Print this Article


ගස්වැල් වනසනවා ද? තමන්ගේ විනාශය අත ළඟයි

ගස්වැල් වනසනවා ද? තමන්ගේ විනාශය අත ළඟයි

කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් යුතු තුරුවදුලක මදනල පහස විඳීමින් සීටීමට නම් අපට සුන්දර පරිසරයක් තිබිය යුතු ය. වෘක්‍ෂලතා නොහොත් ගස්වැල් යනු අපේ ජීවිතයේ ම කොටසක් හා සමාන ය. ඔබ මදක් වට පිට බලන්න.

ඔබ වාඩිවන පුටුව, ඔබගේ පොත් පත් තිබෙන මේසය, ගෙදර දොරවල, ජනේල, වහලේ පරාල, ඔබ නිදියන ඇඳ, අල්මාරී, රාක්ක ආදී බොහෝ දේ සාදා ඇත්තේ දැවවලිනි. ඒවා සඳහා යොදාගෙන ඇත්තේ ගස්වල දැව නොවේ ද? අප ආහාර ලෙස ගන්නා එළවළු, පලතුරු ආදිය ලබා දෙන්නේ ද වෘක්‍ෂලතා නොවේ ද? සියලු සත්ත්වයෝ උපන් දා පටන් මරණය දක්වා හුස්ම ගනිති. එසේ හුස්ම ලෙස අප ලබා ගන්නේ ඔක්ෂිජන් වායුවයි. අප හුස්ම ගෙන පිටකරන කාබන්ඩයොක්සයිඩ්ඞ් වායුව ගස්වැල් උරාගනී. එසේ කාබන්ඩයොක්සයිඩ්ඞ් වායුව උරාගන්නා ගස්වැල් නැවත අපට ඔක්ෂිජන් වායුව ලබාදෙයි. ඒ අනුව අපේ ජීවිතයේ පැවැත්ම ඇත්තේ ද ගස්වැල්වල බව මතක තබා ගත යුතු ය.

ලෝකයේ ජනගහනය දිනෙන් දින වර්ධනය වේ. එසේ ජනගහනය වර්ධනය වුවත් අපට ඇති වෘක්‍ෂලතා පිහිටා ඇති වනාන්තර ප්‍රමාණය ඉතා අල්ප ය. ඒවා සීමා සහිත ය. ජනගහනය වර්ධනය වීමත් සමඟ ඔවුන්ගේ අසීමිත වූ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා වනාන්තර විනාශ කිරීම සිදුකරයි. නිවෙස් සෑදීම සඳහා දැව ලබා ගැනීම, ගෘහ භාණ්ඩ සඳහා දැව ලබා ගැනීම ආදියට විශාල ලෙස ගස් කපා දමයි. එසේ ම සංවර්ධනයේ නාමයෙන් මංමාවත් ඉදිකිරීමේ දී විශාල වශයෙන් වනාන්තර විනාශ වේ. එසේ ම නිවෙස්, පාසල්, ක්‍රීඩාංගණ, කර්මාන්ත ශාලා ආදිය ඉදිකිරීම සඳහා ගස්වැල් කපා ඉවත් කිරීමට සිදු වේ. එහි දී පරිසරයේ ඇති වෘක්‍ෂලතා විනාශ කර මහා කොන්ක්‍රීට්වලින් පිරුණු නගරයක් නිර්මාණය වේ. එම නගරය තුළ ඉතා උෂ්ණත්වයක් ඇති ව ජීවත්වීමට සිදු වේ.

බොහෝවිට කෘෂිකර්මාන්තයේ නියුතු ගොවි මහතුන් හේන් ගොවිතැන සඳහා විශාල ලෙස කැලෑ කපා ගිනි තබා හේන් වගා කරයි. ඒ තුළින් ද වන විනාශය ඇති වේ. තවත් සමහරු දේශපාලන හෝ වේවා නොයෙක් බල පුළුවන්කාරකම් උපයෝගී කරගෙන වනාන්තරවල ඇති වටිනා ගස් කපා මහා පරිමාණයේ හෝටල් ඉදිකිරීම, දැව ලබා ගැනීම ආදිය කරමින් වනාන්තර විනාශ කරන අවස්ථා අපට අසන්නට ලැබේ. සමහර අයගේ දැනුවත් බව හෝ නොදැනුවත් බව නිසා වනාන්තර විනාශ කිරීම දිගින් දිගට ම සිදු වේ. මෙය ලෝකයේ ම සංවර්ධනයේ නාමයෙන් සිදුවන්නකි.

ගස්වැල් විනාශ වීමෙන් අපට අහිමි වන්නේ වනාන්තර පමණක් නොවේ. සමහර අය දඩයම් පිණිස ද වනාන්තරවලට ගිනිතැබීම සිදුකරයි. ගින්නට හසු වූ බොහෝ කුඩා සත්ත්වයෝ පිළිස්සී මිය යයි. අපා දෙපා සිව්පා බහුපා ආදී බොහෝ සත්ත්වයෝ ගොදුරු බවට පත්වෙති. දිව යා හැකි තරමක් ලොකු සත්තු දිවගොස් සිය ජීවිතය බෙරාගත්ත ද දඩයක්කරුවන් ඔවුන් ද මරා දමයි. පරිසරය විනාශ වීම නිසා අහිංසක සත්ත්වයන්ට ජීවත්වීමට නොහැකි වී යයි. ඒ තුළින් ඒ ඒ රටවලට ආවේණික වූ බොහෝ සතුන් වඳ වී යාමේ තර්ජයන්ට ලක් වී ඇත.

පරිසරයේ ඇති තෙතමනය රඳා පවතින්නේ වෘක්‍ෂලතා නිසාවෙනි. එම ගස් වැල් විනාශ වූ විට පාංශුඛාදනය වේ. පස් සේදී යෑමේ දී පොළවේ මතුපිට ඇති පොහොර සහිත පස් සේදී යයි. එයින් පස නිසරු වේ. අපට ආහාර පිණිස හෝ යම් බෝගයක් වවා ගැනීමට නොහැකි වේ.

පස් සෝදාගෙන යෑම නිසා ඇළ දොළ, වැව් අමුණු ආදිය මඩවලින් පිරී යයි. එවිට ඒවායේ රැඳෙන ජල ප්‍රමාණය සීමා වෙයි. වියළි කාලයක් ආ විට ඉක්මනින් ම ඒවායෙහි ඇති ජලය සි¼දී යයි.

මිනිසාට මෙන් ම සතා සිවුපාවාට පවා ජලය හිඟ වේ. ජලය හිඟ වූ විට තිබෙන ගස් කොළන් පවා විනාශ වී යයි. ගස්වැල් නොමැති විට ජල උල්පත් පවා සි¼දී යයි. මිනිසාට බීමට පවා ජලය නොමැති තත්ත්වයක් උදාවේ. මිනිසා ගස්වැල් විනාශ කරනවා යනු තමාගේ විනාශය තමා ම උදාකර ගැනීමකි.

දුවේ පුතේ, වනාන්තර ආරක්‍ෂා කර ගැනීමට අප හැමදෙනා ම එක්විය යුතු ය. බුදුරජාණන් වහන්සේ යනු පරිසරයට ආදරය කළ ශාස්තෘවරයෙකි. උන්වහන්සේ අපට පරිසරය රැක ගැනීමට පවා උපදෙස් දී ඇත. උපසම්පදා හාමුදුරුවන් වහන්සේ නමකට ගසකින් අත්තක් පවා නොකපන ලෙස අවවාද කොට ඇත.

එසේ ම බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවුයේ ලුම්බිණි සල් උයනේ දී බව ඔබ දන්නා කරුණකි. දුෂ්කර ක්‍රියා කරන කාලය තුළ අවුරුදු 06ක් ම ජීවත් වූයේ වනාන්තරය ඇසුරු කරමිනි. ආහාරයට ගත්තේ කෑලේ තිබෙන පලවැලයි. අදත් බොහෝ භාවනායෝගී පිරිස් ජීවත් වන්නේ වනාන්තර ඇසුරු කරමින් බව පෙනේ.

අවසානයේ දී උන්වහන්සේ පිරිනිවන් පාන්නේ ද මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී ය.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක් පාරිලෙය්‍ය නම් වනයට වැඩම කොට වස් වසා වැඩ සිටි බව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී අපට පෙනී යයි. බොහෝ රහතන් වහන්සේ වැඩ සිටියේ ද වනාන්තර ඇසුරු කරමින් බව අප දන්නා කරුණකි.

සසර කතරින් එතෙරවනු කැමැති අය සිත නිවා ගැනිමට නම් වනාන්තරයක් හෝ ගසක් යටට ගොස් භාවනා කරන ලෙසට බුදුරජාණන් වහන්සේ අපට කියා දී ඇත. අදත් ඔබ කොහේ හෝ ගමනක් ගොස් දිවා කාලයක නම් වාහනයක් නැවැත්වීමට සෙවණ තිබෙන තැනක් සොයයි. බොහෝවිට ගසක් යට වාහනය නවතා තබයි.

ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිට විඩා හැරීමට, පයින් ගමනක් යන විට විඩා හැරීමට, කුඹුරක හෝ හේනක වැඩ කරමින් සිට වෙහෙස නිවා ගැනීමට ඔබ දිව යන්නේ ද ගසක් යටට නොවේ ද? අපට හැම විට ම පිහිට වන්නේ වෘක්‍ෂලතා නිසා අපි වන සම්පත ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතු ය. එපමණක් නොව තව තවත් රුක්රෝපණය කිරීමට පියවර ගනිමු.

මතු සම්බන්‍ධයි.