Print this Article


ශාසන අභිචාර විදි සියල්ලම පුරුදු පුහුණු කළ යුතුයි

ශාසන අභිචාර විදි සියල්ලම පුරුදු පුහුණු කළ යුතුයි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අමරපුර සිරිසද්ධම්මවංස මහානිකායේ මහා ලේඛකාධිකාරී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය දර්ශනපති රාජකීය පණ්ඩිත බලපිටිය සිරිසීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී හා අමරපුර සිරිසද්ධම්මවංස මහ නිකායේ මහා ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් සුවිශාල ශාසනික කාර්යභාරයක් සිදුකරනු ලබන ඔබ වහන්සේගේ භික්ෂු ජීවිතය ප්‍රභාවත් කර ගැනීමට බලපෑ කරුණු සිහිපත් කරන ගමන් ඔබ වහන්සේ පැමිණි ගමන්මඟ පිළිබඳව සාකච්ඡාවට ප්‍රවේශ වෙමු අපේ හාමුදුරුවනේ,

මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ 1977 වර්ෂයේ ඔක්තෝබර් මස 29 වැනි දා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික වැලිතොට පුණ්‍යභූමිය හෙවත් බලපිටිය කියන ග්‍රාමයේ දී. බලපිටිය රේවත ජාතික පාසලෙන් තමයි මූලික ගිහි අධ්‍යාපනය ලැබුවේ. මගේ පියාණන් සැක්සන් සොයිසා සිරිවර්ධන මහෝපාසකතුමා හා මෑණියන් වන ඩබ්ලිව් පුණ්‍යා ද සිල්වා මහෝපාසිකාව ඉතාමත් ගුණගරුක මව්පියන් බව සිහිපත් කළ යුතුයි. මගේ පියාණන්ගේ වැඩිමහල් සහෝදරයෙක් පැවිදිවෙලා හිටියා. උන්වහන්සේගේ ආභාසය නිසාම මටත් පැවිදිවීමේ ආසාව ඇතිවුණා. 1990 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වැනි දින මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 100 ක් සම්පූර්ණ වුණ ශත සංවත්සර පුණ්‍යමහෝත්සවයේ දී ම උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර පැවිදිබවට පත්වීමට තරම් පුණ්‍යවන්ත වුණා. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබ වූ විශ්‍රාමික විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැලිතර සුධම්ම නායක හාමුදුරුවන් වහන්සේ ආචාර්යයන් වහන්සේ වශයෙන් කටයුතු කළ බවත්, උන්වහන්සේගේ අවවාද අනුශාසනා පැවිදි ජීවිතය සාර්ථකවීමට හේතුවුණ බවත් පුණ්‍යානුමෝදනා පූර්වකව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. අනතුරුව බලපිටිය රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනින් ප්‍රාචීන අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලයෙන් විශේෂවේදී උපාධිය ලබා ගත්තා. ශික්ෂාලංකාර පිරිවෙනේ වැඩ සිටි ධර්ම විනයධර ප්‍රථිබල සම්පන්න ව්‍යක්ත පඬිවරුන් ඇසුරේ සාර්ථකව ප්‍රාචීන භාෂා ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වුණා වගේම විශේෂයෙන් විද්‍යෝදය පිරිවෙනේ වැඩසිටි ලංකා ශාසනාම්භරය ප්‍රභාවත් කළ සාර්වභෞම වියත් ඇදුරු මඩුල්ලක් හමුවේ ලැබූ අධ්‍යාපනය නිසා රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම වතාවට පාලි විෂය සම්බන්ධ ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථය සහිතව හනීක්කිම් ස්වර්ණ මුද්‍රිකාව ලබා ගැනීමට හැකි වුණා.

වසර 15 ක් ම සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ කාලයේ ධර්ම ශාස්ත්‍රීය වශයෙන් ග්‍රන්ථ 8ක් රචනා කළා. මගේ ශාස්ත්‍රීය සේවාව පිළිබඳ ප්‍රසාදයට පත්වුණු අමරපුර සද්ධම්මවංස මහා නිකායේ එවකට මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ව වැඩ සිටි රාජකීය පණ්ඩිත බලංගොඩ සුධම්මවංස මහා නායක හාමුදුරුවෝ හා සුධර්මා කාරක සංඝ සභාව සුධර්මා කාරක සංඝ සභාවට ඇතුළත් කරගත්තා. කෙටි කාලයක් තුළ මා විසින් සිදුකළ පරිපාලන, ආගමික, ශාසනික කටයුතු පිළිබඳ ප්‍රසාදයට පත්වුණ වර්තමාන මහා නායක ධුරන්දර අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා නායක හාමුදුරුවන් වහන්සේ මහා නායක ධූරයට පත් වූ දවසේ ම මා සද්ධම්මවංස පාර්ශ්වයේ සම ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස පත්කළා. දිමියාවේ අමරවංශ මහා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ නිකායේ අනුනායක පදවියට පත් වූ පසුව මහා ලේඛකාධිකාරී ධූරයට පත් වුණා. විශේෂයෙන් අහුන්ගල්ලේ සීල විසුද්ධි මහා නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි කාරක සංඝ සභාවේ මෙහෙයවීම ඇතිව මහා කප්පින වලව්වේ මූලස්ථාන විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළා වගේම, මාදුනදී ස්වේජින් සීමා මාලකයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කළා.

ශ්‍රමණ සාරුප්‍යයෙන් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේට ශාසනභාරධාරී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් පැවරී තිබෙන කාර්යභාරය මොනවගේ ද? හාමුදුරුවනේ.

අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ පරිපාලන කටයුතුවල ප්‍රධානම වගකීම මහා ලේඛකාධිකාරීන් වහන්සේ හැටියට මට පැවරිලා තිබෙනවා. ලංකාව පුරාම අප නිකායට අයත් විහාරස්ථාන 520ක පන්දහසකට ආසන්නව වැඩ සිටින භික්ෂූන් වහන්සේගේ පරිපාලන කටයුතුවල වගකීම මා වෙත පැවරේ. විශේෂයෙන්ම මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සුධර්මාකාරක සංඝ සභාවේ සියලු කැඳවීම්, සියලු ලිපි ලේඛන පවත්වාගෙන යෑම ඒ වගේම අනුකමිටු පත්කිරීම්, අධිකරණ මණ්ඩල පත් කිරීම් වැනි වගකීම් මාවෙත පැවරී තිබෙනවා.

අපේ ශාසනය ඉදිරියට පවත්වා ගෙන යාමට නිකායේ වාර්ෂික උපසම්පදා විනයකර්මය බලපිටිය මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරය ඇසුරු කරගෙන පැරැණි විනයානුකූල සියලු සම්ප්‍රදායන් ගරුකරමින්, ඒවා ඒ ආකාරයට අනුගමනය කරමින් මාදුනදී ස්වේජින් සීමා මාලකයේ දී හෝ ශ්‍රී ධීරානන්ද මහා මංගල බද්ධසීමාවේ දී පැවැත්වීමට සංවිධානය කිරීම ශාසනික කටයුත්තක් වශයෙන් මා වෙත පැවරුණු පොදු වගකීමක්. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අධ්‍යාපන ප්‍රකාශන හා ධර්මදූත අංශය භාර සහකාර ලේඛකාධිකාරීන් වහන්සේ හැටියට අමරපුර නිකායික පිරිවෙන් පවත්වාගෙන යන විහාරස්ථානවල කටයුතු සොයා බලමින් ඒ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහා නායක හාමුදුරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය අමරපුර නිකාය නියෝජනය කරන සාමාජිකත්වයක් මා දරනවා.

අපේ හාමුදුරුවනේ, සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයක් ඔබ වහන්සේ පෞද්ගලිකවම ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ සඳහන් කරමින් සාකච්ඡාව අවසන් කරමු.

අවුරුදු 15 ක් පමණ රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්යයන් වහන්සේ නමක් වශයෙන් සේවය කරද්දී මට දකින්න ලැබුණ දෙයක් තමයි භික්ෂු අධ්‍යාපනය තුළ තරුණ ස්වාමීන් වහන්සේ ප්‍රාචීන භාෂා උසස් අධ්‍යයනයට යොමු වීමේ අඩුවක් තිබෙන බව. එනිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වඩා ප්‍රාචීන අධ්‍යාපනයට වෙන්වුණා. මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරයේ ප්‍රාචීන භික්ෂු විද්‍යාලය ආරම්භ කිරීමෙන් මා බලාපොරොත්තු වුණේ භික්ෂු අධ්‍යාපනය ප්‍රඥාව වගේ ශ්‍රද්ධාවත් සමව තිබිය යුතු බවයි. වෘත්තිකයෙක් බිහිකරන භික්ෂු අධ්‍යාපනයක් හෝ ආර්ථික විද්‍යාව වැනි ලෞකික විෂයයන් එක්කම ගමන් නොකර ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් සමඟ ශාසන අභිචාරවිදි සියල්ලම පුරුදු පුහුණු කරන භික්ෂු අධ්‍යාපනයක් රටට අවශ්‍යයයි.