Print this Article


චීවරයට අයිතිය කී කාවාගේ කතාව

චීවරයට අයිතිය කී කාවාගේ කතාව

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වෙසෙන කාලයේ තිස්ස නම් භික්ෂූන් වහන්සේ නමක් එහි වැඩ වාසය කළා. උන්වහන්සේ ඈත ගමක වස් සමාදන් වුණා. උපාසකයෙක් උන්වහන්සේට අට රියන් පමණ වූ රළු වස්ත්‍රයක් පූජා කළා. ඒ, වස් අවසානයේ ඒ ගමෙන් පිටත්ව සැවත්නුවරට වඩින දිනයේ යි. උන්වහන්සේ ඒ රළු වස්ත්‍රය සොහොයුරියගේ නිවසට ගෙන ගියා.

“මා ආපසු රැගෙන යාමට පැමිණෙන තුරු මේ සළුව මෙහි තබන්න” කියා ආපසු වැඩම කළා.

සළුව අතට ගත් හිමියන්ගේ සොහොයුරිය “මේ සළුව මගේ සහෝදර ස්වාමීන් වහන්සේට ඉතා රළු වැඩියි.” සිතා එය කැබැලිවලට කපා වංගෙඩියට දමා කොටා නැවත නූල් ගෙන ඒ නූල් යොද සිනිඳු සළුවක් සකස් කළා.

පසු දිනෙක ඒ ස්වාමීන් වහන්සේ තවත් කිහිප නමක් සමඟ සොහොයුරියගේ නිවසට වැඩම කොට “ඔබට මම අරන් තැබීමට දුන් සිවුර රැගෙන යාමට පැමිණියෙමි.” වදාළා. සොහොයුරිය අසුන් පනවා වඩා හිඳුවා සිවුර ගෙනැවිත් පූජා කළා.

“අක්කණ්ඩිය, මේ මා ඔබට දුන් සිවුර නොවේ. මා දුන් සිවුර ලබා දෙන්න.”

“ස්වාමීනි, මෙය ඔබ වහන්සේ මට දුන් සළුව යි. එය ඉතා රළු වූ නිසා මෙම වංගෙඩියේ දමා කොටා නූල් ගෙන නැවත සිනිඳු සළුවක් මෙසේ පිළියෙළ කළා. ඔබ වහන්සේ සුව සේ මේ සිවුර පොරවන සේක්වා යි” කියා සිටියා.

“ස්වාමීන් වහන්සේ එයත් රැගෙන විහාරයට වැඩියා. සිවුර දිග හැර බලා ඉතා "සියුම්, මනරම් යැයි මුමුණා" හෙට දිනයේ මම මේ සිවුර පොරවනවා” යි අදහසක් ඇති කරගෙන සිවුර නවා තබා සැතපුණා. එහෙත් දිවා කාලයේ ගත් දානය දිරවාගත නොහැකිවීම නිසා උත්සන්න වූ රෝගාබාධයකින් උන්වහන්සේ රාත්‍රියේ ම අපවත් වුණා.

සිවුර කෙරෙහි ආශාවෙන් අපවත් වූ නිසා එවේලෙහි ම උන්වහන්සේ සිවුරෙහි කාවෙක් වී උපන්නා. උන්වහන්සේගේ සොහොයුරිය ද ඒ අපවත්වීම අසා මහත් ශෝකයට පත් වුණා.

අවසන් කටයුතුවලින් පසුව එහි වැඩ සිටි අනෙක් භික්ෂූන් වහන්සේ සිවුර දැක “මේ සිවුර අපි රහතන් වහන්සේ උදෙසා පූජා කරමු” කියා කතිකා කොට සිවුර වෙත ගියා. එහිදී සිවුරේ සිටි ඒ කාවා “මගේ දේ පැහැර ගන්නවෝ” කියමින් සිවුරේ ඒ මේ අත වේගයෙන් දුව ගියා. භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියේ වැඩ සිටියා. ඒ අවස්ථාවේ සිවුරේ සිටින කාවා. “මගේ දේ පැහැර ගන්නවෝ” කියමින් කෑගසන හඬ භාග්‍යවතුන් වහන්සේට ඇසුණා. උන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා “පින්වත් ආනන්ද තිස්සගේ සිවුර කිසිවකුට ගන්න දෙන්න එපා. හත් දිනක් සිවුර ඔතැනම තබන්න කියා වදාළා. අටවැනි දින භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කොට

“පින්වත් මහණෙනි මේ සිවුර ගැන ඔබ කුªමක් සිතන්නේ ද? තිස්ස භික්ෂුව සිවුරට ආශාවෙන් කටයුතු කොට මේ සිවුරේ කාවෙක් වී උපන්නා. ඔබලා සිවුර ගන්නට උත්සාහ කරද්දී “මාගේ දේ පැහැර ගන්නවා” කී කාවා ඔබලා ගැන ක්‍රෝධයෙන් හිටියේ. වැළපෙමින් සිටියේ. ඒ වෙලාවේ ඒ කාවා මිය ගියා නම් අනිවාර්යයෙන් දුගතියේ ඉපදෙනවා. සිවුර එතැනම තැබූ නිසා එසේ වූයේ නෑ. දින හතකට පසු ඒ කාවා මිය ගොස් තුසිත දෙව් ලොව උපන්නා. දැන් ඔබ ඔය සිවුර සුදුසු අයකුට ලබා දෙන්නැයි” අනුදැන වදාළා.

මහණෙනි, සත්වයාට තණ්හාව ඉතා විපත්ති කරයි. යකඩයකින් එන මලකඩ කෙදිනක හෝ යකඩය විනාශ කර දමන්නේ යම් සේ ද එපරිද්දෙන් තණ්හාව විසින් ඉපදුණු සත්වයාව දුගතියට ඇද දමනු ලබනවා” යැයි භාග්‍යවතුන් වහන්සේ වැඩිදුරටත් දේශනා කොට වදාළා.