Print this Article


ආලය නමැති බලයට යටවුණොත් අහිමි වන්නේ සිතීමේ කුසලතාවයි

ආලය නමැති බලයට යටවුණොත් අහිමි වන්නේ සිතීමේ කුසලතාවයි

අප්පකා තෙ මනුස්සේසු
යෙ ජනා පාර ගාමිනො
අථායං ඉතරා පජා
තිර මෙවානු ධාවති

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කල දහම් අසන සැදැහැවත් පිරිසක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

සැවැත් නුවර එක් මහා වීදියක සැදැහැවත් ජන සමූහයා රැස්ව මහා පින්කමකට සූදානම් වූහ. දිවා භාගයේ දන්දීමත්, රාත්‍රි කාලයේ දහම් ඇසීමත් යන මෙම මහා පින්කම් දෙකට ම එක් රැස්වූ පිරිස් අතර රාත්‍රියේ දහම් අසන අය අතරින් ඇතැම් පිරිස ස්වල්ප වේලාවක් රැඳී සිට නිවෙස් කරා ගොස් නිදාගත්හ. තවත් පිරිසක් දහම් අසමින් ම නිදාගත්හ. සැදැහැවත් පිරිස දහම් අසමින් පදාර්ථ වශයෙන් අවබෝධ කරගෙන අවසානයේ දහම් පඬුරු පුදා පින්පෙත් අනුමෝදන් කළහ.

එම සැදැහැතියන්ගේ බණ ඇසීම නැණවතුන්ගේ ප්‍රශංසාවට භාජන වූ අතර භික්ෂූන් වහන්සේ ද දම් සභා මණ්ඩපයේ දී එම කාරණය සාකච්ඡා කළහ. අප බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිතිකොට ඉහත සඳහන් ගාථාවෙන් මිනිසුන්ගේ ස්වභාවය දේශනා කළ සේක.

මිනිසුන් අතර ස්වල්ප දෙනෙක් පරතෙරට හෙවත් නිවනට යන්නාහු ය. එහෙත් අනික් ජනයෝ මෙතෙර හෙවත් සංසාරයෙහි ම නැවැත නැවැත දිව යන්නෝ ය.

‘අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනාදී ලෙසින් අප බුදුරදුන් විසින් වදාළ පරිදි සත්වයකුගේ සංසාර ගමනේ අග මුල සොයා ගැනීමට නොහැකි බව දක්වා ඇත. සත්වයාගේ හුස්ම ගන්නා වූ මොහොතේ පටන් වසර කල්ප ගණන් විශ්වය තුළ භවයෙන් භවයට, ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් තෙරපී තෙරපී ගමන් කරන්නේ ය. දුවන්නේ ය. එහෙත් සත්වයා තණ්හා ජාලයේ අල්ලා ගත් තැනින් දුවන්නේ තවත් එවන් තැනක් අල්ලා ගන්නට ය.

“සද්ධම්මො පරමදුල්ලභෝ” ලෝකයේ ඉතාම දුර්ලභ කාරණය වන්නේ සද්ධර්මය යි. මිහි මත මානව පරපුර බිහිවූ දා සිට විවිධ ශාස්ත්‍රඥයන් තම තමන්ගේ බුද්ධිමය සීමාව තුළ පිහිටා භෞතික ලෝකයට ප්‍රයෝජනවත් ලෙස ධර්මයන් ප්‍රකාශ කොට ඇත. ඒවා සත්‍ය, අසත්‍ය දෙකට මැදිව පවත්නා බැවින් ලෝකෝත්තර සම්පතකට සම්බන්ධ වන්නේ ම නැත.

අප බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් සත්ව සන්තතියේ පැවැත්ම පිළිබඳ පර්යේෂණ කොට සොයා ගත් ධර්මය යථාර්ථ පරිදි සද්ධර්මය නම් වන්නේ ය.

යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො ඉදං පි ඛොඨානං දුද්දසං යදිදං සබ්බසංඛාර සමථො සබ්බූපධී පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං

බෝධි රාජ කුමාර සූත්‍රය මජ්ක්‍ධිම නිකාය)

අප බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මයට ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය හා පටිච්ච සමුප්පාදය ද අයත් වන්නේ ය. සත්වයාගේ සසර පැවැත්මේ ධර්ම න්‍යාය පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වන අතර, එය ඉතා තියුණු නුවණකින් අවබෝධ කර ගත යුතු වන්නේ ය. ලෝකයේ පැවැත්ම භෞතික න්‍යාය ධර්මයකින් සිදුවන අතර සත්වයාගේ පැවැත්ම සත්වයා විසින් ම ඇතිකර ගන්නා වූ අවිද්‍යාදී කර්ම බලයෙන් සිදුවන්නේ ය.

සත්වයකුගේ බුද්ධිමය ධාරිතාව ක්‍රියාත්මක වන්නේ උපන් පරිසරය අනුව ජීවන පැවැත්ම සීමා කර ගෙන ය. එහෙත් මිනිසාගේ බුද්ධි ධාරිතාව ජීවන පැවැත්මට වඩා සිතන්නට හැකියාව ඇති නමුත් දිනෙන් දින පරිනාම වන භෞතික සම්පත් ආලය නමැති බලයට යටවීම නිසා සිතීමේ කුසලතාව නැවතී ඇත. මේ නිසා සමස්ත ලෝකයම බුදුරදුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මයට සමීප වන්නේ නැත.

පටිච්ච සමුප්පාදය පිළිබඳ ව යථාර්ථවාදි අවබෝධයක් වර්තමාන ලෝකයට ලබා දෙන්නේ නම් මිනිසා මෙතරම් භෞතික ආශාවන් කරා යොමු වන්නේ නැත. මිනිසා මොහොතින් මොහොත පියවර තබන්නේ අත්‍යාවශ්‍ය නොවන, එහෙත් අවශ්‍යම යැයි පෞද්ගලික ව තීරණය කරන හැඟීමට වහල් වූ හිස් අන්ධකාර ලෝකයකට ය.

පටිච්ච සමුප්පාදය සත්‍ය වූ ත්, අර්ථවත් වූ ත් උතුම් ශ්‍රී සද්ධර්මය වන අතර, එයින් සත්වයාගේ අතිදීර්ඝ සංසාර පැවැත්ම මෙන් ම නැවැත්මත්, කුසල් අකුසල් පිළිබඳ ප්‍රතිඵලය මෙන් ම අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයත් ප්‍රකාශ වන්නේ ය.

එවමෙ තස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති

පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම කෙතරම් දුෂ්කර වුව ද යමෙක් මෙම උතුම් සත්ධර්මය ස්වල්ප වශයෙන් හෝ දැන ගන්නේ නම්, එය ඔහුගේ යහපත පිණිස, සංසාර දුකින් අතමිදීම පිණිස හේතු වාසනා වන්නේ ය.

මෙම ධර්මානුශාසනාව කියැවීමෙන් හා අවබෝධ කර ගැනීමෙන් මෙම අති භයානක වූ සසරින් මිදී උතුම් නිවන් සම්පත් ලබා ගැනීමට හේතුවාසනා වේවා.