Print this Article


ඉරණමට පිටුපාන්නට කාට නම් හැකි වේද?

ඉරණමට පිටුපාන්නට කාට නම් හැකි වේද?

වැසි කුණාටුවක් නම් දින කීපයක් පීඩාව ලබා දී කෙමෙන් පහව යයි. යළි අහස පෑදේ. ජලය බැස යයි. එවන් වේගයකින් වසංගතය අවසන් නොවූයේ ය. කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි, නිමා නොවන අඳුරක් සෙයින් මරණයේ කළු සෙවණැල්ල තවමත් සැරිසරා යයි.

ලොව උපන් කවර තරාතිරමේ සත්වයකුට වුව ද, නිදුක් ව, නීරෝගි ව, බොහෝ කල් නොමැරී සිටින්නට පුළුවන්කමෙක් නැත. යම් දිනෙක සත්වයෙක් මව් කුස පිළිසිඳ ගනී ද, ඒ මොහොතේ පටන් ම රෝගී වේ.

මව්කුසෙන් බිහිවූ සැණින් ද රෝගී වේ. ළදරු වියෙහිදීත්, ළමා වියෙහිදීත්, යොවුන් වියෙහිදීත්, වැඩිහිටි වියෙහිදීත්, මහලු වියෙහිදීත් වයස් භේදයකින් තොරව රෝගී වන ස්වභාවයෙන් යුතු වේ. යම් හෙයකින් වැළඳුණු රෝගය සුව නොවුණහොත් අවසානය කොතැන ද?

ඇතැම් සත්වයෝ මව්කුස සිටිය දී රෝගී ව මිය යති. ඇතැම්හු මව්කුසින් බිහිවූ සැණින් රෝගීව මියයති. රෝගීවන ඇතැම් ළදරුවෝ ද සුව නොලබා මිය යති. යෞවනයාගේ ද රෝගය සුව නොවුණහොත් මරණය ම පිහිට කොට සිටී. වැඩිහිටියන්ට ද එසේ ම ය. වියපත් මහල්ලා මරණය වෙත යනුයේ රෝගී ව, අබල දුබල ව දුක්ඛිත ව වැතිරගත් කයින් යුතුව ය.

එහෙත් සියලු රෝගීන්ගේ ඒකායන පැතුම නම් නීරෝගී සුව ලැබීම ම ය. සිය නෑසියෝ ද රෝගාතුර වු තැනැත්තා රෝගයෙන් මුදවා සුවපත් කොට පෙර සේ ම තුටු සිතින් ඔහු හා වසනු පිණිස දෙවි දේවතාවුන්ට කෙතෙක් නම් යාතිකා කරත් ද? පඬුරු බැඳ බාරහාර වන්නෝ කොතෙක් ද? තම තමන්ගේ ඇදහීම් අනුව කළ යුතු වත් පිළිවෙත් කොට රෝගියා සුවපත් වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නෝ කෙතෙක් ද? යදින යාතිකා හිස් අවකාශයේ රැව් දි නොඇසී ගියේ ය. ඒ රෝගියාත් මළේ ය. අන්තිමට බැලූ විට මරණය දිනුවේ ය. මිනිසා පැරදුණේ ය.

රෝ දුක් වැළඳුණු කල රෝගියාට මෙන් ම සිය පවුලේ අදරැතියන්ට ද ලැබෙනුයේ දුක්ඛිත කලදසාවෙකි. කලට වේලාවට රැකියාව කර ගන්නට හෝ ඉගෙනීමක්, ගොවිතැනක්, වෙළහෙළඳාමක් හෝ කරගන්නට බැරි වේ. තමන් රැක ගත් මුදල ද වියදම් වේ. ණයතුරුස් වෙන්නට ද සිදුවේ. රෝගියාගේ සිරුරේ අවයව පවා ඉවත් කොට ඉතිරි වූ කයින් හෝ ඉදිරි දිවිය ගෙවන්නට රෝගියා කැමැති ය. එසේත් බැරිවන තැනට පත්වූ විට කුමක් නම් කරන්න ද? ජීවිතය ඉල්ලා රැක ගැනීම පිණිස කොතෙකුත් වෙහෙස ගත්ත ද ඔහු මළවුන් වෙත ම යයි.

ඇතැම් රෝගීහු බොහෝ කල් සිය රෝගාබාධයන්ගෙන් දුක් විඳිති. නොඉවසිය හැකි වේදනාවෙන් පීඩිත ව කඳුළු වගුරුවති. තමාට මෙවන් ඉරණමක් අත්වූයේ කිනම් වරදකට ද? අන් අයට මෙන් සුවපත් වූ දිවියක් ලබන්නට භාග්‍යයක් නොලද්දේ කුමක් නිසා ද? මෙහි කළෙවරක් දකිනාතුරු මා කෙතෙක් කල් ඉවසා සිටින්ට ද? යි දිවා රෑ දෙක්හි තැවි තැවි සිටින්නෝ බොහෝ ය. බලවත් කායික වේදනාවෙන් පහර ලද කල්හි ඔවුහු බැගෑපත් ව කෑගසති. පිහිට සොයති. වේදනා නාශක ඖෂධ ලබා ගනිති. ඇතැමුන්ගේ රෝග සුව වන පාටක් නැත්තේ ය. අන්‍යයන්ට ද ඔවුන් නිසා කරදර ය.

කැතකුණු අතගාමින් මේ දුක්ඛිත සිරුරු පිළිදැගුම් කරන්නට ගන්නා වෙහෙස නවත්වා මැරෙන්ට ඇත්නම් කෙතරම් අගේ ද කියා සිතන්නෝ ද බොහෝ ය. ‘අනේ මේ ඇති තවත් වධ වේදනා කුමට ද? මට මැරෙන්ට හරින්ට කියා කිව යුත්තේ ය. එහෙත් කෙසේ කියන්ට ද? දිව අප්‍රාණික ව, මැලවුණු ලා දල්ලක් සෙයින් මුව තුළ ම හැකිළී ඇත්තේ ය. ගොළු බසින් ගොරෝසු හඬෙකින් කියන දේ කාට නම් වැටහේ ද? සිතෙහි උපදින දහසක් දේ කියාගත නොහැකි ව තොල්පට සොලව සොලවා මිය යන්නෝ ද බොහෝ ය.

මේ කාලයේ කිසිවකුත් නොසිතු නොපැතූ මොහොතෙක මේ පෘථිවිය ම වසාගෙන සියලු මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළමින් මහා බිහිසුණු වෛරස් රෝගයක් පැතිර ගියේ ය. එයින් මුළු මිනිස් වර්ගයාගේ ම දිවි පැවැත්ම උඩු යටිකුරු ව ගියේ ය. මුළුමනින් ම අවුල් ව ගියේ ය. ඊළඟ මොහොතේ මරණයට ගොදුරු වන්නා කවරෙක් දැයි කිව නොහැකි තරම් අවිනිශ්චිත බවක් හැම තැන ම දිස්විය.

ළබැඳි සෙනේ ඇතියවුන් බලාසිටියදී සිය නෑසියන් මරණයට පිවිසි කල්හි ඔවුන්ගේ සිරුරු ඉවත ලූ දරකඩ සෙයින් තැන් තැන්වල වැටී තිබුණේ ය. වෙනදා සෙයින් ඒ සිරුරු වෙත ගොස් නෑසියන්ගේ නම්ගොත් පවසා හඬමින් සිය දුක දුරු කර ගන්නේ කෙසේ ද? ඒ රෝගී මෘතදේහ වැළඳගන්නට කෙනෙක් නැත්තේ ය. තමා දමා යන්නට එපා යැයි කියමින් ඒ මළසිරුර පසුපසින් හඬ හඬා යන්ට කිසිවකු නොවීය. මළසිරුර ඉදිරිපස තබා සාම්ප්‍රදායික ව සිදුකෙරෙන ආගමික වතාවත් කෙරුණේ නම් එය ද මරණයේ සෙවණැල්ල වටපිටාවේ සැරිසැරීම ගැන තැතිගත් සිතිනි.

රුකින් වට ගෙඩි කූඩයකට එකතු කරනවාටත් වඩා වේගයෙන් මරණය විසින් ගෙවෙන හැම තත්පරයක දී ම සිය බඳුනට මළවුන් රැස් කළේ ය.

වැසි කුණාටුවක් නම් දින කීපයක් පීඩාව ලබා දී කෙමෙන් පහව යයි. යළි අහස පෑදේ. ජලය බැස යයි.

එවන් වේගයකින් වසංගතය අවසන් නොවූයේ ය. කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි, නිමා නොවන අඳුරක් සෙයින් මරණයේ කළු සෙවණැල්ල තවමත් සැරිසරා යයි. වසංගතය නේක වෙස් ගනී. නේක නම් ගනී. එයින් වසන් වීම පිණිස කෙතරම් සීරුවෙන් කටයුතු කළ නමුත් මිනිසා තැති ගන්වමින් මරණයේ බියකරු සෙවණැලි ඔබමොබ ඇවිද යමින් ලද අවසරයෙන් එකිනෙකා ඩැහැගනී.

ඇතැම් රෝගීන්ට සිහිය එනවිට සිය මුව තුළින් උගුර ඔස්සේ දමන ලද බටයක් ඇත්තේ ය. තමා ජීවත් කරවනුයේ එයින් ලබා දෙන තල්ලුවකිනි. එසේම නාසය මගින් කුස දක්වා ඇතුළු කරන ලද තව සිහින් බටයක් ඇත්තේ ය. එයින් දියර ආහාර කුසට දමනු ලැබේ. දිවට රසයක්, නාසයට සුවඳක්, කයට පහසුවක් නැති ඒ ජීවිතයේ එක ම දෙය නම් ජීවත් වෙන්නට සැලැස්වීම පමණි. වෙනත් ආශ්වාදයක් නැත්තේ ය.

බොහෝ දෙනා සිතා සිටිනුයේ අවසන් මොහොතේ යහනෙක සැතැපි දෑස පියාගෙන නිවී සැනසිල්ලේ මරණයට පිවිසෙන්නට ය. එහෙත් මේ වූයේ කිමෙක්ද? සෙලවෙන්නටවත් නොහැකි ය. ඉතා දුක්ඛිත දඬුවමක් ලද සෙයකි. දහසක් දේ කීමට ඇතත් ඒවා සිතෙහි ම ඉපදී සිතෙහි ම මැළවී යයි. කෙසේ නම් සිත සදාගන්නට ද?

නේක සිතිවිල්ලෙන් වෙළී අවසානයේ ඉතා අකමැත්තෙන් නමුත් තමාට අත්වු ඉරණමට යටත් වෙන්නට සිදුවේ. මළකඳක් වන් රෝගී සිරුරක් ඇඳක් මත තබන ලදුව යන්ත්‍රයන් මඟින් ආයාසයෙන් මෙලොවෙහි ඇද බැඳ තබා යළි පණ ගන්වන්නට ගන්නා සියලු වෑයම් ව්‍යර්ථ කොට මරණයට පිවිසෙන්නෝ බොහෝ ය.