[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඕමාරේ හේමාලෝක නාහිමිපාණන් වහන්සේ

අපවත් වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක

ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඕමාරේ හේමාලෝක නාහිමිපාණන් වහන්සේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ගරු විධායක සභික උපාධ්‍යාය, සද්ධර්මවාගීශ්වර ශ්‍රී පේමසිරි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කන්දේවත්තේ ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඕමාරේ හේමාලෝකාභිධාන නාහිමිපාණන් වහන්සේ අපවත්වී වදාළ සේක.

දකුණු පළාතේ ගිරුවාපත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕමාර නම් රමණීය ග්‍රාමයෙහි වෙදකොරටුව නම් සම්භාවනීය පවුල තුළ හත්තසිංහ ආරච්චිගේ අමාරිස් පියාණන් හා අබේසිරි සමරසේකර දෝන සිසිලියානා මෑණියන් මව්පියන් කොට 1934 වර්ෂයේ මාර්තු මස 26 වැනි දින පින්වත් කුමරකු මෙලොව එළිය දුටහ.

1949 වර්ෂයේ සැප්තැම්බර් මස 09 වන දින ලාල්පේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී වටරක්ගොඩ පේමසිරි නායක මාහිමිපාණන් වහන්සේගේ හා වරකාපිටියේ පඤ්ඤාණන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ඕමාරේ හේමාලෝක යන උතුම් ශාසනික නාමයෙන් පැවිදි බිමට පත්වීමට තරම් වාසනාවන්ත විය.

කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය සාර්ථකව නිම කරමින් විද්‍යොදය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ වී 1966 දී ශාස්ත්‍රවේදී උපාධිය උසස් ලෙස සමත් වූහ. විසි වයස් සැපිරූ ඕමාරේ හේමාලෝක ස්වාමීන් වහන්සේ බෝධිසත්ව ගුණෝපේත වටරක්ගොඩ පේමසිරි, වරකාපිටියේ පඤ්ඤාණන්ද යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1955 ජුනි මස 06 වැනි දින ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාරයීය රාජ පූජීත මංගල උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

ථෙරවාදී භික්ෂු සම්ප්‍රදාය බැබළ වූ සුපේශල ශික්ෂාකාමී සංඝ සෝභන ගුණාංගයන්ගෙන් හෙබි යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් යුතුව බුදුසසුනේ පැවිදිබිමට පත්ව ව්‍යක්ත විශාරද භාවයෙන් යුතු පැවිදි ගිහි ශිෂ්‍ය දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය වෙනුවෙන් අනූපමේය සේවයක් සිදුකරනු ලබයි.

අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් පිරිපුන් නායක මාහිමිපාණන් වහන්සේ ජාතික ආගමික, ශාසනික වශයෙන් සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා අමිල මෙහෙවරක් ඉටුකළ වියත් පඬිරුවනකි.

තම ගුරුදේවයන් වහන්සේට ගෞරවයක් වශයෙන් ලාල්පේ ශ්‍රී පේමදහම් පාසල නම්කළ උන්වහන්සේගේ ශාසනික සේවාවෙහි තවත් අග්‍රඵලයක් ලෙස හක්මණ, පොල්කිරිපිටිය මාලිගාතැන්න ශ්‍රී පේමසිරි ධර්මායතනය ආරම්භ කරමින් ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළහ. උපාධිය ලබා ගැනීමත් සමඟ අධ්‍යාපනික සේවාවෙහි නියැලුණු නායක මාහිමිපාණන් වහන්සේගේ පත්වීම ගැටමාන්න උතුර මහා විද්‍යාලයට ලැබුණු අතර විශ්‍රාම යන තෙක්ම එහි සේවයේ නිරත වූහ.

පුරා විද්‍යා චක්‍රවර්තී මහාචාර්ය, පරම පූජනීය කඹුරුපිටියේ වනරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ සමඟ ශ්‍රී රෝහණ සංඝ සභාව ආරම්භයේ සිටම සුවිසල් කාර්යභාරයක් සිදුකළ නාහිමිපාණන් වහන්සේ ශ්‍යාමනිකායික උපසම්පදාව දකුණට ගෙන ඒම සඳහා යෝජනා කරමින් එය සඵල කර ගැනීම සඳහා මහත් කැපකිරීමක් කළහ. ආරම්භයේ සිට අපවත් වන තුරු එහි විධායක කාරක සංඝ සභාවේ ප්‍රථම භාණ්ඩාගාරික ධූරය පිරිනමන ලදී. ආරම්භයේ සිට අපවත්වනතුරු එහි විධායක කාරක සංඝ සභික ධූරය ද, ප්‍රථම භාණ්ඩාගාරික ධූරය ද දැරූ උන්වහන්සේ ශ්‍රී රෝහණ සංඝ සභාව වෙනුවෙන් සිදු කළ ශාසනික සේවය ඇගයීමට පාත්‍ර කරමින් සද්ධර්ම වාගීශ්වර කීර්ති ශ්‍රී පේමසිරි ගෞරව නාමය සභිතව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමන ලදී.

ධර්මධර, විනයධර සංඝ නේතෘවරයාණන් වහන්සේ නමක් වශයෙන් පූජනීයත්වයට හා ගෞරව සම්භාවනාවට පාත්‍ර වූ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටම පිරිමැසිය නොහැකි පාඩුවකි.

අතිපූජනීය ඕමාරේ හේමාලෝකාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ම ලැබේවා.

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]