[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විස්මිත මායාකරුගේ අද්භූත හැසිරීම

විස්මිත මායාකරුගේ අද්භූත හැසිරීම

ලෝකයේ පුදුමාකාර මිනිසුන් ජීවත් වෙනවා. ඔවුන් අතරින් කෙනෙක් හරි පුදුම දේ කරනවා. බොහෝ අය ඔවුන්ගේ විස්මිත ක්‍රියාකාරකම් දැකලා සතුටට පත්වෙනවා.

මැජික්කරුවන් එහෙමත් නැත්නම් මායාකරුවන් කියන්නේ අරුම පුදුම වැඩ කරන පුද්ගලයන් පිරිසක්. මේ අයගේ විස්මයජනක, බිහිසුණු වැඩ දකින අනිත් අය ඔවුන් කෙරෙහි ඇදී යනවා.

ඇත්තටම මේ මායාකරුවන් ගේ හැකියාවන් හරිම පුදුම සහගත යි. ජලයේ පවා ඇවිදිනවා. කුරුල්ලන් වගේ අහසේ යනවා. ඒ අතර තවත් අය සිටි තැනින් නො පෙනී යන්නේ ලෝකයා උන්මාදයට පත් කරමින්. හැබැයි ඒ හැම දෙයක් ම ඉතා සියුම් මායාවන්. ඒවාට කියන්නෙ ඇස්බැන්දුම් කියලා. ඒ වුණාට බලන ඕනෑම කෙනකුට පෙනෙන්නේ සියල්ල සැබෑවට ම වන සත්‍ය දේ කියල යි. ඒ තරමට මිනිසුන් මුළාවට පත් කරවන්නට මේ මායාකරුවන් අතිශයින්ම දක්ෂ යි.

ඔබ දන්නවා ද ? මේ හැම මායාකරුවෙක් වගේම ඔබ ද, අන් සියල්ලෝ ද තවත් එක අති දක්ෂ බිහිසුණු වංචා සහගත කපටි මායාකරුවකු යටතේ ඉන්නේ කියලා. ඔහු තරම් ප්‍රවීනයෙක් සොයා ගන්නට නැහැ. ඒ තරමට ඔහු දක්ෂ යි.

හැම කෙනෙක් ම ඔහුගේ මායාවට හසුවෙලා ඉන්නේ. ඔහුට පුළුවන් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබ කැමති ඕනෑම තැනකට ගෙන යන්න. සමහර විට ඔබ නොදන්නවා ඇති ඔබව දෙවියන් අතරට, බ්‍රහ්ම ලෝකයට, මේ මිනිස් ලෝකයට ඔබ ගෙනාවේත් ඒ මායාකරුම යි. ඒ වගේම කාලයෙන් කාලයට ප්‍රේත ලෝකයට, නිරයට, අසුර ලෝකයට වගේම අප තිරිසන් ලෝකයට රැගෙන යනු ලැබුවේ මේ විස්මිත මායාකරු විසින්. ඔහුගේ මඟ පෙන්වීම හරිම විස්මයජනක යි. ඒ මායාවන්ට හසු නොවී ඉන්නට සමතෙක් තවත් කල්ප ගණනකට ලොව පහළ වන්නේ නැහැ.

කිසිම දිනක ප්‍රිය මනාප නොවන, අප්‍රිය අමනාප දේ එක් ක්ෂණයකින් සුන්දර කර පෙන්වන්නට ඔහුට හැකියි. ඒ අති දක්ෂ මායාවන්ට සියල්ලන්ම වසඟ වී, හසු වී, මුළා වී සිටින බව කවුරුත් නොදනී .ඒ තරමට ඒ මායාව ඉතාම සියුම්. සූක්ෂම යි. කපටි යි. වංචාසහගත යි. ඒ වගේ ම අති බිහිසුණු යි. සැබැවින්ම මේ මායාකරු කවුද? කොහෙද සිටින්නේ? බොහෝ දුර නොවේ, ඔබ ළඟම යි සිටින්නේ.

ඒ සසර පුරා ඔබ ළඟම රැඳී සිටියත්, ඔබ හඳුනා නොගත් ඔබේ සිත යි. මේ තාක් දුක්ඛිත සංසාර ගමනක් ඔබ රැගෙන ආවේ සිත යි .ඒ සිත බොහෝ කල්ප අසංඛ්‍ය ගණනක් ඔබ ව නිරයේ තැබුවා. කෙළවරක් නැතිව නිරා දුක් වින්දේ මේ මායාකරු නිසා නොවේ ද? සෙම්, සොටු, අසූචි අනුභව කරමින් ප්‍රේත ලෝකවලට ගෙන ගොස් අපට දුක් විඳීන්ට සැලැසුවේ මේ මායාකරු යි.

පිපාසයෙන් අවුරුදු සිය ගණනක් දුක් වින්ඳේ සිත නිස යි. ඉතා කලාතුරකින් සුගතියට රැගෙන ගොස් ඔබ මුළා කළේත් මේ සිත ම නොවේ ද? බොහෝ බුද්ධ ශාසන ප්‍රමාණයක් අපට අහිමි කළේත් මේ මායාකරු නොවේ ද? තාමත් මේ දුක්ඛිත සංසාර සාගරේ අපව ගිල්වා නිහඬව බලා සිටින්නේ මේ සිත නොවේ ද? එපමණක් ද නොවේ.

මේ සිත අනාගතයේ මෙවැනි අති බිහිසුණු සසර ගමනක් තිබෙනවා කියන දෙයත් අපගෙන් සඟවාගෙන සිටිනවා. මේ ලැබී ඇති දුර්ලභ බුදු සසුනත් ඔබට අහිමි කරන්නට මොනතරම් උත්සාහයක් ගන්නවා ද? එය ඔබට පෙනෙන්නේ නැත්තේ මේ සියුම් මායාව නිසයි.

එනිසා තව තවත් මේ දුක්ඛිත කටුක අමිහිරි සසරේ දුක් විඳීන්නට අකැමැති, මේ සසරේ ගිනි ගුලි ගිලින්නට අකැමැති, සෙම් සොටු අනුභව කරන්නට අකැමැති අප සියලු දෙනාම කළයුතු එකම දේ වන්නේ උත්සාහයෙන්, කැපවීමෙන් මේ සුන්දර නිවන් මඟ තුළ හැසිරීම යි. ගුණධර්ම දියුණුකර ගැනීම යි. එසේ නොමැති වුවහොත් ඔබට නැවතත් මේ අද්භූත මායාකරුගේ මායාවන්ට හසු වී මේ සංසාරයේ දුක් විඳීන්නට සිදුවීම කිසිවකුට වළකාලිය නොහැකි ම යි. තීරණය තම තමන් සතුයි.

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]