Print this Article


පහන් සිතක කවි

 

විශාඛා සිටුදුව

සිටු කුලයක ඉපිද ආලෝකය හුරුව
සදහම් මඟ දරා ගුණ දම් සරු කෙරුව
කුලවමියක් ලෙසින් ඔබ පතිදම් පිරුව
මතු පරපුරට ධජයක් විය ගරු සරුව

සත් වසරෙහිදී බුදු මඟ වෙත සිරස නැමී
ඔබ දුරු කළා දිවියෙහි ඇති රුදුරු බැමී
වනපස මලක් ලෙස මැදුරෙහි සුවඳ හැමී
වනිතා ලොවේ රන් කිරුළයි ඔබට හිමී

****

කෙලෙස් මල හැර සතන් සිත් හැම සුවපත් වේවා

බුදුන් පුත් සුවහසක් අරිහතුන්
උපන් හෙළ දෙරණේ
බුදුන් දම් සඟ රුවන් සිරිමත්
පිරිත් සර නැඟුණේ
මරුන් කෙළි මඬලක් ව දුසිරිත්
අන්තයට පිරිහේ
සවන් යුග කුල්මතින් මිහිරිව
ගිලේ රස ගඟුªලේ
ගිමන් නිමවන නිවන් හමුවන
දනන් නැත පෙනුණේ
කෙලෙස් පටලින් වැසුණු මනසින්
දහම් ගුණ නොපෙනේ
නුවන් යුග රන් රුවන් පිළිරූ
දැකුම් නැත බැඳුණේ
දහම් නොදකින සිතින් කෙදින ද
බුදුන් රුව දකිනේ
කෙලෙස් මලයෙන් සතන් අඳ වී
නිවන් මඟ නොපෙනේ

****

කොරා සහ අන්ධයා

වේදනා සංඥාව සංඛාරා විඥාණ
බැඳුන බලවේගයට
සිතට ‘නාමය’ කියයි

පඨවි තේජෝ වායො
ආපො සිව් ධාතුවෙන්
බැඳුණ රූපයට කය
කියා අරුතක් ගෙනෙයි

නාම රූපය බැඳුණ
ඇලුම් කළ පස් කඳට
ස්ත්‍රියක් පුරුෂයෙක්
සත්වයෙක් කියාලයි

නාම යැයි කියන හිත
කොරකු උපමා ගනී
රූප යැයි කියන ගත
අන්දයකු ලෙස මනී

දෙදෙනාට ගමන් මඟ
තනිව යා නොහැකි මුත්
කොරා මඟ පෙන්වමින්
අන්දයගෙ කරින් යයි

****

බක් පොහොය වර්ණනාව

පළවැනි සතර පෙර නිමිති ද දුටුව දිනයි
සිදුහත් හිමිට දිවි මඟ කළ කිරුණ වගයි
ඉතිහාසය මෙවැනි තොරතුරු අපට තනයි
ඇසුවත් හිත ඇතුළෙ පින් සිතිවිලි ද උනයි

බුදු හිමි මැණික් පුටුවෙහි සිට දම් දෙසුව
තැන පිරිසුදු තැනකි අකුසල නැති මුසුව
රාජායතන චේතිය ඉදිවිය පසුව
දහසක් දනෝ වඳිනව නැත කසු කුසුව

පින්බර සුමන දෙවියන් එම දිනයේ දී
කිරිපළු ගස ලබාදුනි ගුණ ඇති තාදී
ඉන්පසු නාගයින්හට ඇත පින පෑදී
සාධුයි කියමු ගුණයට නව අරහාදී

****

අක්මල

සුපුෂ්පිත පුෂ්පය
සුගන්ධවත් කරමින් දසත
සුදෝසුදු පාටින් බැබළෙමින්
කලක් බලාපොරොත්තුවෙන් සිටි
ගාර්ඩිනියා පැළෑටිය මුදුණේ

තිළිණයක් ලෙස
පුංචි සිසු දැරියකගෙන් ලත්
ඉසඹුලන මොහොතේ මා
ගෙමිදුලේ ඉන්දා
පෝර ජලය ලබා දී
අනවරතයෙන්

සැනැහී හදවතින්
පිසදා නෙතඟ තුටු කඳුළු
තැත් කළත්
මවා ගන්නට ඇගේ රුව
අපොහොසත්මි

වැඩි යමක් නොකළේ
දසන් විදාලූ සිඟිත්තෝ

“මල් වට්ටිය මැද රජකෙරුවා
ගාර්ඩීනියාමල
උපන්දිනේ අදයි මගේ”
හඬ අවදි කළ කිරිඅම්මා
සොම්නසින් හා බැතියෙන්

****

පින සහ පව

සරලවම හැම සිතට දැනෙන
හොඳ නරක ගැන
කුසල අකුසල ලෙස ද
දහම් මඟ කියා දෙන
විශ්වයේ පැවැත්මේ
කල්කිරිය මතු කෙරෙන
හැඳින පින පව දෙකම
මෙහෙයවමු දිවි ගමන

****

සැනසීම

පි‍්‍රයයන් සමඟ දැඩිව ම නොබැඳී ඉන්න
අපි‍්‍රයයන් සමඟ ඇසුරක් නොපතන් න
පි‍්‍රයයන් නොදැකීම නම් ඉමහත් දුකකී
අපි‍්‍රය අය දැකීම ද එලෙසම සොවකී

එනිසා කිසි දෙයක් පි‍්‍රය ලෙස නොගැනීම
අපි‍්‍රය යැයි සිතා කිසිවක නොගැටීම
මේ දේ අතර මැද හිඳිමින් ඉවසීම
ලෝ සත ඉන් විඳී අපමණ සැනසීම

****

මහ බණ පොතක්

මඟ දෙපස වාඩිවී
යදිනා යාචකයෙක්
විඳිනා දුකෙක
දරන – කුසගින්දර දුකෙක
දකිමි මම
මහ බණ පොතක්
රෝහලක ගිලන් ඇඳක
ජීවිතය යදින
මරණාසන්නයකු ළඟ
දකිමි මම
මහ බණ පොතක්

****

නමදිමි තිලෝනා

සුදු සඳ රැස් ගල ගලා
මිහිකත මත විසිරිලා
සුපිපි සුවඳ කුසුම් නොයෙක්
පාටින් ඔපවත් කළා

සාධු නාද පැතිරුණා
පසතුරු නද විහිදුනා
මිහිකත සොළවා සිදුහත්
බෝසත් හිමි බිහි වුණා

පියුම් හතක් සුපිපුණා
බෝසත් පා දැවටුණා
සිරිමා බෝ මැඩ කුමරුන්
කෙළෙස් නසා බුදුවුණා

පස්පව් පැහැදිලි කළා
සත්තිස් බෝ දම් බලා
තුන් ලෝ වැසි සියලු දෙනා
සසර දුකින් ගොඩ කළා

****

පාණාතිපාතා

අම්මත් නැති අපට
කාගෙ සරණක් ද
එපා තාත්තෙ
යන්න දියඹට
දැල් එළනව
මිනිස්සු

ලොකු කුඩා අපිව
අල්ලගෙන විකුණන්න
එපා පුතේ බයවෙන්න
අද
පසළොස්වක පෝය