අපරිමිත ලෝ සසුන්
මෙහෙවර උදෙසා බුරුමයෙන් බුහුමන් ලැබූ
අපේ නාහිමිවරු
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස දිවා රෑ කැප වෙමින් මහා මෙහෙවරක යෙදෙන අතිශය
සම්භාවනීය මහා යතිවරයාණන් වහන්සේලාගේ එම මහරු මෙහෙවර අගය කරමින් බුරුම (මියන්මාර්)
රාජ්‍යය මගින් වාර්ෂිකව අභිධජමහාරට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, අග්ගමහා සද්ධම්මජෝතිකධජ,
අග්ගමහා ග්‍රන්ථවාචකපණ්ඩිත, අග්ගමහා කම්මට්ඨානාචාර්ය, මහාසද්ධම්මජෝතිකධජ වැනි
ශාසනික ගෞරව උපාධි නාමයන් පුද කරමින් බුහුමන් කරනු ලබයි.
සම්භාවනීය යතිවරයන් වහන්සේලාට සේ ම ශාසනාභිවෘද්ධියට කැප වූ ගිහි සාධු ජනයන් වෙත
පිරිනැමෙන උපාධි සමූහයක් ද වෙති.
කල්‍යාණි සීමාව |
වාර්ෂිකව ජනවාරි මස හතර වන දිනට යෙදෙන බුරුමයේ නිදහස් දිනය දා ගැසට් පත්‍රයක් මඟින්
අදාළ වර්ෂයේ එම උපාධි ලැබීමට සුදුසුකම් ලද විවිධ රටවලට අයත් සම්භාවනීය යතිවරුන්
වහන්සේලා ප්‍රකාශයට පත් කොට මාර්තු මාසයේ එම හිමිවරුන් බුරුමයට වැඩමවා උපාධි
ප්‍රදානෝත්සවය රාජ්‍ය මහෝත්සවයක් වශයෙන් පවත්වනු ලබයි.
මෙවර ජනවාරි හතරවැනි දින බුරුම රාජ්‍යය මගින් ප්‍රකාශයට පත් කළ සම්මානලාභී
නාහිමිවරුන් අතර ශ්‍රී ලාංකික නාහිමිපාණන් වහන්සේ තෙනමක් වූහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දොඩම්පහල චන්දසිරි මහා නාහිමිපාණන්
වහන්සේ වෙත අභිධජමහාරට්ඨගුරු ගෞරව උපාධියත්, සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ
එකොළොස් මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධුරන්ධර මැටරඹ
හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත උපාධියත්, කලණිය විශ්වවිද්‍යාලයේ පාලි
හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති නාහිමියන් වෙත අග්ගමහාග්‍රන්ථවාචක උපාධියත්
පිරිනැමීමට තීරණය කොට සම්මානලාභී නාහිමිපාණන් වහන්සේ රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්
වශයෙන් බුරුමයට වැඩම කරවා එරට ගරු සිරිත් ප්‍රකාරව සම්මාන උපාධි පිරිනැමීමට
මියන්මාර් රජය කටයුතු සම්පාදනය කොට තිබුණි.
එක් එක් රටවල භාවිත කරනු ලබන ඡ්‍යොතිෂ්‍යය සම්ප්‍රදායයන් අනුව පසළොස්වක පොහොය දිනය
රටින් රටට සුළු වශයෙන් වෙනස් වීම් සිදු විය හැකි ය.
ශ්‍රී ලංකාවේ මැදින් පුර පසළොස්වක පොහොය මාර්තු මස 17 වන දිනට යෙදුන ද බුරුමයේ
මැදින් පොහොය සමරන ලද්දේ මාර්තු 16 වන දිනයේ ය.
මාර්තු මස 16 වන දිනට යෙදුනු මැදින් පුර පසළොස්වක පොහොය දා නේපිඩෝ නුවර
උප්පාඨශාන්ති දාගැබ් පරිශ්‍රයේ සාසන මහා විලාස මහා ශාලාවේ දී මියන්මාර්
අග්‍රාමාත්‍ය ජෙනරාල් මින් ඔන් හ්ලෙයින් (Min Aung
Hlaing) මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් පැවති මහෝත්සවයක දී උපාධි පිරිනමන ලදි.
ගෞරව උපාධිලාභී ශ්‍රී ලාංකික නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ සහ
ආර්යාවගේ විශේෂ ප්‍රසාද පූජා පිරිනැමීමක් ද සිදු විය. එරට සංඝරාජ හිමියන් වශයෙන්
පිදුම් ලබන රාජ්‍ය සංඝ උපදේශක මණ්ඩලයේ සභාපති කුමාරාභිවංස මහා නායක මාහිමිපාණන්
වහන්සේ සහ ශ්වේජින් නිකායේ මහා නායක සිතගු ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ සමඟ
සුහද සාකච්ඡා සිදු කරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත්
උපාධි ආයතනය සහ මියන්මාරයේ සිතගූ ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය අතර අධ්‍යාපනික
සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීම ද මීට සමගාමීව සිදු විය.
ස්වේදගොන් මහා සෑය, ඡට්ඨ සංගායනාව පැවති පාෂාණ සීමා ගුහාව, කෝට්ටේ යුගයේ මෙරටින්
උපසම්පදා රැගෙන ගොස් බුරුමයේ පිහිට වූ කල්‍යාණි සීමාව සහ තදනුබද්ධ කල්‍යාණි
ශිලාලිපි, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මූලාරම්භක ස්ථානය වන අමරපුර නගරයේ සුවණ්ණගුහා
සීමාව හා බගාන් නුවර නටබුන් නැරඹීමට ශ්‍රී ලාංකික දූත පිරිස එක් වූ අතර සිතගූ
ඤාණිස්සර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි චෝ මො නායි මහතා කැපකරු දායකත්වය උසුලන
ලදි.
ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ පිහිටි මියන්මාර් තානාපති කාර්යාලයන්හි තානාපතිතුමන්ලා
ප්‍රමුඛ සියලු කාර්ය මණ්ඩලය ද, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයන්හි කාර්ය මණ්ඩල දැක් වූ දායකත්වය අගය
කිරීම ද යුතුකමකි.
දිමුතු පුන්සර කොළඹගේ |