Print this Article


කැත්ත උදැල්ල අමතක කිරීම ජීවන අර්බුදයේ ආරම්භයයි

කැත්ත උදැල්ල අමතක කිරීම ජීවන අර්බුදයේ ආරම්භයයි

ගහකොළ අලුත් දලු කොළ පළඳීයි. මල් ගවසා ගනී. විහඟුන් ගෙන්වා ගනී. සැණකෙළියක් මවන අසිරියකි. ඒ, මිනිසාට අලුත් පණිවිඩයක් දෙමිනි. ඒ සහජීවනයේ පණිවිඩයයි.

ප්‍රධාන සහජීවනය මිනිසා හා පරිසරය අතර ගොඩනැඟේ. සමාජයේ සහජීවනය රැකෙන්නේ සංස්කෘතිය, සන්නිවේදනය හා සදාචාරය මත ය. මෙවර බක් මහ මංගල්ලය ලැබුවේ බක් පුර පොහොයට ද ළංව ය. ඒ නිසාම සූර්ය මංගල්ලයත්, ආගමික චාරිත්‍රත් යන දෙකෙහි ම සන්නිවේදනාර්ථය වටහා ගැනීම වැදගත් ය. ඒ මින් ඉදිරියට එළඹෙන බක් මහ මංගල්‍යයට වටිනා අර්ථයක් එක් කරනු පිණිස ය.

සමාජයක පැවැත්ම ඇත්තේ රජය පනවනු ලබන නීතිය මත නොව ඒ සමාජය විසින් පවත්වාගෙන යනු ලබන සාරධර්ම මත බව සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලින් පිළිබිඹු වේ.

පසු විපරම හා පෙර විපරම

ගත වූ දින තුන්සිය හැට පහක් ගැන පසු විපරම් කර තමාගේ යුතුකම් හා වගකීම් ඉටු කළේ ද යන්න සිතා බලා තවත් දින තුන්සිය හැටපහකට සූදානම් වීමට ආශිර්වාද ලබා ගැනීම ලෙස අපට අලුත් අවුරුද්දේ හරය හඳුන්වන්නට පුළුවන.

සාම්ප්‍රදායික සමාජයේ නම් අලුතින් අස්වැන්න ගෙට ගෙනැවිත් ගේ දොර අලුත් වැඩියාකර, අලුතින් රසකැවිලි හදා, අලුත් ඇඳුම් ඇඳ , මිතුරුකම් අලුත් කරගෙන ආදි වශයෙන් භෞතිකව හැම අතින්ම අලුත් වී අලුත් වසරට සැරසෙනු ඇත.

නිර්මාණශීලී ව භෞතික දේ අලුත් කරන්නා සේ ම මිනිසාගේ මනස ද අලුත් කිරීම අප මෙහි දී කළ යුතු දේ ය. මිනිසුන් ශරීරය පිරිසුදු කර ගෙන, ගේ දොර පිරිසුදු කරගෙන කරන්නා වූ වෙනස මෙන් ම මනසත් අලුතින් පිරිසුදු කරන්නට මෙම බක්මහ නිමිත්තක් කරගැනීම අවශ්‍ය ය.

චරිත සහතික

තමන්ට උපකාර කළ අයට තමන් කෘතවේදීත්වය දැක්විය යුතු බව බුදුරජාණන් වහන්සේ සත් සතිය ගතකිරීමෙන් පෙන්වා දුන් දෙයයි. එනම් අජීවි වස්තුන්ට පවා ජීවි පුද්ගලයින් ගරු කිරීමේ වැදගත්කමයි. ඒ ඇසුරින් අප ද අලුත් අවුරුද්ද ලබන අවස්ථාවේ දී පසුගිය වසරේ තමන් කළ හොඳ නරක ගැන චරිත සහතිකයක් තනාගෙන පෞරුෂය ගොඩනඟා ගැනීම කළ හැකි ය.

මේ අවස්ථාව ආදර්ශවත් පුද්ගලයකුට හැදෙන්න අවස්ථාවකි. නැතහොත් පසු විපරමක් හා පෙර විපරමක් කිරීමට හොඳ අවස්ථාවකි.

ඉලක්කයට අධිෂ්ඨානයක්

කාල විපත්වලින් , රෝග බියෙන් හා ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වූ වර්තමානයේ අලුත් අවුරුදු චාරිත්‍රවලින් පිළිබිඹු කරන ඒ දාර්ශනික අදහසට අප අනුගත විය යුතු ය.

අවුරුදු චාරිත්‍ර මාලාව පුරාම ඇත්තේ ස්වභාව දහමට අනුගත ජීවන රටාව හා ස්වභාව ධර්මයේ ශක්තිය ජීවිතයට ළංකර ගැනීම යන කරුණු ය.

අවුරුදු නැකත්වලින් කියැවෙන්නේ එක් අතකින් වෙලාවට වැඩ කිරීම ය. එය ඉලක්කයක්, අරමුණක් හා අධිෂ්ඨානයක් ඇතිව කටයුතු කිරීමට මඟ පෑදීම ය.

භව භෝග ඇති කලට කා බී විනෝදවීම පමණක් සුදුසු නොවේ. ඒ නිසාම සාගතයකට අත නොවනා, තමන් කරන කර්මාන්තය සිහියේ තබා ගැනීම හා එයට ප්‍රමුඛත්වය දී ම මෙහි අදහස ය. අනෙක් අතට තම වෘත්තීයට ගරු කිරීම හා එහි අගය රැක ගැනීම මෙයින් කියයි.

දර ලිපක් නැති නිවෙස කුමටද?

නැකතක් නොමැති වේලාව නොනගතයයි. නොනගතයේ දී වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නියැළීමෙන් සිත සැනසීමත්, ආධ්‍යාත්මික ශක්තිය ලබා ගැනීමත් සිදුවේ. එමෙන්ම අන්තරායන්ගෙන් මිදීම ද ඡ්‍යොතීර්වේදයට අනුව අදහස් වේ.

අප පරිසරයේ ඇති සියලුම ශක්තින් සූර්යයාගේ ය. නැකතට ලිප ගිනි මෙළවීම සූර්යයාගේ ශක්තිය නිවසට කැන්දා ගැනීමකි. අතීත සමාජයේ ලිපේ ගින්දර නොනිවා තබා ගැනීම අවශ්‍යම කරුණකි. එය ආහාර වේල හා බැඳී පවතින්නකි. පණිවුඩය අවබෝධ කරගෙන අපි අදත් ලිප හා ගින්දර ගැන ගෞරවයෙන් හා තිරසාර පදනමින් කටයුතු කළේ නම්, වර්තමානයේ ගැස්, විදුලිය වැනි අස්ථාවර බලශක්ති ප්‍රභවයන් මත මේ තරම් වද විඳීන්නේ ද? ලිපක් තනාගන්නට බැරි නිවසක්, දර කැබැල්ලක් කඩාගන්නට බැරි ගෙවත්තක් තනාගෙන දුක් වි¼දී ද?

වෘත්තියට ගරු කිරීම

කෘෂිකාර්මික සමාජයේ වැඩ ඇල්ලීම යනු කාලගුණික දේශගුණික රටාවන් තෝරා ගැනීම ය. තෙල් පොහොර නැතිව වගා කරන අතීත හෙළ ගොවිතැන කලට වගා කිරීම නැතහොත් සෘතුවට වගා කිරීම වේ.

සෑම කෙනකුම කෘෂි උපකරණවලින් කුමක් හෝ වැඩ කරන සමාජයක් නම් එම සමාජය ස්වයංපෝෂිත ය. අනුන් මත නොයැපෙන නිසා ඒ ඒ භෝගවල මිල ඉහළ යන විට පීඩාවට පත්වන තත්ත්වයන් ඇති නොවේ. අප හිරමණය, කැත්ත, උදැල්ල අමතක කළ ජාතියක් බවට පත්වී හමාර ය. ඒ නිසාම නාගරික යටිතල පහසුකම් අඩුවූ විට අප නිරන්තර අහාර හිඟයකට පත්වේ.දෛනික ජීවිතය කඩා වැටේ.

සංස්කෘතික දායාද ඊළඟ පරපුරට

නැකත් සඳහා සූදානමින් කටයුතු කරන විට අනෙක් සංස්කෘතික දායාද සියල්ල ඊළඟ පරපුරට නිතැතින් උරුම වේ.

අවුරුදු ක්‍රිඩා, කලා කුසලතා ඉදිරිපත් කිරීම ආදී සියල්ල තුළ ද කුසලතාවයන් ඇති කිරීම මෙන්ම සාමකාමී බව පුරුදු පුහුණු කෙරේ. නැකතට ගනුදෙනු කිරීම, ළිඳ සමඟ ගනුදෙනු කිරීම ආදිය සහජීවනයේ පදනම වන අන්‍යෝන්‍ය ගරුත්වය හා කෘතගුණ සැලකීමයි.

ලෝක ධර්මතාවයි දැහැමි මාවතයි

අවුරුදු චාරිත්‍රවලින් සමාජයට මේ ලබා දෙන මඟ පෙන්වීම අනුගමනය කරන්නේ නම්, අප සමාජයේ අඩු වයසින් දිගු කාලීන රෝගාබාධවලට ලක්වූවන්, අකලට හිස කේ හැළුණු හෝ පැසුණු අය මෙන් ම අඩු ආයුෂ පුද්ගලයින් දැකිය හැකි යැයි සිතිය නොහැක. මෙම චාරිත්‍ර තුළ ඇත්තේ ලෝක ධර්මතාවන් ය: ජීවිතයක් සාර්ථක කර ගැනීමේ ධර්මිෂ්ඨ මාර්ගය ය. ධර්මය අනුව ජීවත්වීමෙන් ධර්මය විසින් පුද්ගලයා ආරක්ෂා වනු ඇති බව බෞද්ධ ඉගැන්වීමයි.