්, දිව්‍ය සම්පත් හා නිවන් සුවය වළක්වයි.

ව්‍යාපාදය තදංග වශයෙන් ප්‍රහාණය වන්නේ මෛත්‍රි සිත වැඩීමෙනි. මේ ව්‍යාපාදය ධ්‍යාන උපදවා ගැනීමේ දී විෂ්කම්භන වශයෙන් ප්‍රහාණය වේ. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වන්නේ අනාගාමී මාර්ග නුවණිනි. ව්‍යාපාද නීවරණය නැති කිරීමට

* මෛත්‍රී වැඩීමට අවශ්‍ය කරුණු ඉගෙන ගැනීම

* මෛත්‍රී භාවනාව වැඩීම

* තමන්ට හා අනුන්ට විපාක දෙන පෙර කර්ම ගැන සිහි කිරීම.

* බහුල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීම.

* කල්‍යාණ මිත්‍රයන් ම ආශ්‍රය කිරීම.

* කාලෝචිත යහපත් කතාවන් කතා කිරීම කළ යුතු ය.

ගිලන්බව

ථීනය සහ මිද්ධය කියන්නේ චෛතසික ධර්ම දෙකකි.

මින් ථිනය කියන්නේ විඤ්ඤාණස්ඛන්ධයේ ඇතිවන අකර්මණ්‍ය කමක්, ගිලන් බවක්, හැකිළීම ආදී බවක් ඇති වෙනවා නම් එයට ය.

මිද්ධය කියන්නේ චෛතසික පනස් දෙකේ ඇතිවන අකර්මණ්‍ය කමක්, ගිලන් බවක්, හැකිලීම් ආදී බවක් ඇති වෙනවා නම් එයටය.

සිතත්, චෛතසිකත් සෑම විටකම එකටම පවතී. එම නිසාම මෙම නීවරණ ධර්ම දෙක ද එකටම ගැනේ. චිත්ත චෛතසික ධර්මයන් ගේ ගිලන් බව, හැකිළීම, අඳුරු කිරීම, අකර්මණ්‍යවීම, නිදන බවක් හෝ නිදන ආකාරයක් වීම ථිනමිද්ධ නීවරණය යි.

මෙම ථිනමිද්ධ නීවරණය සිත වසා සිටිමින් නුවණ නැති කර සත්වයා අන්ධ කරයි. කුසල් හෝ ධ්‍යාන හෝ මාර්ගඵල හෝ ඇති කර ගන්නට ඉඩ නොදේ. මෙය මර්දනය කළ යුත්තේ උට්ඨානවීර්යයෙනි.

ථීනමිද්ධය, නාම මිද්ධය, රූප මිද්ධය කියා කොටස් දෙකකට බෙදේ. නාම මිද්ධය කීවේ අකුසල ධර්මයක් වූ මිද්ධ චෛතසිකයට යි. රූප මිද්ධය කීවේ රූප ධර්මයන්ගේ මැළි බව, ශරීරයේ බර ගතිය, නිදිමත ආදියටයි. මෙතැන දී නීවරණ ධර්මයක් වන්නේ නාම මිද්ධ යැයි කී මිද්ධ චෛතසිකයයි.

කුසල් සිතක් හෝ ධ්‍යාන හෝ මාර්ගඵල හෝ ලබා ගන්නට අලසකම, බත් මතය, සිත සඟවන ස්වභාවය ආදී කරුණු ඇතිවිට බැරිය. යෝනිසෝ මනසිකාරය බහුලව නැති විට, ථීනමිද්ධය වැඩි වැඩියෙන් ඇති වේ. ථීනමිද්ධ නීවරණය නැති කිරීමට ධර්ම හයක් උපකාර වෙයි.

* පමණ දැන ආහාර අනුභව කිරීම

* එක් ඉරියව්වකින් සිටින විට නිදිමත ආවා නම් ඉරියවු වෙනස් කර, වෙනත් ඉරියව්වකට සිත කය පෙරළා වාසය කිරීම.

* ඉර එළිය, හඳ එළිය, පහන් එළිය ආදී ආලෝක සංඥා මෙනෙහි කිරීම.

* එළිමහනෙහි වාසය කිරීම.

* කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම.

* යහපත් කාලෝචිත කතා ඇති බව.

ථීන මිද්ධ නීවරණය කාමාවචර කුසල් සිත් ඇති කර ගන්නා විට තදංග වශයෙන් ද, ධ්‍යාන උපදවා ගන්නා විට විෂ්කම්භන වශයෙන් ද, අර්හත් මාර්ග නුවණින් සමුච්ඡේද වශයෙන් ද ප්‍රහාණය වේ.

නොසන්සුන්කම

සිතෙහි නොසන්සුන්කම, විසිර යාම, නොසන්සිඳීම. සෙලවෙන ස්වභාවය උද්ධච්චය යි.

නොකළ පින් ගැන පසුතැවීම, කුකුස් කරනා ආකාරය ආදිය කුක්කුච්චය යි. උද්ධ්ච්ඡ සහ කුක්කුච්ඡ යන චෛතසික ධර්ම දෙක “උද්ධච්ච කුක්කුච්ච” නීවරණය ලෙස හඳුන්වනු ලැබේ.

උද්ධච්ඡ කුක්කුච්ඡ යන දෙක එකට ගන්නේ මේ දෙකේ ඇති සමානත්වය නිසා ය. සිතෙහි නොසන්සුන් බව ඇති විට නුවණින් මෙනෙහි නො කිරීම නිසා උද්ධච්ඡ කුක්කුච්ඡය හටගනී.

නොසන්සුන් බව අනුවණ ලෙස මෙනෙහි කිරීමට විරුද්ධ කුසල් සිත් වැඩීමෙන් තදංග ලෙස ද, සමාධි බලයෙන් විශ්කම්භන ලෙස ද, උද්ධච්ච කුක්කුච්චය ප්‍රහාණය වේ.

සමුච්ඡේද වශයෙන් කුක්කුච්ඡය ප්‍රහාණය වන්නේ අනාගාමී මාර්ග නුවණිනි. උද්ධච්ඡය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වන්නේ අර්හත් මාර්ග නුවනි. උද්ධච්ච කුක්කුච්ච නීවරණය නැති කිරීමට ධර්ම හයක් උපකාර වේ.

* ධර්මය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව.

* කැප අකැප යනාදිය ගැන බහුල ලෙස විචාරීම ඇති බව.

* විනයෙහි ඉතා හොඳ පුරුද්දක් ඇති බව. (ප්‍රගුණ බව)

* ගුණයෙන්, නුවණින්, තපසින්, වයසින් වැඩි අය ආශ්‍රය කිරීම.

* කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම.

* යහපත් කාලෝචිත කතා ඇති බව.

සැකයක විනාශය

මෝහ මූලය විචිකිච්ඡා සම්පයුත්ත සිතේ ඇති වන විචිකිච්ඡා චෛතසිකය විචිකිච්ඡා නීවරණය යි. කුසලයනුත්, ධ්‍යානත්, මාර්ගඵලත්, වළක්වන නිසා මෙය නීවරණයක් වේ. විචිකිච්චා නීවරණය කියන්නේ බුද්ධාදී අටතැන්හි සැකය යි.

* බුදුරජාණන් වහන්සේ සැක කිරීම

* නවලෝකෝත්තර ධර්මය සැක කිරීම

* අෂ්ට ආර්‍ය පුද්ගල මහා සංඝ රත්නය සැක කිරීම

* ශීලය සැක කිරීම.

* පූර්වාන්තය සැක කිරීම

* අපරාන්තය සැක කිරීම

* පූර්වාන්තය හා අපරාන්තය යන දෙකම සැක කිරීම

* හේතුඵල දහම වන පටිච්ච සමුප්පාද ධර්මය සැක කිරීම.

වැටහෙන ආකාරය නිශ්චය නොකිරීමෙන්, නුවණින් මෙනෙහි නොකිරීමෙන්, විචිකිච්ඡාව ඇති වේ. විචිකිච්ඡාව කොටස් දෙකකට බෙදේ.

* නීවරණ විචිකිච්චාව හා

* ප්‍රතිරූපක විචිකිච්චාවයි.

නීවරණ විචිකිච්ඡාව කීවේ බුද්ධාදී අටතැන් හි සැකය වන විචිකිච්ඡා නීවරණයයි. නොදන්නා කරුණක් ගැන ඇතිවන සැකය ප්‍රතිරූපක විචිකිච්ඡාවයි. එම ප්‍රතිරූපක විචිකිච්ඡාව අකුසලයක් නො වන්නට ද පුළුවනි.

යෝනිසෝ මනසිකාරය නිසා විචිකිච්ඡාව ප්‍රහාණය වෙයි. විචිකිච්ඡා නීවරණය නැති කිරීමට ධර්ම හයක් උපකාර වේ.

* බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව.

* ප්‍රශ්න කිරීමෙන් කරුණු විචාරීම.

* විනයෙහි ඉතා හොඳ පුරුද්දක් ඇති බව. (ප්‍රගුණ බව)

* තුනුරුවන් කෙරෙහි නොසෙල්වෙන ස්ථිර ශ්‍රද්ධාව.

* කල්‍යාණ මිත්‍රයන් ඇති බව.

* යහපත් කාලෝචිත කතා ඇති බව.

යෝනිසෝ මනසිකාරයෙන් හා කුසල් සිත් ඇතිව කටයුතු කිරීමෙන් තදංග වශයෙන් ද, සමාධියෙන් විෂ්කම්භන වශයෙන් ද, සෝවාන් මාර්ග නුවණින් සමුච්ඡේද වශයෙන් ද, විචිකිච්ඡා නීවරණය ප්‍රහාණය වේ.