Print this Article


හෙළ බසට උදාර ලේඛන රීතියක් සොයා දුන් හෙළ මහා ගත්කරු ගුරුළුගෝමී

හෙළ බසට උදාර ලේඛන රීතියක් සොයා දුන් හෙළ මහා ගත්කරු ගුරුළුගෝමී

පාලි වදන් උචිත ලෙස තත්භව කොට මනහර වැනුම් මවන්නට ඔහු සමතෙක් විය. මේ නිසා ම හෙළ බස් වහර නව ලේඛන ශෛලියක් ලෙස ජනපි‍්‍රය විය. පසුකාලීන ලේඛකයන්ට වඩාත් මටසිලුටු ලෙසින් බස යොදාගන්නට ගුරුළුගෝමීහු මඟ පාදා දුන්හ.

පොලොන්නරු යුගය එකලු කල සාහිත්‍යධරයන් අතරෙහි ගුරුළුගෝමී අමරණීය වෙයි. හින්දු භක්තිවාදයෙන් ජනයා මුදවා ගන්නට බුදුගුණ සාර්ථක ව වයමින් අමාවතුරක් ද, බුදුදහම ප්‍රචළිත කරලීම උදෙසා ධර්මප්‍රදීපිකාවක් ද ලියා, යටවෙමින් තිබූ හෙළ බසෙහි ප්‍රෞඪත්වය, අදීනත්වය මතු කොට සිංහලයට උදාර ලේඛන රීතියක් ද සොයා දුන් ගුරුළුගෝමී, අසහාය, “හෙළ මහ ගත්කරුවා” ලෙස විරුදාවලි ලැබීය.

සිංහල ගද්‍යකරුවන් අතර මෙම ගත්කරුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔහු හෙළ මහ ගත්කරුවා වූයේ ඇයි? ඇතැමෙක් ඔහු පරිවර්තකයකු පමණක් බවට විවේචන ඉදිරිපත් කරති. එහෙත් පොළොන්නරු යුගයේ භාෂා පසුබිම මෙන් ම, ඔහු අපට දායාද කළ ගද්‍ය කෘති දෙක විමසා බැලීමෙන් පෙනෙන්නේ චින්තන විප්ලවයක් කළ ශ්‍රේෂ්ඨ ගද්‍යකරුවකු බව ය. “ගෝමී’ ඔහු ලද ගෞරව නාමයක් ලෙස දැක්වෙන අතර එහි අරුත “ධර්මාචාර්ය” විය හැකි ය. ඔහුට සිංහල ගද්‍ය සාහිත්‍යයේ හිමි තැන විමසන්නට කාරණා කිහිපයක් ඔස්සේ සාකච්ඡා කළ හැකි ය. ඔහුගේ

ධර්ම ඥානය, සමාජ පරිඥානය, වර්ණනා චාතූර්යය, භාෂාන්තර දැනුම, අදීන චින්තනය ආදී කරුණු කීපයකි. ගුරුළුගෝමී ධර්මාචාර්යවරයෙකි. එහි සම්භාව්‍ය අරුත මුළු ත්‍රිපිටකය හා අටුවා පිළිබඳ වෛශාරද්‍යයක් ඔහු සතුව පැවැති බවයි. ඔහුගේ ධර්මඥානය විමසීමට ඔහු ලියූ එක ම කෘතියක් ප්‍රමාණවත් ය. ඒ ධර්ම ප්‍රදීපිකාවයි. සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යයේ එන “පරිකථා” නම් වූ ඝනයට වැටෙන ධර්මප්‍රදීපිකාව උපතිස්ස නමැති යතිවරයකු පාලි මහාබෝධිවංශයට කළ විවරණ ග්‍රන්ථයයි.

පරිකථාවක දී සිදුවන්නේ තෝරා ගත් පාලි පදයකට හෝ වැකියකට හෝ හාත්පසින්ම කළ හැකි සියලුම විස්තර විවරණ ගෙන හැර පෑමයි. එසේ කළ මෙම කෘතිය මහාබෝධිවංශ ව්‍යාඛ්‍යානය ලෙස සඳහන් නොකෙරිණි. ඊට හේතුව හුදෙක් මෙය ව්‍යාඛ්‍යානයක ලක්ෂණ ඉක්මවා වෙනම ම ලියවුණු ස්වාධීන ධර්ම ග්‍රන්ථයක් බවට පත් වීමයි. “ධර්මයට පහනක් යන අරුතින් ධර්මප්‍රදීපිකාව විය. කතුවරයා ම මෙය හඳුන්වන්නේ ධර්ම ග්‍රන්ථයක් ලෙස ය.

පාලි මහාබෝධිවංශයෙහි තෝරාගත් පද ගෙනැ වර්ණනා කරන බව කතුවරයා ම මෙසේ පවසයි. “මහා බෝධින්ගේ වංශයෙහි සහශ්‍ර රශ්මීන් විභක්ත පදයන් අතුරෙහි පරිකථානුකූල පද ගෙන වර්ණනා කරනු ලැබේ” මේ අනුව බෝධිවංශයෙහි මුලින් ම දැක්වුණු “යස්සමූලෙ නිසින්නෝව“ යන ගාථාවෙහි යස්ස, නිසින්නො, පත්තො, සබ්බඤ්ඤුතං සත්ථා යන පදවලට දීර්ඝව විවරණ ඉදිරිපත් කර තිබෙයි.

එහි දී බුදුරදුන්ගේ දෙතිස් මහා පුරිස ලක්ෂණ, අසූ අනුව්‍යඤ්ජන රූපකාය විලාස, ලෝක ධාතු, ඥාන විභාග ආදී කරුණු විග්‍රහ කෙරෙයි. මේවා විග්‍රහ කරන්නට නම් ගුරුළුගෝමී පැහැදිලි ධර්මධරයකු විය යුතු ය. අමාවතුර කෘතියේ දී වුව ආරම්භයේ එන දුරුදාන්ත දමන පරිච්ඡේදය තුළ ජාතක කතා දෙසිය අටක් එකම අරමුණක් ඔස්සේ පෙළ ගස්වන්නට කෙතරම් ධර්ම ග්‍රන්ථ රාශියක් පරිශීලනය කරන්නට ඇත් ද?

ධර්ම ඥානයෙන් පමණක් නොව ගුරුළුගෝමී සමාජ පරිඥානයෙන් ද පිරිපුන් ගද්‍යකරුවෙක් විය. මෙයින් අදහස් කෙරෙන්නේ සාහිත්‍යය සමාජ අවශ්‍යතාව පිණිස පවතින්නක් බව ඔහු හොඳින් අවබෝධ කොට සිටි බවකි. පොලොන්නරු යුගයේ පැවති සමාජ ගැටලු විසඳා ගැනීම පිණිස බුදු ගුණ වර්ණනා කළ යුතු ය යන දැක්ම ඔහුට පැවතුණි.

පෙර ලිපියක විවරණය කළ පරිදි බෞද්ධ ජනයා පවා හින්දු භක්තිවාදය ඔස්සේ බුදුහිමියන් ද අසිරිමත් දෙවියකු ලෙස දකින්නට යෑමෙන් ඇති වූ සමාජ ගැටලුව නිරාකරණය කරන්නට තම පන්හිඳ මෙහෙය වූ ගත්කරුවා ගුරුළුගෝමී ය. ඒ අමාවතුර රචනා කරමිනි.

අමාවතුර ආරම්භ කෙරෙන්නේ “නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිසධම්ම සාරථි පදය ගෙනැ” යනුවෙන් එක ම ගුණයක් වර්ණනා කරන බව දක්වමිනි. මෙම බුදුගුණය තෝරා ගැනීම ම ගුරුළුගෝමින්ගේ සමාජ පරිඥානය තහවුරු කරලයි. බුදු හිමියන්ගේ මානුෂිකත්වය කියා පාමින් ආකස්මික දෙවියකුට වඩා පිරිපුන් මිනිසකුගේ ශ්‍රේෂ්ඨත්වය සමාජගත කිරීම අමාවතුර ඔස්සේ ගුරුළුගෝමි සිදු කළේ ය.

ගුරුළුගෝමි අසහාය ගද්‍යකරුවා වීම පිණිස බලපෑ අනෙක් කාරණය ඔහු සතුව පැවති වර්ණනා චාතුර්යය යි. අමාවතුරෙහි දී ඔහු භාවිත කළේ සංක්ෂිප්ත රීතියයි. එය ආරම්භයේ ම කියා සිටියේ සැකෙවින් දක්වන බවයි.

මෙම සංක්ෂිප්ත රීතිය අමාවතුර කෘතිය සඳහා ඔහු භාවිත කළේ වැදගත් අරමුණක් වෙනුවෙනි. එනම් එහි පාඨකයා විවේක බුද්ධියෙන් කියවා අවබෝධ කර ගන්නා පාඨක පිරිසක් බැවිනි. කියවන පාඨක පිරිසක් වෙහෙස කරලීමට දීර්ඝ වර්ණනා ඔහුට අවශ්‍ය නොවීය. ඒ සඳහා යොදා ගත හැකි අවම වදන්, වැකි ඉතා භාවාත්මක ලෙස යොදා ගත්තේ ය. අමාවතුරෙහි දෙවන පරිච්ඡේදයෙහි අභිනිෂ්ක්‍රමණ අවස්ථාවේ කන්ථක අශ්වයා වෙතට ගොස් කරන ප්‍රකාශය මීට නිදසුන් ය. “මේ රෑ තෝ මා තරවා, මම් මුළු ලෝ තරවම්” යනුවෙන් “මේ රාත්‍රියෙහි ඔබ මා මෙම නගරයෙන් එතෙර කළ යුතු බවත් මා එවිට මුළු ලෝකය ම එතෙර කරවන බවත්” එහි කියැවෙයි.

අනෙක් පසින් ධර්මප්‍රදීපිකාවේ දී ඔහු ප්‍රකට කළ වර්ණනා රීතිය මීට වඩා වෙනස් වෙයි. එහි දි කෙටි රීතිය වෙනුවට දිගු රීතියක් ඔහුට විෂයය වෙයි. ඇත් සෙනඟක් වැසි දිනකට උපමා කළ අයුරු පෙන්වන මෙම නිදසුන අවධානයට යොමු කිරිම වටී.

“ගජබඳමැ නිල් මේ කුළු වැනි විය.

හිවි දළ දලමැ කොක් වැළ වැනි විය.

ලෙලෙන රන්දම් මැ විදුලිය වැනි විය.

සත්රුවන් පොරොදු මැ දෙව්දුනු වැනි විය.

ගජගොස් මැ මේ ගැජුම් වැනි විය.

මමන මද පොද මැ වැසි දහරා වැනි විය”

මෙවැනි වැනුම් අමාවතුරෙහි එතරම් හමු නොවේ. එබැවින් ධර්මප්‍රදීපිකාවෙහි විශද කළ වැනුම් රීතිය ඔහුගෙ සම්භාව්‍ය විදග්ධ රීතිය වෙයි.

ගුරුළුගෝමීන් සතුව පැවති භාෂා නෛපූණ්‍යය ද ඔහුගේ අසහාය ලේඛකත්වය පිණිස උපස්තම්භක විය. විශේෂයෙන් පාලි, සංස්කෘත භාෂා පිළිබඳ ඔහු සතුව උසස් දැනුමක් පැවතුණි. ධර්ම ප්‍රදීපිකාවක් කිරීම පිණිස ඔහු පාලි මහාබෝධිවංශය හොඳින් කියවා අවබෝධ කළේ ය. පරිකථා කළ හැකි පාලි වදන් ඔහුට තෝරා බේරා ගන්නට හැකි වූයේ පාලි බස පිළිබඳ ඥානයක් පැවති හෙයිනි. කාලිංගබෝධි ජාතකය, සුළුකලිඟුදාවත ලෙස ධර්මප්‍රදීපිකාවට සකසද්දී හෙළ බස පිළිබඳ ඔහුගේ පරිපාකයට ගිය දැනුම විශද වෙයි.

“කියග සොඳුර මහබඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ

රන් ගලින් පහන් පැහැ උකහා ගෙනැ වනවිලින් මත් හස්

යුවළක් ගෙනැ තුන් රන් පියුමක් අරැ එකක් තබා දෙකක්

හිරා ගෙනැ තී මවමින් ලය කිසෙ ගල කළේ හො යි?”

මේ ස්ත්‍රී වර්ණනය ඔහුගේ හෙළ බසෙහි දැනුම පෙන්වන තැනකි. අමාවතුර ග්‍රන්ථය පුරා ම දිස්වන්නේ පරිවර්තකයකුගේ නොව බස් වඩුවකුගේ මනරම් බසයි.

පාලි වදන් උචිත ලෙස තත්භව කොට මනහර වැනුම් මවන්නට ඔහු සමතෙක් විය. මේ නිසා ම හෙළ බස් වහර නව ලේඛන ශෛලියක් ලෙස ජනපි‍්‍රය විය. පසුකාලීන ලේඛකයන්ට වඩාත් මටසිලුටු ලෙසින් බස යොදාගන්නට ගුරුළුගෝමීහු මඟ පාදා දුන්හ.

ඒ අනුව,

ගුරුළුගෝමී අදීන චින්තකයකු ලෙස දැක්වීම වැරැදි නොවේ. අමාවතුරේ ‘ගහපති දමනය’ වුව මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එහි එන දිට්ඨමංගලිකා කතා පුවත ඉදිරිපත් කළ පිළිවෙළ පරික්ෂා කිරීමේ දි පෙනෙන්නේ කුලවාදයට එරෙහිව ඔහු ගැසූ කැරැල්ලකි. බුදුරදුන් මාතංග ජාතකය දේශනා කරන්නේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට එරෙහිව ය. ගුරුළුගෝමී එම කතා පුවත තත්කාලීන සමාජ ප්‍රවණතාවක් යටපත් කරලීම පිණිස සාර්ථක ව යොදා ගනී. මෙවන් නිදසුන් අමාවතුර පුරාම දැකිය හැකි ය. මේ නයින් විභාග කිරීමේ දී පොලොන්නරු යුගයේ බිහි වූ අසහාය ගත්කරුවා ගුරුළුගෝමී බව පසක් වෙයි.