Print this Article


අසූ එක් වැනි විය සපුරන දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි

අසූ එක් වැනි විය සපුරන දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි

මහනුවර මල්වතු මහා විහාරාධිවාසී, රාජපූජිත වල්ගම්පාය රාජමහා විහාරාධිපති, ගැරැප්පිටිය රණවන විහාරද්වය සහ වතුරකුඹුරේ සිළුමිණි සෑ විහාරය යන විහාරත්‍රයාධිපති, විශ්‍රාමලත් විදුහල්පති, ගෞරව ශාස්ත්‍රවේදී දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිපාණන් වහන්සේ අප්‍රේල් මස 16 වැනි දින ස්වකීය පුණ්‍යවන්ත වූ දිවි ගමනෙහි අසූ එක් වැනි විය සපුරමින් අසූ දෙවැනි වියට පා තබති.

යුරෝපීය ආක්‍රමණ හමුවේ සිංහල රාජ්‍යත්වයේ ආරක්ෂාව පිණිස සේනා සංවිධානය කරනුවස් හෙළ නර විරුවන්ට රැකවරණය සැපයූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩ හේවාහැට දිඹුල්කුඹුර ග්‍රාමයේ බජ්ජල වලව්වේ දී වර්ෂ 1941 අප්‍රේල් මස 16 වැනි දින ජන්ම ලාභය ලද අනුනාහිමිපාණන් වහන්සේ ගමේ පාසලෙන් අකුරු කොට වැඩිදුර අධ්‍යාපනය ලැබීම පිණිස මල්වතු මහා විහාරයට පැමිණ මාත්ගමුව පන්සලේ නේවාසිකව සිට ශ්‍රී සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ.

අද්‍යතන ධර්මශාස්ත්‍රෝද්දීපනියෙහි ආදිකර්තෘභූත වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ඤාති ශිෂ්‍යවර, මල්වතු විහාරයේ සයවැනි මහා නායක පදවිය ශෝභාවත් කළ වැලිවිට සරණංකර මහා නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් මාත්ගමුවේ ධම්මාලෝක නා හිමි, ඉලූක්වත්තේ ධම්මානන්ද නා හිමි සහ වතුරකුඹුරේ ඤාණවිමල නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1965 දෙසැම්බර් මස 30 වැනි දින පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා එදින ම සන්ධ්‍යාවේ දී අමුණුගම රාජගුරු විපස්ස්‍යාභිධාන මහ නා හිමියන් උපාධ්‍යාය කොට රඹුක්වැල්ලේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ රත්නින්දේ අනෝමදස්සි නා හිමියන්ගේ කර්මාවාගාචාර්යත්වයෙන් උපසම්පදාවට පත් වූහ.

ස්වකීය ආචාර්යයන් වහන්සේලාගේ අපවත් වීමෙන් පසු යටිනුවර ගැරැප්පිටිය සහ පිළිමතලාවේ රණවන යන විහාරද්වයෙහි ආධිපත්‍යයට පත් වූ අනු නා හිමිපාණෝ දීර්ඝ කාලයක් කර්මවාගාචාර්යයන් වහන්සේනමක සහ උපාධ්‍යායයන් වහන්සේ නමක ලෙස මල්වතු මහා විහාරයේ වාර්ෂික උපසම්පදා විනය කර්මයන් සඳහා දායකත්වය සැපයූහ. අවස්ථා ගණනාවක දී ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා ද දායකත්වය ලබා දුන්හ.

2004 වර්ෂයේ සිට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියෙහි කටයුතු කරමින් සිටින අතරතුර 2009 දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ මල්වතු මහා විහාරයේ

විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන්, අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ප්‍රඥාශේඛර අනු නා හිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාරයීය රාජකීය අනුනායක පදවියට පත් වී වදාළ සේක.

2016 දී දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක සංඝ සභාන්තර්ගත දන්තුරේ ඓතිහාසික වල්ගම්පාය රාජ මහා විහාරාධිපති පදවිය ද අනුනාහිමියන් වෙත පැවැරුණි.

තමන් වහන්සේගේ ආධිපත්‍යයේ පවතින විහාරස්ථානයන් සකලාංග පරිපූර්ණ විහාරස්ථාන බවට පත් කොට ඒවායේ ආධිපත්‍යය ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වෙත පවරා දුන්හ.

කර්මවාගාචාර්ය, පරිවේණාචාර්ය ලක්ෂපාන චන්දවිමල නාහිමි, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික අම්පිටියේ චන්දජෝති නාහිමි, කථිකාචාර්ය ටැම්පිටියේ ඉන්දවිමල හිමි ඇතුළු විසි නමකට අධික ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අනුනාහිමියන් විසින් සම්බුදු සසුන වෙත දායාද කොට තිබේ.

තමන් වහන්සේ හමුවට පැමිණෙන කාහටත් අනතිමානී බවින් හා සමානාත්මතාවයෙන් යුතුව සත්කාර සම්මාන සිදු කරන අනු නාහිමිපාණෝ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් ප්‍රාදේශීය විහාරස්ථානවල කටයුතු සඳහා ද ස්වකීය දායකත්වය ලබා දෙමින් මහා විහාර සම්ප්‍රදාය හා බද්ධ වූ චාරිත්‍ර විධි නොකඩ කොට පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන අන්දම ප්‍රශංසාර්හ වෙයි.

අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික අභිවෘද්ධි සාධනය පිණිස නිරෝගි සම්පත් සාධනය වේවා!