Print this Article


පහන් සිතක කවි

 

මව්පිය ගුණ

කුස දරා මෙලොවට බිහි කරන වි ට
අම්මා හෙළුවෙ නැත දුක්වී කඳුළු කැ ට
සෙනෙහස කැටි කෙරුව සතුටින් පපුව ය ට
අම්මේ ඔබෙ සුවඳ පරසතු මලකි ම ට

නැති බැරිකමක් මට නොදැනෙන නියා වෙ නි
දුක් කරදර මැදින් මා හැදු දයාවෙ නි
හොඳ දරුවකු වෙන්න මට දුන් ඔවා මි ණී
ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙ නි

සඳ රැස් මව් ගුණය
හිරු රැස් පිය ගුණය


බියකරු සසරෙන් එතෙරට

පායන හිරු සවසට බැස නොයාවිද
පායන සඳ උදයේ බැස නොයාවිද
රෑ කල දිලෙන තරු දහවලෙ පෙනේවිද
උපන් සැවොම සදහට දිවි ගෙවාවිද

දුක් වේදනා උපදන උල් කටු ය බොහෝ
ඉපදී මියෙන තුරු ජීවිතෙ පුරා අහෝ
අනියත බව දිසේ සැම මොහොතකම ලොවේ
සැපයයි කියන සැමදේ තුළ දුකම රැඳේ

උවදුරුවලින් ගහණය ලොව දිවි සෑම
හරි අසරණය සසරේ සරනා සැවොම
සාර බවක් නැත නැත ජීවිතෙ කිසිම
අවසානෙදී හිමිවෙයි මරණයෙ උරුම

දිවි ගෙවනා කෙටිකල තුළ සිහි නුවණින්
දස අකුසල් පස්පව් නොමකර නිතියෙන්
දන් සිල් භාවනා කර සිත නිති කුසලෙන්
කරගත යුතුය පිරිසුදු මිදෙනට සසරෙන්


දියණියනි

සතර දිගින් හමනා සැඩ පරුෂ සුළඟ
ඒ සුළඟට මැදිවූ ගල් පවුර විලස
ඉදින් මගෙ දුවේ
නොසැලී ඉදින් මගෙ දුවේ
සොලවන්නට නොහැකි විලස

දෑ නම් ගොස් ඈ කුල මල
කියා බිණුම් හා ගැරහිලි
සමාජයේ නොයෙක් දෙසින් ඒවී
එපා සැලෙන්නට කිසිදින
සිත සවිමත් කර සැමවිට
හිටපන් ගල් පවුරක් ලෙස පේවී

ආ මඟ තොට ගැන පරපුර
උසස් උගත්කම් පැසසුම්
සතර වටින් සැඩ සුළඟේ පාවි
මිතුරු වෙසින් සතුරු පිරිස
නුඹ පිළිගන්නා විලසට
දුවේ නුඹට ගිලගන්නට ඒවී


සිරිපා පියුම සුරකියි දෙව් සුමන සමන්

සිරිලක වැඩිය හිමි ගෞතම බුදු රුවන
ඇරයුම පිළිරැගෙන කළ දෙවිඳුගෙ සුමන
සලකුණ තැබුව සිරිපද සමනොළ මුදුන
පවතින තුරා කප බැබළෙනු ඇත දෙරණ

රන් සමනලුන් දැක සමනොළ වෙත ඇදෙන
කරවයි දැහැමි සිතිවිලි දන සිත නිවන
හඬගා කියන තුන්සරණය දන බැතින
රැව් දෙයි නිරන්තර සමනොළ වන අරණ

බැතිබර සිතින් සිරිපා කරුණා කරන
සලසයි සැමට රැකවරණය දෙවි සුමන
ගොඩවන කලට මලුවට පිනි මුතු හැලෙන
දැක ගත හැකි ය හිරු නැඟි සොඳුරුම දසුන

දෙව් බඹු සියලු සත නමදින සිරස නමන්
සිරිපා පියුම සුරකියි දෙව් සුමන සමන්
සිව් මහ නදී පින්බිම වට කරන ගමන්
පවසයි ලොවට සිරි සමනොළ දුටුව තමන්


මිනිස්කම

ජාති ආගම් වෙනස් වූ මුත්
එකම මිනිසුන් අපම වේ
එකම ලේ ඇති අයම වේ
කෙසේ වෙනසක් ඇති කළේ

මිනිස් සිත්වල රුදුරු කම් නැති
උතුම් හදවත් පිබිද එයි නම්
එයයි මිනිසත්කමේ මහිමය
ලොවේ සැමටම
කියා දිය හැකි


නිවී සැනසෙන්නට

හෙමින් ගමන් නැති
පමාවකුත් නැති
පෙර සසරින් මිදි
සමඟිව පෙළකින්
සිනාසිලා එනවා දෝ
කුහුඹුවනේ
පොඩි කුහුඹුවනේ.........

දුක් ගිනි නිම නැති
බියකරු සසරින්
පින් ගෙන දෝතින්
එතෙරට යන්නට

සිත් වී දෝ.........


සැනසුම ඇති තැන

සතුන් මැරීමෙන් වැළකී සිටිය යු තු
සොරකම් කිරීමෙන් වැළකී සිටිය යු තු
වැරැදි කාමයෙන් වැළකී සිටිය යු තු
බොරුවෙන් රහමෙරින් වැළකී සිටිය යු තු

වැළකී පස් පවින් ජීවත් විය යුතු ය
දහමට බණට නිති අවනත විය යුතු ය
පුන් පෝ දාට අටසිල් සුරැකිය යුතු ය
ගුණ දම්වලින් දිවි මඟ සරු කළ යුතු ය

තරහින් වෛරයෙන් කිසිවිට ඉන්න එපා
තෙරුවන් කෙරෙහි සිහිනෙදු ගර හන්න එපා
දන් සිල් භාවනාවට මැලි වන්න එපා
දෙගුරුන් ගුරුන් නොම සලකා ඉන්ට එපා

නැති බැරි අයට පිටුපාලා ඉන්න එපා
ලොකුකම උඩඟුකම හිත රඳවන්න එපා
නොහොබින දේට නම් ඇබ්බැහි වෙන්න එපා
දිවි තොර වුණත් පව් රැස් කර ගන්න එපා

පව්කම් කළොත් ඇදගෙන යයි අපායට
පේතව නැතොත් යයි තිරිසන් භවය කට
පින්කම් කළොත් ලද මිනිසත්කමේ සිට
සැනසුම සතුට ඇත දෙලොවට ළඟා කොට


සසර

ඈත වන පෙතයි
හමන මඳ නළයි
රැකවරණය දෙයි
බවුන් වඩනා හිමි යි

සසර දුක් නිවාලන්නට
කතර ගිම් සතපවන්නට
එතෙර වන්නට සිතූ සිතිවිලි
අතර අරණැ ගත සිත රැන්දු

පැන් පහස ලබන්නට
ඌරා කැටය සොයා යන
සමිඳු මුණ ගැසුණි
ගමින් පලවා හැරිය තනි ඇතු

විසිවුණා කසාවත
බාල්දිය හා සබන් කැටයක්
සමිඳු ගත සැතපුණා
නිවන් මඟටම පිවිසුණා

කටු ලැහැබ් මැද
වන සතුන් අතරින්
ගමට පියමං කොට සෙවු
දිවා දන් පත තනි වුණා
කුටිය තුළ.......