Print this Article


සඳේ සස ලකුණ කියන දානයේ අන්දරය

සඳේ සස ලකුණ කියන දානයේ අන්දරය

දන් දීමේ සාධු ගුණය වඩා පින්සිදුකර ගත හැකි වනුයේ මිනිසත් බව ලැබුවකුට පමණි. වර්තමානයේ සතුන් අතර මෙබඳු දීමක් දක්නට නැත. සිතිවිල්ලෙන් හීන තිරිසන් සත්ව ස්වභාවය නම් තමාගේ කුස පුරවා ගැනීම ම පමණි. අනෙකා කන දෑ ද ඇදගෙන කා තම බඩකට පුරවාගැනීමට, මස් කැබැල්ලකට ආහාර ටිකකට පොරකන අයුරු සුනඛ බළල් සතුන්ගෙන් දැක ගත හැකිවෙයි.

අහස් කුස සුපුන් සඳෙහි සුදිලෙන සස ලකුණ පුරා සියවස් ගණනාවකට එහා යටගියාවක දී අප මහ බෝසතාණන් වහන්සේ පිරූ අසමාන දාන පාරමිතාවේ මහිමය ලෝකයාට නිහඬව සිහිපත් කරවයි.

දෙදෙව් ලොවට අධිපති සක්දෙව් රජාණෝ වහන්සේ තම ආනුභාවයෙන් අංජන කැටය මිරිකා එහි රසය ගෙන චන්ද්‍ර මණ්ඩලයෙහි සස ලකුණ සිත්තම් කළෝ මිහිකත කම්පා කරවන එක් අසිරිමත් සිද්ධියක් මේ මහා භද්‍රකල්පය පුරාවට ම උපදින සියලු සත්වගට හෙළිදරව් කරන්නට ය.

දවසක් සැවැත්නුවර සැදැහැති කුල පුත්‍රයාණ කෙනෙක් බුදුරදුන් ප්‍රමුඛ මහ සඟ රුවනට සත් දිනක් පුරා දන්පැන් පුදා මහා පුණ්‍යස්කන්ධයකට මං විවර කර ගත්තේ ය. දන් වළඳා අවසානයෙහි බුදුපියාණෝ අනුමෝදනා බණ දෙසූ සේක්, අතීතයේ විසූ එක් නුවණැත්තකු සිය ඇඟේ මාංශය ද පුදා දන් පිරූ බැව් සඳහන් කරමිනි.

අනේ බුදුපියාණන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ අතීත කථා පුවත පවසන්නැයි බණ ඇසුවෝ අයැද සිටියහ.

සඳ පායා ඇති සෑම රාත්‍රියක ම සඳ මඬලේ මනාව දිලෙන මනෝරම්‍ය සස රූපයේ අතීත ප්‍රවෘත්තියක් ඉන් මෙලෙසින් අනාවරණය වුණි.

ඈත කාලයේ බරණැස බ්‍රහ්මදත්ත රජු කල මහ බෝසතාණන් වහන්සේ සාවකු ව ඉපිද කැලෑ පෙදෙසක වාසය කළෝ ය. වඳුරෙක්, මස්කාවෙක් හා හිවලෙක් මේ බෝසත් හාවා සමඟ මිතුරු දමින් බැඳුණාහ. තැන තැන ඇවිද ආහාරයට යමක් සොයාගෙන එක තැනකට විත් අනුභව කරමින් කථාබස් කරමින්, සතුටු සාමීචියේ යෙදෙමින් මේ අය කුළුපගව බැඳෙමින් දිවි ගෙවූහ.

මේ සොඳුරු වන පියසේ විසූ සිව් යහළුවන්ගේ ප්‍රධානත්වය හාවාට, සස පණ්ඩිතයන්ට නිතැතින් ම හිමි විය.

හොඳ නරක කියා දී කළ නොකළ යුතු දෑ ගැන තම සගයන් දැනුවත් කිරීම, අවවාද දීම නුවණින් වැඩුණු මේ හාවාගේ සිරිත ය. දන්දීම, සිල් රැකීම ආදියෙහි ඇති වැදගත්කම සස පණ්ඩිතයෝ තම යහළුවන් තිදෙනාට නිතර කියාපෑහ. නැති බැරිකමින් කෑමට, බීමට යමක් ඉල්ලා තමන් සමීපයට එන කාට වුව අහර පිණිස අප සොයා ගන්නා දැයින් කොටසක් දන් දී අනුභව කරන්නේ නම් එය මහා පින්කමකි. සිල්වත් ව හිඳිමින් දෙන දානයේ ආනිසංස බොහෝයි පැවසූ සස පණ්ඩිතයෝ එක් රැයක දී අහසේ බබළන සඳ දෙස බලා "හෙට පසළොස්වක පොහොය දිනයකි. එබැවින් පෝදා පෙහෙවස් සමාදන් ව අප සොයා ගත් ආහාරයෙන් කොටසක් යදින්නන්ට දන් දී කල් ගෙවමු"යි

යෝජනා කළහ. සියල්ලෝ ඊට එකඟ වූහ. පසුදා උදෑසනින් ම බැද්දේ දිය ඇළ වෙත ගිය බිලිබාගන්නකු විසින් ගොඩ දමා, පසුව ගැනීමට සඟවා ගිය මසුන් කිහිප දෙනකු ඉවෙන් දැන ගොඩට ගෙන හිමිකරුවකු නොමැති බව දැන තම අනුභවය පිණිස ඒ මසුන් ගෙනවිත් තබා සමාදන් වූ ශීලය මෙනෙහි කරමින් හුන්නේ ය.

අහරට යමක් සොයන සිවලාට ද දීගෙඩියකුත් කරවල මසුන් කිහිපයකුත් සොයාගත හැකි විය.

වඳුරට මී අඹ පොකුරක් වනයෙන් ලැබුණි. කුසගිනි දැනුණුවිට දී අහර ගනිමුයි සිතා සියලු දෙනා තම තමන්ගේ තැන්වලට වී ශීලය මෙනෙහි කරමින්, කල් ගත කළහ.

සස පණ්ඩිතයෝ බඩගිනි දැනුණු විට ළඟ ඇති තණකොළ ටිකකින් සෑහෙමියි සිතා ශීලය ගැනම සිතමින් කල් හැරියෝ ය. එහෙත් මඳ වේලාවකින් හාවාට මෙබඳු අදහසක් පහළ වුණි. පෙහෙවස් සමාදන්ව ගත කරන මේ දවසේ දී සමීපයට යාචකයකු ආ විට කෑමට බීමට යමක් දන් දිය යුතු ය. එහෙත් මා බුදින තණකොළ දීමට නුපුළුවන. වෙනත් දෙන්නට යමක් ද මා ළඟ නැත. හාල්, මුං, උඳු ආදී කිසිවක් මා රැස්කර ගත්තේ ද නැත. දන් දීමේ අදහස අත් නොහරිමි. මාගේ ඇඟ මස පුදා හෝ මා අසලට එන යාචකයාගේ කුසගිනි සන්සිඳවමි’යි සිතා ගෙන සාවා නැවතත් සිල් මෙනෙහි කරන්නට වූයේ ය.

මේ සිල්වතාගේ දානයේ අදහස එනම් තම පණ දන් දී යාචකයාගේ බඩකට පුරවමි’යි යන බලවත් දාන සිතිවිල්ලෙන් සක්දෙව්, රජුගේ පාණ්ඩු කම්බල ශෛලාසනය හුණුවන්නට විය.

තම ආසනය රත් වන්නේ කුමක් නිසා දෝ’යි පිරික්සු සක්දෙව් රජාණෝ සස පණ්ඩිතයන්ගේ දාන පුණ්‍ය සිතිවිල්ල දැක එය සැබෑවක් ම දෝ’යි පරීක්ෂා කර බලා සැක හැර ගනු රිසියෙන් බමුණු වේෂයක් මවාගෙන මිනිස් ලොව ආවෝ ය.

බමුණා පළමුවෙන් ම සිල් සමාදන් වූ මිතුරන් සිව්දෙනාගෙන් මස්කාවා ළඟට අවුත් කෑමට යමක් ලැබුණොත් තමා ද පෙහෙවස් සමාදන් ව දවස ගෙවමි’යි කීවේ ය. මා ආහාරය පිණිස සොයා ගත් මසුන් කිහිපදෙනකු ඇතැයි පවසා මස්කාවා තම ආහාරය බමුණාට පරිත්‍යාග කළේ ය. උදෑසනින් ම අනුභවය අපහසු යැයි කියා ඔහු සිවලා සමීපයට ගියේ ය.

එහිදී ද මස්කාවාට කී පරිද්දෙන් ම අහරක් ලදොත් තමාටත් බ්‍රහ්මචාරීව ශීලය ආරක්ෂා කිරීමට හැකි යැයි කීවේ ය. ඉන් බොහෝ සතුටට පත් සිවලා ද කියනුයේ මා සොයා ගත් කරවල මසුන් ද, දී ගෙඩිය ද, ඔබට දෙන්නෙමි, ඒවාගෙන කුසගිනි නිවාගෙන ශීලය රකින ලෙස ය.

ස්තුතියි, තවම බොහෝම උදෑසන ය, පසුව එන්නෙමි’යි

පවසා බමුණු තෙමේ වඳුරා ළඟට ගොස් කථාබස් කොට තවම කෑමට යමක් සොයාගත නොහැකි වූ බව දන්වා එය ලදොත් තමා ද පෙහෙවස් සමාදන්වීමට කැමැත්තෙමි’යි පවසා සිටියේ ය.

මස්කාවා හා සිවලා මෙන් ම වඳුරා ද කරුණාබර වදනින් අමතා කියා සිටියේ පෙහෙවස් සමාදන්වීමට ඔබට ආහාරය බාධා නොවෙයි. යහළුව මා ලද මිහිරි අඹ අනුභව කොට කුස පුරවාගෙන පෙහෙවස රකින ලෙස ය. මස්කාවාට, සිවලාට කී කතාව ම කියා බමුණා වඳුරාට ද සමුදුන්නේ ය. පසුව වනයේ මඳ දුරක් ඉදිරියට ගමන් කළ බමුණා සස පණ්ඩිතයන් සිටි තැනට ආයේ ය. හාවා සමඟ පිළිසඳරේ යෙදී කුස පුරවා ගැනීමට ආහාරයක් ලැබුණේ නම් පෙහෙවස් දවස ගෙවීමට තමා ද පසුබට නොවන්නේ යැයි බමුණා පවසත් ම ඉන් ඉමහත් සතුටට පත් සස පණ්ඩිතයෝ

'පින්වත් බමුණ, ඔබට පෙහෙවසින් දවස ගෙවීමට මම ආහාරයක් සපයන්නෙමි. සිල් සමාදන් වී ඔබේ අභිලාෂ ඉටුකර ගන්නැ'යි

කියා නිමේෂයකින් නැවත මෙසේ ද කීවේ ය.

පින්වතාණෙනි, පෙහෙවස් සමාදන් වූ මා අද බඩවියත සපුරා ගන්නේ අසල ඇති තණකොළ පඳුරු කිහිපයෙනි. කලින් එකතුකර ගත් උඳු, මුං, සහල් කිසිවකුත් මා ළඟ නැත. එනමුදු අපූරු දානයකින් මා ඔබ කුස පුරවන්නෙමි.

කිමෙක් ද? සස පණ්ඩිතය, ඔබගේ අපූරු දානය?

මෙසේ බමුණුතුමා විමසූ කල හාවා පවසා සිටිනුයේ තමාගේ ඇඟ මසින් කුසගිනි නිවාගත හැකි බවත්, එසේ කුසගිනි නිවාගෙන හොඳින් ශීලය රකින ලෙසත් ය.

ඉන් තිගැස්මට පත් වූ බමුණා නිමේශයක් නිහඬව හුන්නේ ය.

ඔබ ප්‍රාණඝාතාදිය සිදු නොකරන පින්වතෙකි. පෙහෙවසින් දවස ගෙවන්නට සිතුයේ එනිසාවෙනි. එබැවින් මා විසින් ම ගින්දරට බිලි වන්නෙමි. දැවී ගිය සා මාංශයෙන් සප්පායම් වමහණදම් පුරන්නැ’යි පැවසූ හාවා බමුණාගේ ද ආධාරයෙන් වියළි දඬු සමූහයක් ගෙන ගිනි මොළවා ගිනි අඟුරු නැඟි කල මගේ ඇඟ වසන කුඩා කිනිතුල්ලෙක්වත් ගින්නට හසුනොවේවා'යි හොඳින් ඇඟ ලොම් ගසා අනතුරුව දානයේ මහිමය ලොවට කියාපාමින් බමුණාට කියූ ලෙසින් ම ගිනිඅඟුරු ගොඩ මැදට හනිකට පැන්නේ මාගේ දාන පාරමිතාව පූර්ණය වූවේ ය යන බලවත් චිත්ත ප්‍රසාදයෙනි.

ආශ්චර්යයකි. මහා පුදුමයෙකි. හාවාගේ එක් ලෝම කූපයකට ද සිසිලසක් ම මිස සුළු වූ හෝ උණුසුමක් නොදැනුණි. ශීත ගඟුලකට බැසගත් විටක දී මෙන් ගත සැනහුණි, සිහිල්වුණි. බමුණ කිමෙක් ද මේ අරුමය ගින්නෙන් උණුසුම මිස සිසිලසක් නම් කොයින් ද?

ක්ෂණයකින් බමුණු වේෂයෙන් මිදුණු ශක්‍ර දේවේන්ද්‍රයෝ, තිරිසන් ජාතියක ඉපදී වුව මිනිසත් බව ලැබී මිනිසකුගෙන් ද පහසුවෙන් දැකිය නොහැකි, මහ පොළොව කම්පා කරවන, අහස්තලය ගිගුම් දෙන අතිදුෂ්කර විස්මිත මහ දනක් දැක බලා ගත්තෙමි'යි කියා

මේ දානය සැබැවක් ම දැයි පරීක්ෂා කර බැලීමට දෙව් ලොවින් මනු ලොවට පැමිණි බව සස පණ්ඩිතයන්ට දැන්වූහ.

දානයෙන් තමන් පරදවන්නට සමත් වූවකු මේ ලෝ ධාතුව තුළ නොවෙති’යි එදා තමන්ගේ දාන අභිමතාර්ථය සැබෑවක් දැයි පිරික්සීමට පැමිණි සක්දෙව් රජු හමුවේ මහ බෝසතාණන් වහන්සේ, සස පණ්ඩිතයෝ පැවසූහ.

පුහුදුන් තැනැත්තකුට ඇදහිය නොහැකි, දානය උදෙසා ගිනි අඟුරු මැදට බිලිවූ සස පණ්ඩිතයින්ගේ දාන කථාන්දරය කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම මෛත්‍රී බුදුවරයාණන් වහන්සේ පස්නම පහළවන මේ මහා භද්‍රකල්පයේ උපන් සත්වගට මසැසින් දැක තුටු වැ මනසින් සිතන්නට අවකාශ සලසමි යන අදහස මුල් තැන තබා සක්දෙව් රජහු තම තේජානුභාවයෙන් අංජන කුළුපව්ව මිරිකා ගත් රසය අතැතිව සඳ මඬල කරා ගොසින් තමන් අත්විඳි උත්කෘෂ්ට දාන කතාවට සාක්ෂියක් ලෙස ද, දිවි දන් දී සස පණ්ඩිතයන් පෑ විකුම්පෙළහරට ගරු බුහුමනක් ලෙස ද, සඳ මත සස ලකුණ සිත්තම් කළෝ ය.

ඉරහඳ පවතින තුරාවට ම හඳේ හාවා නිහඬ ව, නිසසල ව කියාපානුයේ දන් දීමේ වටිනාකමයැ. අගය ය.

බෞද්ධයාගේ අභිලාෂය, පරම නිෂ්ටාව නිර්වාණාවබෝධයට මං පෙත් විවරකර ගැනීමය.

සසර දුක් සිඳින බුදු පසේ බුදු මහ රහතන් බවට පූර්ණය කළ යුතු ධර්මතා දස පාරමිතා ය. බුද්ධාංකුර ධර්ම වූ පාරමිතා දහයේ පළමුවැන්න දානයයි. සතර සංග්‍රහ වස්තූන්හි මුලින් ම කියැවෙන්නේ දානය ගැනයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ ද දස පින්කිරියවතෙ ද මුල්ම අංගය දානයයි. දැහැමින් සෙමින් රට පාලනයට මඟ පෙන්වන දසරාජ ධර්මයෙහි මුලින්ම ලියැවී ඇත්තේ ද දානාංගයයි.

ධාර්මිකව උපයා සපයා ගත් තමන් සන්තක දෑ පූජාවක් වශයෙන් ශීලයෙන් ගුණයෙන් වැඩි උතුමනට පූජා බුද්ධියෙන් හො කෙනකුට උපකාරයක් අනුග්‍රහයක් සැලසීම් වශයෙන් අනුග්‍රහ බුද්ධියෙන් හෝ කර්මය, කර්මඵලය අදහා තව කෙනකුට දීම දානයයි. පුරාතනයේ පටන් ගුණගරුක දිවි ගෙවන්නෝ, ශීලයෙන් ගුªණයෙන් පිරුණු උතුම් ජීවිත ගෙවන උතුමනට දන් පහන් දීමෙන් ද තව කෙනකුගේ දුක හඳුනා එවැන්නන්ට උපකාරවත් වීමෙන් ද මේ උතුම් සද්ගුණය ප්‍රගුණ කළහ.

දන් දීමේ සාධු ගුණය වඩා පින්සිදුකර ගත හැකි වනුයේ මිනිසත් බව ලැබුවකුට පමණි. වර්තමානයේ සතුන් අතර මෙබඳු දීමක් දක්නට නැත. සිතිවිල්ලෙන් හීන තිරිසන් සත්ව ස්වභාවය නම් තමාගේ කුස පුරවා ගැනීම ම පමණි. අනෙකා කන දෑ ද ඇදගෙන කා තම බඩකට පුරවා ගැනීමට, මස් කැබැල්ලකට, ආහාර ටිකකට පොරකන අයුරු සුනඛ බළල් සතුන්ගෙන් දැක ගත හැකිවෙයි. සුනඛයන් බළලුන් පමණක් නොව මත්ස්‍ය පක්ෂී සමූහයක් වුව ද ගොදුරක් ඩැහැ ගැනීමට, තමාගේ කර ගැනීමට වෙර දරන අයුරු ඔබ කෙතෙක් දැක ඇත. අති දීර්ඝ සංසාර ගමනක දී උතුම් ප්‍රාර්ථනා හද තබාගෙන පාරමිතා සපුරා ගැනීමට සුගති භූමිවල දී පමණක් නොව දුගති අවස්ථාවක දී වුව උතුමෝ පසුබට නොවෙති. සම්බුදු සිරිතේ අවස්ථාවන් පරීක්ෂාවෙන් බැලීමේ දී මුචලින්ද නා රජුගේ, පාරිලෙය්‍යය ඇත් රජුගේ සම්බුදු සත්කාර තුළින් මේ බැව් මනාව පිළිබිඹු වෙයි. ශීලයෙන්, ගුණයෙන්, ඥානයෙන් පොහොසත් ව දිවි ගත කළ ද යම් පමාවකින්, සිදුවූ අකුසලයකින් හෝ යම් පාරමිතාවක් සපුරා ගැනීමට තිරිසන් ජාතියට වැටුණු සත්වයෝ වෙති. වර්තමානයේ වුව ඇතැම් සතුන්ගේ ඇවැතුම් පැවැතුම් චර්යා රටා නිරීක්ෂණයෙන් මේ බැවි දත හැකි වෙයි. සස පණ්ඩිතයන් ද, මිතුරන් තිදෙනා ද එලෙස තිරිසන් ජාතියට වැටී මේ උසස් සත්ගුණය පුරුදු පුහුණු කළහ. වර්තමානයේ දී නම් බොහෝ සෙයින් ම ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගය, ප්‍රඥාව යන සිව් ගුණයන්ගෙන් හෙබියා වූ සත්පුරුෂයෝ ම දානය නම් වූ උතුම් සද්ගුණය වඩති, පිළිපදිති. හුරු පුරුදු කරති.

දාන වස්තුව ගැන ආශා නැතිව, ගරු නම්බු කීර්ති බලාපොරොත්තු රහිතවැ පින්පව්, කර්මය, කර්මඵල අදහා තුන්සිත පහදා එනම් දනට පෙර සූදානම් වන අවස්ථාවේ පූර්ව චේතනා ද, දානය පිරිනමන අවස්ථාවේ දී මුඤ්චන චේතනා ද, දන් දීමෙන් පසුව ඒ ගැන සිතා ඇතිවන අපර චේතනා ද පිරිසුදු වේ නම් මෙම අවස්ථා තුනෙහි ම ප්‍රසාදයෙන්, ප්‍රසන්න සිතිවිලි උපදවා දන් දෙයි නම්, එය තුන්සිත පහදා දීමයි.

මේ අවස්ථා තුනෙහි දී ම අලෝභ, අද්වේශ, අමෝහ කුසල් සිත් ජනිත වීමෙන් සිදු කර ගත් දානය බලසම්පන්න ත්‍රිහේතුක කුසලයක් බවට පත්වෙයි.

දානයේ වටිනාකම ද, එය මනාව පිළිපැදිය යුතු අයුරු ද, එනිසාම ඉන් ජනිත වන ආනිසංස ද කුළු ගන්වමින් මහා දාන විස්තරයක් පද හතරකට මුසුකොට මනරම් ව විචිත්‍ර ව ලෝවැඩ සඟරාව පබැඳු වීදාගම මෛත්‍රෙය මහ තෙරිඳු මෙසේ ඉදිරිපත් කළහ.

අන් හට අලසව නොකොට විදානය
පින් මිස අනිකක් නොකොට පදානය
තුන් සිත පිරිසුදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය

මෙබඳු ආකාරයෙන් ශ්‍රද්ධාවෙන් දන්පැන් පුදා පරිපූර්ණ දානානිසංස අත්පත්කර ගැනීමට දන් දෙන ඇත්තෝ වගබලා ගනිත්වා. යමක් දන් දී, පසුව දුන් දේ ගැන තැවේ ද, මසුරු සිත් ඇති වේ ද දානයෙන් උපන් බලය ඉන් හීන වෙයි. මේ බැව් ජාතක පොත්වහන්සේ තුළ ඇතුළත් දසණ්ණක කතා පුවත මොනවට පැහැදිලි කරයි.

මෙම ලිපියේ ඉතිරි කොටස බක් අව අටවක පෝදා (23) පත්‍රයේ පළවේ.