Print this Article


පෙර සූදානම...

පෙර සූදානම...

සසර කියන්නේ දවසකින් දෙකකින් ඉවර වෙන දෙයක් නොවෙයි. ගණනින් මෙ පමණකැයි කියා කියන්නට නොහැකි ය. මේ සසර ගමනේ අප කොහේ හෝ තැනක ඉපදුණා. ඒ හැම ජීවිතයක් ම මරණයෙන් කෙළවර වුණා. මේ මිනිස් ලොව, අප උපන්නේ පෙර බවයේ මරණයට පත් වූ නිසා යි. මේ භවයේත් අපට මිය යන්න සිදු වෙනවා. මරණයටත් ඊළඟ උපතටත් පූර්ව සූදානමකින් සිටිය යුත්තේ ඒ නිසයි.

මේ ලැබුණ ජීවිතය වහා බිඳීයන දෙයක්. ඒක හරියට සියුම් සිවියකින් වැසි ගිය බිත්තරයක් වගේ දෙයක්. ඕනෑම මොහොතක වහා බිඳී යන ස්වභාවයෙන් යුක්ත යි. මොහොතින් මොහොත මේ ජීවිතය බිඳි බිඳී යන හැටි අපි අත්දකිනවා. කළලයේ සිටින දරුවාගේ පටන් ජීවිතයේ කෙළවර තෙක් බොහෝ වයස්ගත වූවන් දක්වා විහිදී යන පරාසයක සිටින සෑම දෙනකුට ම තිබෙන්නේ වහා නැසි යන ස්වභාවයෙන් යුතු ශරීරයක්. උෂ්ණයෙන්, සීතලෙන්, පිපාසයෙන් ලෙඩදුක්වලින්, සතුරු උපද්‍රවයන්ගෙන්, මැසි මදුරු සර්ප උවදුරුවලින්, අමනුෂ්‍ය විපත්වලින්, හදිසි අනතුරු මෙන් ම ස්වභාවික අනතුරුවලින් ආදීි කවර හෝ හේතුවක් නිසා නිසැකව ම අපට මිය යන්නට සිදු වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට පෙර අප මියයන්නට පුළුවන් කියලා. මොන තරම් සම්පත්, මිල මුදල්, යානවාහන තිබුණත් මරණය ඉක්මවන්නට හැකි කෙනෙක් ලෝකයේ කොහේවත් නැහැ.

ඉගෙන ගත්තත් නැතත්, පින් කළත් නැතත්, රැකියාවක් කළත් නැතත්, විවාහ වුනත් නැතත්, දරුවෝ සිටියත් නැතත්, වසංගත රෝග හැදුණත් නැතත්, සැකයක් නැතුව ම අපි මිය යනවා. ස්ත්‍රී පුරුෂ, උගත් නූගත්, දුප්පත්, පොහොසත්, කිසිදු භේදයක් නෑ. නොසිතන මොහොතක මරණය අප වෙත පැමිණෙනවා.

ඒ නිසා සිතේ උපන්නා වූ ද්වේෂය, වෛරය, ක්‍රෝධය ආදි අකුසල් දුරුකර නිරන්තරයෙන් අනෙකාට මෙත් සිත පතුරුවමින් ජීවත් වීමට වෑයම් කළ යුතුයි. එවිට මෙලොව සතුටින් ගත කර, පරලොව සුගති සැප සලසා ගන්නට පුළුවන්.