Print this Article


අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මූලස්ථානය බලපිටිය මහා කප්පින වලව්ව මහා විහාරය

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මූලස්ථානය

බලපිටිය මහා කප්පින වලව්ව මහා විහාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් පාර්ශ්ව විසි දෙක අතුරින් වැඩිම විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් අයත් වන නිකාය සේ ම මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, වස්කඩුවේ සුභුති නාහිමි, කොස්ගොඩ ධම්මවංස මහ නාහිමි වැනි සම්භාවනීය මහා යතීන්ද්‍රයන් වහන්සේ අයත් වූ සිරි සද්ධම්මවංස මහා නිකයේ මූලස්ථානය වන මහා කප්පින වලව්ව විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටා තිබේ.

දහනව වැනි සියවස මුල් භාගයේ දී උපසම්පදාව ලබා ගැනීම පිණිස බුරුමයට ගිය භික්ෂූන් වහන්සේ කණ්ඩායම් පහ අතුරෙන් දඩල්ලේ රාජපක්ෂ වලව්වේ විසූ අදිරියන් ද ආබ්‍රේව් රාජපක්ෂ මුදලිතුමන්ගේ කැපකරු දායකත්වය ලද කපුගම ධම්මක්ඛන්ධ මහා නාහිමියන් සහ තත් ශිෂ්‍ය බෝපාගොඩ සිරි සුමන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුරුමයේ දී උපසම්පදාව ලබා ලක්දිව වැඩම කොට උපසම්පදා කටයුතු ඇරඹූහ.

බෝපාගොඩ සිරිසුමන මහ නාහිමියන්ගේ ශිෂ්‍ය වූ පාණ්ඩිත්‍යයෙන් සහ කීර්තියෙන් ඉහළ ස්ථානයක වැඩ සිටි ලංකාගොඩ ධීරානන්ද මාහිමිපාණන් වහන්සේ අමරපුර නිකායික උපසම්පදා කටයුතු සිදු වූ බලපිටිමෝදර උදකුක්ඛේප සීමාව සංකර යැයි පැවසීම නිසා සීමාසංකරවාදය නමින් ධර්ම ශාස්ත්‍රීය වාදයක් ඇති විය. එහි ප්‍රතිඵල වශයෙන් අමරපුර සමාගම නමින් මුල් පිරිස්වලින් වෙන් වූ නව නිකායක් ආරම්භ විය. සුධර්මා නමින් දස වර්ගික කාරක සංඝසභාවක් පිහිටුවා එහි සභාපති පදවියට ලංකාගොඩ හිමියෝ පත් වූහ. වර්ෂ 1871 දී ලංකාගොඩ ධීරානන්ද හිමියන් අපවත් වූ පසු අමරපුර සද්ධම්මවංස නිකාය වශයෙන් නම් ලද නව නිකායෙහි ප්‍රථම මහා නායක පදවිය කරපුටුගල ධම්මදින්න මාහිමියන් වෙත පුද දුනි.

රන්දොඹේ ධම්මාලංකාර මහ නාහිමියන් දවස වර්ෂ 1878 දී බලපිටිය මහා කප්පින වලව්වේ විසූ කළුහත් සැම්සන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ වාසලමුදලිතුමා සිරි සද්ධම්මවංස නිකායේ ප්‍රධාන කප්පියකාරක ධුරයට පත්ව වලව්වට යාබදව ගලාබසින මාදු නදිය ආශ්‍රිතව ශ්වේජින් නමින් උදකුක්ඛේප සීමාවක් තනවා බුරුමයේ ශ්වේජින් නිකායික ජාගර මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍යෙීත්සවයක් පවත්වා සාමණේර හිමිවරුන් විසි අට නමක් උපසම්පදා කරවීය.

එතුමන්ගේ පුත්‍ර ටියුඩර් දීද්‍රෙක් නැතෑනියෙල් ද ආබ්‍රෙව් විජයගුණරත්න වාසල මුදලිතුමා විසින් එම සේවාව ඉදිරියට පවත්වා ගෙනවිත් පූජනීය ගොඩනැගිලි සහිත බිම වර්ෂ 1956 දී කොඩිසිල්පත නම් ප්‍රසිද්ධ ලියවිල්ලක් මගින් සද්ධම්මවංස නිකාය වෙත පවරා දුනි. ටියුඩර් රාජපක්ෂ මුදලිතුමන්ගේ ලේලිය වූ වයලට් රාජපක්ෂ මැතිණිය ඉන් පසු මෙම වගකීම් නොපිරිහෙලා ඉටු කළා ය.

1985 වසරේ උපසම්පදා පුණ්‍යෙීත්සවය එවක ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජයේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට සාකච්ඡාවක් වලව් බිමෙහි පවත්වද්දී අවට කිසිදු ස්ථානයකට හානියක් නොවන පරිදි හදිසියේ ම ධාරානිපාත වර්ෂාවක් සහ සුළිසුළඟක් පතිත විය. වලව් බිමෙහි මහා රූස්ස ගස් කඩා වැටී, ගොඩනැඟිලිවලට හානි වී තලල්ලේ ධම්මානන්ද හිමියන් ප්‍රමුඛ පැමිණ සිටි ගිහි පැවිදි පිරිස තුවාල ලැබූහ. එය එවක සමාජය හඳුන්වන ලද්දේ ඉතිහාසයේ කිසිදා රජයේ දායකත්වයක් නොලද උපසම්පදාව ඉදිරියටත් ඒ අයුරින් ම පැවැත්විය යුතු බවට ස්වභාව ධර්මයෙන් ලද සංඥාවක් වශයෙනි.

කොස්ගොඩ ජිනාලංකාර මහ නාහිමියන් විසින් කොස්ගොඩ මහින්ද නාහිමියන් වෙත මෙහි භාරකාරත්වය පවරා තිබුණි. ඒ අනුව මහින්ද හිමියන් විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කරවීය. බලංගොඩ සුධම්මවංස මහ නාහිමියන් විසින් 2014 වර්ෂයේ දී සුධර්මා කාරක සංඝ සභාවේ අභිමතය පරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, දර්ශනපති, රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී නාහිමියන් වෙත මෙහි භාරකාරත්වය පැවරීය. එය විහාරස්ථානයේ නවෝදයට මං විවර කරවීමක් විය.

විහාරස්ථානයක් වශයෙන් රජයේ ලියාපදිංචි කරවා ප්‍රාදේශීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිරිසීවලී නාහිමියන් විසින් කොස්ගොඩ සිරිමිත්ත නාහිමියන් සමඟ විහාර බිමෙහි පිළිසකර කටයුතු සිදු කොට රජයෙන් ලද ප්‍රතිපාදන මත උදකුක්ඛේප සීමාව නැවත ගොඩ නැංවූහ. විනාශයට පත් පෞරාණික කප්පින වලව්වේ සැලැස්මට අනුකූලව අභිනවයෙන් ගොඩනැඟිලි තනවන ලදී. නාවික හමුදාවේ ආධාර මත බද්ධසීමාමාලකය තැනවීය. නිකායේ ආදි කර්තෘ හිමිවරුන් උපසම්පදාව ලද බුරුමයේ මහා මංගල සීමාවත්, ලංකාගොඩ ධීරානන්ද හිමියන්ගේ නාමයත් සිහිපත් කරමින් ශ්‍රී ධීරානන්ද මහා මංගල උපෝසථාගාරය නමින් නම් කොට ඇත.

නිකායික මහා සංඝරත්නයේ සහ සැදැහැති දායක කාරකාදීන්ගේ අනුග්‍රහයෙන් නවකම් කරවන ලද කප්පිනවලව් මූලස්ථාන විහාරස්ථානයේ 2022 වර්ෂයේ දී ප්‍රාචීන සෑය වෙහෙර වහන්සේ ඉදි කෙරිණි. ඒ සමඟ සකලාංග පරිපූර්ණත්වයට පත් පුදබිමක් බවට පත් විය.

පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යනු වස් 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය ආරම්භ කරන ලදී. පරිහානියට පත්ව ඇති මෙරට බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය සුරක්ෂිත කරනු වස් ආරම්භ කරන ලද ප්‍රාචීන භික්ෂු විද්‍යාලය ඉතා කෙටි කලක දී සමාජයේ ඉහළ ආකර්ෂණයක් ලබා ගත් අධ්‍යාපන ස්ථානයක් බවට පත් විය.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනයකර්ම, නායක පදවි පිරිනැමීම ඇතුළු සෑම කටයුත්තක් ම සිදු කරනු ලබන මහා කප්පිනවලව් මූලස්ථාන විහාරබිම ලක්දිව අමරපුර ශාසන වංශයේ අද්විතීය සම්භාවනාවට පත් වන විහාරස්ථානයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය.