දුක සතුට සමව දරාගන්න
ධර්මයේ පිළිසරණ ලැබ ගන්න
අපගේ බොහෝ කාන්තාවන්ට ජීවිතයේ සැදෑ සමය කියන්නේ ම පසුතැවීමක්.
ඇය විසින් දරුවන් හදාවඩා යුතුකම් ඉටු කරමින් බොහෝ කැපකිරීම් කරනු ලබනවා. මුළු
ජීවිතය ම දුක් ගොඩක්. කෙළවරක් නැහැ. තමන්ට ශක්තිය තිබෙන කාලයේ ඇය සිතනවා දැන්ම
ධර්මය අසන්න ඕන නෑ. දරුවෝ ලොකු මහත් වුණාම ඒ දේ කරගන්න පුලුවන් කියා. එහෙත් වයසට
ගිහින් තනි වූ විට ඇයට සිහි කිරීමට දෙයක් නැහැ.
ඕනෑම නිවසක බොහෝ දුක් විඳීන්නේ ඒ නිවසේ අම්මා. ඇය බොහෝ දුක් වින්ඳත් ඒ හැම දුකක් ම
දරුවන් වෙනුවෙන් අමතක කරනවා. දරුවකු කුස තුළ තබා ගෙන මවක් දුක් කන්දරාවක් විඳීනවා.
ඒ දුක දන්නේ තවත් අම්මා කෙනෙක් විතරයි. දරුවා කුසේ සිටින අවස්ථාවේ දී අම්මා කැමති
දෙයක් කන්නේ බොන්නේ නෑ . රස්නෙන්, සීතලෙන් ඇය පරිස්සම් වෙනවා. බොහෝ දුකක් විඳලා
දරුවා බිහි කරන්නේ. දරු සෙනෙහසට අම්මගේ ඇඟේ තිබෙන රතු ලේ කිරි බවට පත්වෙනවා. එදා
සිට අම්මට නින්දක් නෑ. සුවසේ වාසය කිරීමක් නැහැ . දරුවා ටික ටික ලොකු මහත් කර
ගන්නවා. දරුවා කුඩා අවධියේ බත් කටක් කවාගන්න අම්මා අප්‍රමාණ දුකක් පීඩාවක් විඳීනවා
. එසේ දුක සේ දරුවා උස් මහත් කර උගන්වා නිවැරැදි මාර්ගය පෙන්වා දී යහමඟට ගන්න ලොකු
දුකක් විඳීනවා.
සමාජයට යන බොහෝ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා අමතක කර දමනවා.
එසේ වන්නේ ඒ මව්පියන්ගේ දරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එකම දහම්
පදයක්වත් අසන්නට ලැබී නැති නිසා වෙන්න ඇති. භාග්‍යවතුන් වහන්සේ වදාළා දරු සෙනෙහස
කියන්නේ මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළු ඇතුළට කිඳා බැසගත් දෙයක් කියලා. එහෙම හදා වඩා
ගන්නා දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා මහලු වෙද්දී එපා වෙනවා.
අපි පුංචි කාලේ අම්මා අපව තනි කළේ නෑ. කොහේ ගියත් අපේ අත අතහැරියේ නැහැ. ඇය නොකා
දරුවන්ට කන්න දුන්නා. අම්මාගේ නින්ද දරුවන්ට දන් දුන්නා. එසේ දුක සේ හදාවඩාගෙන උස්
මහත් කළාට පස්සේ ඇතැම් දරුවන්ට තමන්ගේ අම්මා අවලස්සන යි. පිටුපස කාමරයකට දමා
හංගනවා. දින ගණන් කෑමක්වත් දෙන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ඇයි? එකම හේතුව මව්පියන් හා
දරුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නාකම. පිළිනොපැදීම. බුදුරජාණන් වහන්සේගේ
ධර්මය ඇසුවා නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ. ධර්මය අසා නැති නිසා දැන් සැඳෑ සමය ගෙවන
අම්මලාටත්, ඒ අම්මලා ගේ දරුවන්ටත් සිදුවන්නේ දුක සේ කල් ගත කිරීමටයි.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළා මේ සුන්දර දහම තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට උත්සාහ
කරන්න. එවිට දරුවෝ සැලකුවත් උද්දාමයට පත් නොවී, දරුවන් සැලකුවේ නැතත් එයින්
පසුනොතැවී ඉන්න පුලුවන්කම ලැබෙනවා. ඔබට සැනසිල්ලේ ජීවත්වීමට අවශ්‍ය නම් තරුණ කාලයේ
හෝ මැදි වයසේ හෝ කල්‍යාණ වූ ධර්මයට ළං වෙන්න ඕනෑ. කල්‍යාණ මිත්‍රත්වය ලබා ගන්න.
පුළුවන් කාලයේ සැදැහැ සිතින් දන්පැන් පූජා කරමින් සමගිව සියලු දෙනා සමඟ කටයුතු
කරන්න. දවසකට එක බණ පදයක්වත් අහන්න පුරුදු වෙන්න. එක ගුණ ධර්මයක් හෝ නිතර නිතර
පුරුදු කරන්න.
පටාචාරා, කිසාගෝතමී සැනසුණේ මේ ධර්මය නිස යි. බන්ධුල මල්ලිකා තමන්ගේ දරුවන් සමඟ
ස්වාමියා නැති වූ පුවත දැනගෙන දුක ඉවසා සිටියේ මේ ධර්මය නිස යි. එතරම් දුකක් අද
බොහෝ අය විඳලා නැහැ.
අපට දැන් තිබෙන්නේ පුංචිම පුංචි කාලයක්. මේ ලෝකයෙන් සමු ගන්න කාලය ළං වෙලා.
ජීවත්වෙලා සිටින කාලයේ පසුතැවි තැවී ඉන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයට ළං
වෙන්න. භාග්‍යවතුන් වහන්සේ සිහි කරමින් සිතට ශක්තිය ගන්න. එසේ ශක්තිය ගත්තොත්
පසුතැවීමෙන් තැවි තැවී සිටින මවිවරුන්ට හැකි වෙයි සැඳෑ සමය නිදහසේ ගෙවන්න.
ඒ නිසා අපට යම් දුකක් ආ විට ඒ දුක නැතිවෙන තුරුම අපට කරන්න තිබෙන්නේ ධර්මය ඇසීම
යි. සෑ රදුන් වහන්සේ බෝධින් වහන්සේ වන්දනා කර පින් රැස්කර ගැනීම යි. එතකොට අප කාටත්
පුළුවන් සුගති ලෝකයේ සිත පිහිටුවා ගන්න.
නයනා නිල්මිණී |