Print this Article


පින් පව් එනවා අපි පසු පස්සේ

පින් පව් එනවා අපි පසු පස්සේ

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී දම් සම්පූර්ණ කරමින් උත්තරීතර මානව ගුණධර්ම මැනවින් ප්‍රගුණ කළ ලොව පහළ වූ උත්තමයන් වහන්සේ ශාන්ති නායක ලොව්තුරා බුදුන් වහන්සේ ය.

මානව වර්ගයාත්, සත්ත්ව ලෝකයත්, සොබාදහමත්, පරිසරයත් එම උතුම් බුදුගුණයට ගෞරව දක්වයි. බුදු මනසෙහි තැන්පත් වූ එම විශිෂ්ට මානව ගුණ උන්වහන්සේගේ මුවෙන් පිට වූ සෑම වදනකම ද, උන්වහන්සේගේ ශික්ෂණයෙන් යුතු ගමන් විලාසයෙන් ද, තැන්පත් විහරණයෙන් ද මැනවින් ප්‍රකට විය. දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු සත්ත්වයාගේ සිත් සතන් පහන් කිරීමට ද දිව්‍ය ඖෂධයක් මෙන් සමත් විය. සංසාර දුක නමැති ග්‍රීෂ්මයෙන් පීඩිත වූ ලෝක සත්ත්වයාට නුග රුකක් මෙන් ශාන්තිය නම් වූ සෙවණ ලබා දීමට ද සමත් විය. සත්‍ය නමැති මිහිරි පැන් පානය කිරීමේ පිපාසාවෙන් යුත් සත්ත්වයාට දිය ගඟුලක් සේ පිපාසාව සංසිඳුවාලමින් ධර්මාවබෝධය ලබා දීමට ද සමත් විය.

දහම් සුවය විඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටින සත්ත්වයාට විසිතුරු පිපුණු මලක නැවුම් සුවඳ සේ දහම් සුවඳ ලබා දුන් සුපුෂ්පිත පුෂ්පයක් වීමට ද සමත් විය.

සිත් පිත් ඇති සත්ත්වයාට පමණක් නොව එම බුදුගුණ සොබාදහමටත්, පරිසරයටත් විඳ ගැනීමට සමත් වී ඇති බව රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත, මාලනී බුලත්සිංහල විසින් ගැයෙන මෙම ගීය මැනවින් අපට කියා පායි.

“පිපෙනා මලකට - ගලනා දොළකට
දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ”

ගසක පිපුණ සුගන්ධවත් පුෂ්පයක් සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවෙන් මල් අසුන මත හාත්පස සුවඳ විහිදුවමින් ද බුදු කුටිය චමත්කාර ජනක කරමින් ද, බුදුගුණ විඳගන්නා අයුරු කෙතරම් නම් සුන්දර ද? ගලනා දොළකින් ගත් පැන් බඳුනක් මලසුන මත තැන්පත් කළ විට එකී සිසිල් පැන් පවා බුදුගුණ මිහිර විඳීන අයුරු කවි හිමියෝ මනහර ලෙස ඉදිරිපත් කරති.

කවියා සමාජයෙන් විමසා සිටින්නේ පිපුණු මලකට, ගලන දොළකට විඳීන්නට පුළුවන් බුදුගුණ නුඹලාට නොදැනෙන්නේ කිම ද? යනුවෙනි.

වර්තමාන සමාජය මෙතරම් කුරිරු සමාජයක් වීමට හේතු වී ඇති ප්‍රධාන කරුණක් වන්නේ මිනිසා බුදු ගුණ පිළිබඳ නොදැනීම නිසා බව මෙම ගී පදවලින් ඉස්මතු කරයි.

“රළු ගල් කුලකට බොල් මැටි පිඩකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ”

කළු ගලකින්, බොල් මැටි පිඩකින්, නිර්මාණය කළ බුදුරුවක් දෙස බලා සිටින සැදැහැවතුන්ගේ සිත් සතන් ශාන්ත භාවයට පත්කරනු ලබයි. අවුකන පිළිමය, සමාධි පිළිමය ආදි බුදු පිළිම දෙස බලා සිටින විට ඕනම වියරු වැටුණ සිතක් සමාධිගත කිරීමට ඉවහල් වන අයුරු කවියා මෙයින් ධ්වනිත කරයි.

පිළිම නෙළා ඇති කළු ගල්වලට පවා, බොල් මැටි පිඬුවලට පවා බුදු ගුණ දැනෙන බව කවියා අපට කියා දෙයි. බුදු ගුණ නිසාම රළු කළු ගල් බොල් මැටි පිඬු ශාන්ත සුන්දර ප්‍රියමනාප විලාසයෙන් අප හමුවේ දර්ශනය වීම කෙතරම් නම් අපූරු ද? සුන්දර ද? සතා සිවුපාවාගේ පවා සිත්වල සැනසීමක් ඇති කරන්නේ ද?

එසේ වුව ද සිත් පිත් ඇති වර්තමාන සමාජයේ සමහර මිනිසුන් මෙම උතුම් බුදු ගුණ මිහිර විඳ ගැනීමට අසමත් වී ඇත්තේ මන්දැයි කවියා විමසන්නේ සමාජය දෙස හෙළන දයානුකම්පාවෙනි. මිනිසුන් මෙම බුදු ගුණවල ජීව ගුණය විඳ ගන්නේ නම්, අප ජීවත්වන සමාජය සාධු සම්මත යහපත්, ගුණවත් සමාජයක් බවට පත් කිරීමට සමත් වෙයි.

“ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ”

ලෝකයාගේ නෙත් දෙක ඉර හා හඳයි. එහෙයින් ඉරට හඳට ජගත් නේත්‍ර යනුවෙන් පවසන බව වියතුන් විසින් සඳහන් කරනු ලබයි. එකී ඉරට හඳට පවා බුදු ගුණවල මිහිර විඳ ගැනීමට පුළුවනි. එසේ ම මේ මහ පොළොව පවා බුදු ගුණ හොඳීන් හඳුනයි. මාර පරාජය කරන අවස්ථාවේ බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීමට දස පාරමී සම්පූර්ණ කළ බවට සාක්ෂ්‍ය දැරුවේ මහපොළොවයි.

බුදුන් වහන්සේගේ දකුණත මහ පොළොවට දිගු කළ විට මහපොළොව චංචල වී බුදු ගුණ හඳුනා ගත් අයුරු බුද්ධ චරිතයෙන් අපි ඉගෙන ගෙන ඇත්තෙමු. එම නිසා ඉරට හඳට මහ පොළොවට දැනෙන බුදුගුණ සමහර මිනිසුන්ට නොදැනෙන බව කවියා සඳහන් කරන්නේ මෙම සමාජය දෙස හෙළන සානුකම්පිත දෘෂ්ටියකිනි.

මෙහි අවධාරණයෙන් පවසන දෙයක් වෙයි. එනම්, මිනිසුනි නුඹලා කෙසේ ජීවිතය ගත කළත් ඒ කාල සීමාව තුළ ඔබ උපයන්නේ පින් සහ පව් ය. ලොව ඕනෑම දෙයකින් ගැලවී ගියත් පින් පව්වලින් ගැලවී යාමට නොහැකි ය. අත් හළ යුතු දෙයක් වශයෙන් පාපකාරී ක්‍රියා අතහරිමින්, පින රැස් කළ යුතු බව කවි හිමියෝ දක්වති.

ගීතය පුරාවට වැඩි වාර ගණනක් අපට ශ්‍රවණය කළ හැකි වන සේ එම ප්‍රකාශය සංකල්පයක් ලෙස භාවිත කර තිබෙන නිසා එය තව දුරටත් තහවුරු වෙයි.

“කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ”

අවසන් වශයෙන් මෙම ගීතයෙහි එකම පරමාර්ථය බුදුගුණ හඳුනන සාධු ජන සමාජයක් නිර්මාණය කිරීම ය. එසේ සුඛිත මුදිත සමාජයක් නිර්මාණය කළ හොත් අප ජීවත් වන මෙම වර්තමාන සමාජය කෙතරම් නම් සුවදායක වන්නේ ද?