Print this Article


විදුලකර පිරුවන්පති නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමි

විදුලකර පිරුවන්පති නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, පිරිවෙන් අධ්‍යාපන අංශයේ ගණිත ගුරු උපදේශක, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, නාවින්නේ ධර්මකීර්ති ශ්‍රී සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ අප්‍රේල් මස හය වන දින අපවත් වී වදාළ සේක. .

වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවන දින බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ආරම්භ කොට තදනන්තරව සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, සාහිත්‍යශූරී පණ්ඩිතාචාර්ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි, ආගමචක්‍රවර්තී පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, සාර්වභෞම පණ්ඩිත සාහිත්‍යචක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, විනයාචාර්ය නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමි සහ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමි යන මහා යතීන්ද්‍රයන් වහන්සේලා ශෝභාවත් කළ විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති ධුරය හොබවන අටවැනි නාහිමිපාණන් වහන්සේ නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ ය.

වර්ෂ 1949 ජූලි මස 06 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ පල්ලේපත්තුබද නාවින්න ග්‍රාමයේ විසූ විජේසිංහ ආරච්චිගේ පීටර් විජේසිංහ මැතිතුමාගේ සහ පලිහවඩන ආරච්චිගේ නන්දා පලිහවඩන මැතිණියගේ පුත් රුවනක ලෙසින් ජන්මලාභය ලද නාහිමිපාණන් වහන්සේ මෙත්තනන්ද යයි නම් ලැබූහ. කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට නාහිමියන් භාග්‍යවත් විය.

මෙත්තානන්ද කුල කුමරුන් වර්ෂ 1964 මැයි මස 21 වන දින කිරිවත්තුඩුවේ සහ යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේ ආචාර්ය උපාධ්‍යාය කොට ගනිමින් නාවින්නේ සුගුණධම්ම නමින් සසුන්ගත කරවීය.

පන්නිපිටියේ විද්‍යාලංකාර පරිවේණස්ථානයේ කෘත්‍යාධිකාරීව වැඩ සිටි ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ භාරකාරත්වය යටතේ ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි ප්‍රමුඛ ඇදුරු මඬුල්ල පා සෙවණෙහි වර්ග පටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළ සුගුණධම්ම හිමිපාණන් වහන්සේ පිරුණු විසි වයස් ඇතිව 1971 මැයි 20 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලදහ.

1970 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගණිතය සහ සංඛ්‍යානය විෂයන්ගෙන් 1974 වසරෙහි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හිමි කර ගන්නා ලද නාහිමිපාණන් වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවනෙහි සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය පදවි හෙබවූහ,

2020 වර්ෂයේ දී මල්වතු මහා විහාරය මඟින් කීර්ති ශ්‍රී නාමධෙය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පුද දෙන ලදී.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අද්‍යතන සම්බුද්ධ ශාසන ඨානාන්තර අතර අතිශය සම්භාවනීය ඨානාන්තරයක් වූ වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය පුද දීමට විද්‍යාලංකාර සභාව තීරණය කරන ලද්දේ විදුලකර සඟ පරපුරෙහි වැඩ සිටි ජ්‍යෙෂ්ඨතමයා වෙත එම සම්භාවනීය පදවිය පිරිනැමීම විදුලකරේ අතීත සම්ප්‍රදාය වූ නිසාවෙනි. රත්මලානේ ධර්මාරාම නාහිමියන්ගේ පටන් විදුලකර පරිවේණාධිපති නාහිමියන් වෙත පුද දෙන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන

සංඝනායක පදවිය සහ මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය සහ ධර්මකීර්ති ශ්‍රී යන ගෞරවනාමාධෙයයන් නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වෙත පිරිනැමීමට මල්වතු මහාවිහාරයේ විංශත්වර්ගික කාරක මහා සංඝසභාව තීරණය කරන ලද්දේ 2022 ජනවාරි මස අට වන දින දී ය.

තමා හමුවට පැමිණෙන කා හටත් අනතිමානී ගුණයෙන් කාරුණිකව සැලකූ නාහිමිපාණන් වහන්සේ හට නිවන් සුව ප්‍රාර්ථනා කොට සිටිමු