Print this Article


අනාගත සැලසුම් සාර්ථක වීමට නම් දුර්වලකම් හඳුනාගන්න ඕනෑ

අනාගත සැලසුම් සාර්ථක වීමට නම් දුර්වලකම් හඳුනාගන්න ඕනෑ

දුර්වලකම් හඳුනාගෙන ඒවායින් ඉවත්වීමට උත්සාහ නොකරන්නේ නම් මොනතරම් අනාගත සැලසුම් සකස් කළ ද, ඒවා අසාර්ථක උත්සාහයන් වනු ඇත. මේ නිසා වටිනා ඵලදායි ජීවිතයකට අවශ්‍ය කරුණු කිහිපයක් සලකා බැලීම වැදගත් වනු ඇතැයි සිතමි. එක් මොහොතක් හෝ අපතේ නොයවමින් දින චරියාවකට අනුව කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තුළ මොනතරම් මෙහෙයක් ඉටුකොට ඇත්දැයි බලන්න. අපේ රටේ සිටි වැදගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ක්‍රමවත් වැඩ සටහනකට අනුව දවස ගත කළ අයුරු ඉතිහාසය අපට පෙන්වා දෙයි. දෙවැනි පැරකුම්බා රජු නියමිත වෙලාවට ආගමික වතාවත් ඉටුකළ අයුරුත්, රාජ්‍ය පාලකයකු ලෙස තම වගකීම් සඳහා දවස සැලසුම් කරගත් අයුරුත් අපට වැදගත් පාඩමක් වනු ඇත.

අරුණට පෙර

දිනය සැලසුම් කිරීමේ දී උදේ සහ සන්ධ්‍යාවෙහි සිදුකරනු ලබන ආගමික වතාවත් පිළිබඳත් විශේෂයෙන් පොහොය දිනයෙහි විහාරස්ථානයට ගොස් සිදුකළ යුතු ආගමික වතාවත් ගැන ද මූලික අවධානය යොමු කරන්න. ඉගෙන ගන්නා ශිෂ්‍යයකු වශයෙන් තම දින චරියාව සකස් කරගත යුත්තේ බොදු හැදියාව සමඟ අධ්‍යාපනික ජීවිතය ද ගොඩනැංවෙන අයුරෙනි. අරුණට පළමු නැඟීටීමට පුරුදු වන්න. එය ප්‍රබෝධවත් ජීවිතයකට මහත් ශක්තියකි. උදේ හිරු රැස් වැදීමෙන් ගස්වැල් පවා නව පණක් ලබයි. අප කරන කාර්යයන්හි ඵලදායිත්වයට අරුණ තුළින් ලබන පිබිදීම මහත් ශක්තියකි.

එදිනෙදා ගෙදර කටයුතු ඉටුකර ගැනීමේ දී පවුලේ සමඟි සම්බන්ධතාවඉතා වැදගත් ය. මෙහිදී සෑම කෙනෙක් ම අදාළ කාර්යයන්හි කොටස්කරුවකු වන අයුරින් බැඳී කටයුතු කරන්නේ නම්, එම නිවස සැනසිලිදායක තැනක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. ගෙදර හා සම්බන්ධ කාර්ය භාරය තනි අයකුට කරන්නට සිදුවුවහොත් මොනතරම් කායික හා මානසික පීඩනයකට ඔහු හෝ ඇය පත්වෙනවා දැයි බලන්න.

වටිනාම දෙය

ජීවිතයේ වටිනාම දේ කුමක්දැයි කෙනකු ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? “මට මාගේ පවුල තරම් වටිනා දෙයක් නැහැ” යනුවෙන් බොහෝ දෙනෙක් කියනු ඇත. පවුල් ජීවිතය සතුටින් පවත්වා ගෙන යෑම සඳහා බොහෝ කරුණු හේතු වන්නට පුළුවන.

දිනපතාම යටත් පිරිසෙන් පැයක පමණ කාලයක් වත් දරුවන් සමඟ මව්පියන් සමීපව කටයුතු කළ යුතුයි. මව්පියන් දරුවන්ගේ ලෝකයෙන් දුරස්වීම සුබදායි නොවේ.

දරුවන් හා මව්පියන් අතර තිබෙන බැඳීම මෙහෙකරුවකුගෙන් හෝ, වෙනත් වැඩිහිටියකුගෙන් හෝ, දිවා සුරැකුම් මධ්‍යස්ථානයකින් ලැබෙන්නේ නැත. දරුවන්ට ලැබිය යුතු මව්පිය ආදරය, සෙනෙහස, රැකවරණය නොලැබෙන වා නම් මුදල් පසුපස හඹාගොස් උපයන මුදලින් ඵල ප්‍රයෝජනයක් ඇත්දැයි සිතා බලන්න.

පැරැණි සමාජයේ ගෙදර සියලු කටයුතු කළේ බිරිඳ ය. සැමියා කුඹුරේ හේනේ වැඩට ගොස් ලබන ආදායම ගෙනත් දුන්නේ බිරිඳ අතට ය. එම ආදායමේ වගකීම් හඳුනාගනිමින් පවුලේ දියුණුව සඳහා සමබර ව යොදාගත් අයුරු අපි දනිමු. අද දෙදෙනා ම බොහෝ විට රැකියාවක නියුක්ත ය. රැකියාවල ස්වභාවය පිළිබඳ දෙදෙනා ම අන්‍යොන්‍ය අවබෝධය තිබිය යුතු ය. ඒ අනුව නිවසේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් තම තමන් සතු කාර්යභාරය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය ය.

මට පුළුවන්

ජීවිතයක අධිෂ්ඨානයක්, ඉලක්කයක් තිබිය යුතු ය. ඉලක්කය හා බැඳුණු ආශාව හා උනන්දුව ජීවිතය සාර්ථක කරයි. අභියෝග, ප්‍රශ්න, ගැටලු හමුවේ ඉදිරියට යෑම බුදු දහමෙහි ‘සක්කෝ’ ගුණය ලෙස දක්වා ඇත. බෑ නොකියා මට පුළුවන් කියන අධිෂ්ඨානය අප තුළ ඇතිකර ගත යුතුව ඇත. දියුණුවේ ඉහළට ම ගිය සමහර ජීවිත දෙස බලන්න. කම්කරු ජීවිත ගත කළ සමහර අය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උසස් ම චරිත බවට පත්වී ඇති අයුරු දැක ගන්නට පුළුවන. උනන්දුව ,අධිෂ්ඨානය තිබේ නම්, ජය කණුව කරා ළංවීම අපහසු නොවනු ඇත.

තමන් කරන දේ අවංකව ඍජුව කරන්න. නිවැරැදි දේ තෝරා බේරාගෙන කටයුතු කිරීම තුළින් ඔබට හැමදාම සතුටු විය හැකි ය. අයුක්ති සහගත අසාධාරණ දේ සිදුකර පසුව එහි විපාක විඳින්නට සිදුවන්නේ ඔබට යි. එහිදී අසාධාරණ දේ කිරීමට පෙළඹවූ අය ඔබ සමඟ නැත. මේ නිසා ඔබ කරන සෑම දෙයක දී ම අවංකව ම තම කාර්යභාරය ඉටුකරන්නට උත්සාහ ගන්න.

අපගේ වරදක්, අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට අප සූදානම් විය යුතු ය. නොමඟ යන දරුවන් දෙස බලා මව්පියන් මොන තරම් මානසික පීඩනයකට පත්වෙනවා ද? පේ‍්‍රම සම්බන්ධතා, මත්වතුර, මත්කුඩු, ජංගම දුරකථන, මුහුණුපොත හරහා මොනතරම් ළමා ජීවිත අගාධයට පත්ව තිබෙනවාද? කෙනකුට මෙලොව දී ම ලැබිය හැකි ඉහළම ධනය සතුටයි. තමන් කරන කාර්ය දෙස බලා සතුටු විය හැකි අයුරින් වගකීම් ඉටු කරන්න.

මිල කළ නොහැකි සතුට

ව්‍යාපාරිකයෙක් නම් තම ව්‍යාපාරය ලබන දියුණුව දෙස බලා සතුටු විය හැකි ය. රැකියාවක් කරන්නේ නම්, තමාගේ රාජකාරිය දෙස බලා සතුටු විය හැකි පරිදි කටයුතු කරන්න. යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටුකිරීම තුළින් ලබන සතුට මුදලට ගත නොහැකි ය. අවංකත්වය පැත්තකට දමා අනියම් මගින් ලබන සතුට ඉක්මණින් ම වේදනාවක් බවට පත්වනු ඒකාන්ත ය. නූතන තාක්ෂණික ලෝකයේ රූපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍ය තුළින් බොහෝ විට ඔබ අතෘප්තිකර ලොවකට ගෙන යන්නට උත්සාහ කරයි. ප්‍රචාරක මාධ්‍ය තුළින් පාරිභෝගිකයා දිනා ගැනීමට ගන්නා උත්සාහය හැම පැතිකඩකින් ම දැකගත හැකි ය. මේවා ලබා ගැනීමට නම් රැකියා දෙක තුනකවත් නියැළෙන්නට සිදුවෙයි. මේ අතෘප්තිකර තත්ත්වය මිනිසා ආතතියට පත්කරයි. මේ ප්‍රචාරණවලට වහලකු නොවී අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ පමණක් තෝරා බේරාගෙන කටයුතු කිරීමට අප සූදානම් විය යුතු ය.

අනවශ්‍ය ලෙස භාණ්ඩ මිලදි ගැනීමෙන් ආර්ථිකය කළමනාකරණය කළ හැකි දැයි බලන්න. බොහෝ විට මෙම භාණ්ඩ මිල දී ගෙන ඇත්තේ අවශ්‍යතාවයකට නොවේ. වෙනත් කෙනකුගේ වර්ණනාවකට හෝ ප්‍රචාරක දැන්වීමකට හෝ තම ලොකුකම පෙන්වීමට හෝ වන්නට පුළුවන.

උසුලා ගත හැකි බරක් කරට ගන්න

සමහර අයගේ ජීවිතය කාර්ය බහුල ය. තමන්ට කරන්නට බැරි මට්ටමට ව්‍යාපාර අරඹා ඇත. තමන් කරන කුමන හෝ කාර්යයක් ඇත්නම් එය අවුලක් නොවී පහසුවෙන් හොඳට කිරීමට හැකිවිය යුතු ය.

අපට කරන්නට පුළුවන් මට්ටමට දිගටම කරගෙන යා හැකි අයුරින්, උසුලාගත හැකි අයුරින් අපගේ කාර්ය භාරය සීමා කර ගත යුතු ය. මෙය ‘අප්පකිච්ච’ නමින් සඳහන් ය. කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කළා නම්, එය සාර්ථක මට්ටමට පැමිණි පසු ඒ හා සම්බන්ධ අනික් කොටසට අත තැබිය යුතු ය. කොයි ක්‍රමයකින් හෝ කරන්න බැරි තරමට වැඩ ගොඩක් පටලවා ගැනීම සියල්ල ම අසාර්ථක තත්ත්වයට පත්කරයි. කාර්යබහුල ජීවන ගමන ආතතියට මගකි. දවස පුරාම මැෂින් එකක් සේ වැඩ කළත් සතුටක් නැති නම්, එබඳු ජීවිතයක ඇති ඵලය කුමක් ද? ශරීරයට අනවශ්‍ය ලෙස දුක් නොදී, අනවශ්‍ය සුඛෝපභෝගී ජීවිතයකටත් පත් නොවී සැහැල්ලු ජීවිතයක් ගත කරන අයුරු සිතන්න. අපගේ එදිනෙදා ජීවිතයේ දී ඉන්ද්‍රිය පාලනය ඉතා වැදගත් ය. එසේ නොවුණහොත් එය දුක්බර ජීවිතයකට මංපෙත් විවෘත කිරීමකි.