Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 62 කොටස: දීඝාභයගේ ද්‍රෝහි වීම ඉසිලිය නොහැකි පාඩුවක්

දුටුගැමුණු මහ රජතුමා - 62 කොටස:

දීඝාභයගේ ද්‍රෝහි වීම ඉසිලිය නොහැකි පාඩුවක්

“මේ යුද්ධයෙන් අපට වූ හානිය අඩුයි. සිරිනාග තමන්ගේ සේනාංකයට උපදෙස් දී තිබුණේ යුද්ධ කිරීමට නොවෙයි. එයින් වැළකී සිටීමට.

යුද්ධයෙන් තුවාල ලැබූවන්ට ඒ මොහොතේ ම ප්‍රතිකාර ලැබුණා. තිස්සගේ හමුදාවේ තුවාල ලැබූවන්ටත් ප්‍රතිකාර කළේ අපේ වෙද හෙද තරුණ තරුණියන්. එම සේනාංකවල සෙබළුන් ජය ශ්‍රී කියමින් අපේ පිලට එන්නට පටන් ගත්තේ එබඳු උපායන් නිසා” යි දුටුගැමුණු රජතුමා කීවේ ය.

“මුලින් ම පිල් පෙරළිය කළේ කණ්ඩුල ඇතා”යි මහනෙල මහ සෙනෙවි කීය. කවුරුත් සිනා නැගූහ.

දෙමටමල් විහාරයෙහි භික්ෂූන් වහන්සේලාගේ ආධාරයෙන් බේරී පලාගිය තිස්ස කුමාරයා දීඝවාපියට ආවේ පරාජය පිළිබඳ කණස්සල්ලෙන් පමණක් නොවේ. ස්වකීය සහෝදරයාට ද්‍රෝහීවීමේ විපාක ද අත්විඳිමිනි. “සංඝයා වහන්සේලාගේ ඉදිරියෙහි දී දුන් ප්‍රතිඥාව බිඳ දැමූ මා දිවි ගලවා ගත්තේ ද සංඝයා වහන්සේලාගේ අනුග්‍රහයෙනි.” යි සිතු ඔහු දීඝවාපියෙහි වැඩ විසූ ගෝධගත්ත මහතෙරුන් වහන්සේ වෙත ගොස් තමාගේ පශ්චාත්තාපය හෙළිකොට ස්වකීය සහෝදරයාට විරුද්ධ වීමේ පාපයත්, වරදත් පිළිගෙන ඒ බව දුටුගැමුණු රජතුමා වෙත දන්වා සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

පන්සියයක් මහ සඟුන් පිරිවරා ගෝධගත්ත මහතෙරුන් වහන්සේ, තිස්ස කුමාරයාට කුඩයත්, පාත්‍රයත් දී මාගම රජ මාළිගයට රැගෙන විත් විහාර මහා දේවියගේ රැකවරණය මත ගැමුණු රජතුමා වෙත ඉදිරිපත් කළ සේක.

සියල්ලෙහි වරද පිළිගත් තිස්ස කුමරු ඉදිරියෙහි කවරදාකවත් ද්‍රෝහී නොවන බව කියා දුටුගැමුණු රජතුමාට වැඳ සමාව ගත්තේ ය. දුටුගැමුණු රජුගේ ඉල්ලිම අනුව දීඝවාපියට ගොස් මුළු ප්‍රදේශයම සරුසාර යායක් බවට පත් කොට යුද්ධය සඳහා අවශ්‍ය ධාන්‍යවලින් ගබඩා පුරවා තැබීය.

ගෝධගත්ත තිස්ස මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දුටුගැමුණු රජතුමා එක් කරුණක් මතක් කළේ ය.

“මහා ස්වාමීන් වහන්ස, මේ ඉතා සුළු කරුණෙහි ලා ඔබ වහන්සේලා වෙහෙස වූයේ කුමට ද? තිස්ස වැරදි ඇසුරෙන්, වැරදි ඉලක්ක මත, වැරදි මඟක ගියේ ය. එහෙත් ඔහු සමඟ මගේ කෝපයක් නැත.

කෙසේ වුවත් මේ අර්බුදය පිළිබඳ වැරදිකාරයන් අපි දෙදෙනා හෝ නොවෙමු. වැරදිකාරයෝ ඔබ වහන්සේලා ම ය.

“මේ සමගිය කරන්නට තිබුණේ මෙයට කලිනි. එය නිසි වේලාවට සිදු වුණා නම් සටන නතර වන්නට තිබුණි. එසේ වූයේ නම් අපේ දහස් ගණන් සෙබළුන් මිය යන්නේ ද නැත.

ගෝධගත්ත තිස්ස මහ තෙරුන් වහන්සේ නිහඬවම එම වරද ඉවසූහ.

දැන් දැන් දුටුගැමුණු රාජ සභාවේ රැස්වීම් නිතරම පැවැත්වෙයි. සන්ථාගාරයට වරින් වර රැස්වන, විවිධ කාර්යභාර සංවිධාන කණ්ඩායම් තම තමන්ගේ කාර්යයන් පිළිබඳ ව වාර්තා ගොනු කරති.

යුද්ධ මණ්ඩලයේ ප්‍රධාන සෙනෙවිවරුන්, මහ ඇමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය, දස මහා යෝධයන්, දාඨාසේන, මහනෙල, උපතිස්ස බණ්ඩාර ඇතුළු විශේෂ කාර්යභාර සෙනෙවිවරුන් ඇතුළු යුද්ධ කාර්යයෙහි වගකීම් ඇති සියලු දෙනා කැඳවන මෙන් මහ ඇමැති, නන්දිමිත්‍ර දෙදෙනාට නියෝග කරනු ලැබ, සියලු දෙන රාජකීය අමුත්තන්ගේ ශාලාවෙහි රැස්වූහ.

හැකි ඉක්මණින් පැමිණ තමා හමුවන ලෙස දිගාමඩුල්ලේ රජු ලෙස පෙනී සිටින තිස්ස කුමාරයාට හීපතක් යවන ලෙස මහ ඇමතිට දැන් වූ විට, තමන්ම දීඝවාපියට ගොස් ඔහු කැඳවා ගෙන ඒමේ වගකීම විහාරමහා දේවිය විසින් භාරගනු ලැබූ බව මහ ඇමතිතුමා විසින් සභාවට දන්වන ලදී. දුටුගැමුණු මහ රජතුමා පැමිණ අසුන් ගැනීමෙන් පසු සාකච්ඡාව ඇරැඹිණි.

“නන්දිමිත්‍ර මාගම රාජධානිය හොඳ පාලනයකින් යුක්ත බව ඇත්ත. නමුත් සේනා සංවිධානය තරමක් බාල වෙලා නැද්ද? අපේ සේනාංක එළාර රජුගේ යුද්ධ සේනාංක හා ගැටෙන්නට ප්‍රමාණවත් ද යන්න අපි දැන ගන්නේ කොහොමද?”

“මහ රජතුමනි, ඒ සඳහා අපට තිබුණු ඉඩ ඇහිරුණු බව ඇත්තයි. එහෙත් දැනට අප යොදා තිබෙන ඔත්තුකරුවන් මඟින් දින කිහිපයක් ඇතුළත අලුත් තොරතුරු දැන ගන්නට ලැබේවි. අනුරපුර යුද්ධ සූදානම ගැනත්, විජිතපුර ආරක්ෂක සංවිධාන ගැනත්, මහියංගනයේ සිට ඉදිකර ඇති බලකොටු හා යුද කඳවුරු ගැනත් දැනට ලැබී ඇති වාර්තා මහනෙල සෙනෙවි ඔබ වහන්සේට භාර දුන් බව දැන ගන්නට ලැබුණා.”

පියරජතුමාට හිතවත්ව සිටි බලවතුන් බොහෝ දෙනෙක් මට විරුද්ධව සිටින්නේ ඇයි? මේක මට තේරුම් ගන්න බැහැ. මහ ඇමැතිතුමනි, මහවැලි ගඟින් දකුණට කිසිම සතුරු පිරිසකට එන්නට බැරිවීම සඳහා රජතුමා යෙදූ ආරක්ෂා සංවිධාන ලිහිල් වුණේ කොහොමද?

සෙනෙවිවරුනි, මහවැලි ගං දකුණු ඉවුරේ අපේ බලකොටු අල්ලා ගැනීමට එළාර රජුගේ භට හමුදාවන්ට හැකි වුණේ කොහොමද? කිසිදු තොරතුරක් නොදන්නා කෙනෙකු මෙන් ගැමුණු රජතුමා ප්‍රශ්න කළේ ය.

“ දීඝාභය කුමාරයා අපට ද්‍රෝහීවීම ඉසිලිය නොහැකි පාඩුවක්. ඔහු උතුරට පැන ගියේ සියලු ආරක්ෂක කඳවුරු සොළී භටයන්ට පවරා දෙමින්.