[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හදවතින්ම පිදුම් ලබන මසැසින් දකින දෙවියෝ

හදවතින්ම පිදුම් ලබන මසැසින් දකින දෙවියෝ

‘දේවතා’ යන වචනය සූත්‍ර විනය පිටකවල අන්තර්ගත වචනයකි. බුදු දහමට අනුව ඔවුහු වනාහී භාෂාව ව්‍යවහාර කරන උසස් සත්ව වර්ගයකි.

දේවතා සංයුක්තයේ ඇති හා වෙනත් අවස්ථාවල පැණෙන දේවතාවෝ ගැඹුරු ඤාණයක් ඇති, දැනුම වර්ධනය කිරීමේ කැමැත්ත ඇති, විමර්ශන ඤාණයෙන් යුත්, ප්‍රසන්න, සංස්කෘති ගරුක පිරිසකි.

විසුද්ධි මාර්ගය රචනා කිරීමට අටුවාචාර්ය බුද්ධඝෝස හිමියන් තෝරා ගත්තේ ’අන්තෝජටා බහිජටා’ යන දෙවියකු විසින් බුදුරජාණන් වහන්සේගෙන් විචාළ , සර්වත්‍රික හා සර්වකාලීන අගයක් ඇති මනුෂ්‍ය ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ස්වභාවයකි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් ව පසුව විවිධ අදහස්වලින් ද පෝෂිතව සකස් වූවකි. සකස්වන්නකි.

අපේ සංස්කෘතියේ ‘පුබ්බදේව’ යනු මව්පියෝ ය. පුබ්බදේවාති භික්ඛවේ මාතාපිතුන්නං ඒතං අධිවචනං යැයි මව්පියන්ට යෙදෙන විශේෂ වචනයක් ලෙස පුබ්බදේව යන්න බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

සංයුක්ත නිකාය සංවාස සූත්‍රයට අනුව ස්වාමි පුරුෂයා හා භාර්යාව දේවතාවකු හා දේවතාවියකි. ’දේවො දේවාය සද්ධිං සංවසති‘.

සංස්කෘතිකවත් නිවසේ වාසය කරනුයේ ස්වාමි දේවතාවා හා ස්වාමි දේවතාවියයි. අද පවා සමාජයට තේරුම් ගත නොහැකි දේවතාවිය වන භාර්යාව දිසා නමස්කාරයේ දී වැඳුම් ලබන දිසාවක් නියෝජනය කරයි.

ස්වාමි පුරුෂයාගේ උපස්ථානය ලබන මෙම දේවතාවියගේ අනුකම්පාව ස්වාමියාට හිමි විය යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ දේශිතයි. සමාජ සමීක්ෂණ නිවැරැදිව කරන්නේ නම් මේ සත්‍යය වටහා ගත හැකි ය.

සම්මාන නොලබන, අවමන් ලබන, තම ස්වාමියාගෙන් තෘප්තිමත් නොවන. ගෙදර වැඩ නොකරන ස්ත්‍රියක්, මත්වතුර නොබොන සැමියා බේබද්දකු කරන්නී ය. කෝට්පති සැමියා හිඟන්නකු කරන්නී ය.

ගුරුදේව යනු අපගේ ගුරු දේවතාවායි. වර්තමානයේ ද භික්ෂු සමාජයේ ස්වකීය ආචාර්යවරයාණ නම් කරනුයේ ගුරුදේව යන පාලි වචනයෙනි.

සදිසාවේ වැඳුම් ලබන දිසාවක් නියෝජනය වන දකුණු දිසාව උපට්ඨාන හා අනුකම්පක සාරධර්ම ඉටුවන්නේ නම ගුරුවරුන් මේතරම් අනභිමුඛයේ දොස් නොලබන්නෝ නොවෙති.

අප සතුව උසස් සංස්කෘතියක් ඇති බැවින් සිසු දරුවෝ අභිමුඛයේ නිහඬව සිටිති. එහෙත් අනභිමුඛයේ එසේ නොවෙති. නියම ගුරුවරයා දඬුවම් කළත්. දුටු වරද දැක මෙත් සිත පෙරටුව බැන්නත් ශිෂ්‍යයෝ තම ගුරුවරයාට එරෙහි නොවෙති.

ගිනි දෙවියා අප සංස්කෘතියේ දේවතාවෙකි. ඒ නමින් වන දෙවියෙක් ද දේවතාවියක් ද වෙති. ධනංජය සිටුතුමා විශාඛා දියණියට දුන් අවවාදවල ගිනි දෙවියන් පිදීම ගැන සඳහන් ය. මේ ස්වාමි පුරුෂයාගේ අම්මා හා තාත්තායි.

නැන්දා ලේලි සටන ආරම්භ වන්නේ ගිනි දෙවියන් පිදීම නොවීම ද ප්‍රධාන එක් හේතුවක් වෙමිනි. ගින්න හොඳට නරකට දෙකටම එක ලෙස බලපායි. නැන්දම්මා ද එසේ ය. මෙය ඉපැරැණි සූර්ය වන්දනාව නොවේ. අද සූර්ය වන්දනාවක් නැත.

ශ්‍රී ලංකා සමාජයට පමණක් සුවිශේෂ වූ දේවතාවා කුල දේවතාවුන් වහන්සේ යි. සිඟාලෝවාද සූත්‍රයේ උඩ දිසාව ලෙස ශ්‍රමණ බ්‍රාහ්මණයන් නිර්දිෂ්ඨයි. එහෙත් සූත්‍ර විනය පිටකවල කුලදේව යන වචනය නොයෙදේ. සිඟාලෝවාද සූත්‍රයේ කියැවෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වඩා උසස්, සමාජ මමත්වයෙන් යුත් සදාචාරයක් හා ආදර්ශයක් ද කුල දේවතාවා තුළ පවතී.

අප සංස්කෘතියේ මුල්ම වතාවට කුලදේවතා යන්න සඳහන් වන්නේ මහාවංසයේ 22 පරිච්ඡේදයේ 79-80 ගාථාවලයි.

කාවන්තිස්ස රජු භික්ෂූන් වළඳා අවසන් කළ ඉඳුල් බත් තැටියක් ගෙන්වා දරුවනි, අප කුලදේවතා භික්ෂූන්ට කලකිරුණෝ නොවන්නෙමු’යි සිතා අනුභව කරව ‘(කුල දේවතානං සඛීනං භික්ඛූනං).

මහාවංසයේ 24 පරිච්ඡේදයේ ගැමුණු-තිස්ස ද්වන්ද සටනින් පැරැදී විහාරස්ථානයට මර බියෙන් පැමිණෙන තිස්ස කුමරු ඇඳ යට සඟවන මහ තෙරුන් වහන්සේ ‘තිස්සයා ඇඳෙහි නැතැ‘යි වදාළ අවස්ථාවේ පන්සල වටලා සිටි ගැමුණු කුමරු මළ භික්ෂුවක සේ නවක භික්ෂූන් කර මතින් යන තිස්ස දැක ’ තිස්ස තෝ කුල දේවතාවුන් ඉස හිඳ ගෙන යනු නොලබ, කුල දෙවියන් අතින් මාගේ පැහැර ගැනීමක් නැත්තේ’යැයි පැවසූ බව සඳහන් ය.

තමන් වහන්සේ අතින් සිදු වූ ප්‍රමාදය වටහා ගෙන හෙවත් දඬුවම් ලබන්නෙමි යන අදහසින් යුද බිමට යන රජුට පෙරටුව ගමන් කිරීමට භික්ෂූන් 500 තිස්සමහාරාමයේ භික්ෂූන් විසින් ලබා දුන් බව මහාවංසයේ 25 පරිච්ඡේදයේ 2-3 ගාථාවල සඳහන් වේ.

සිංහල ථූපවංසයේ කුල දේවතා යන්නට සමහර තැන කුලයේ සංඝයා යැයි ද සඳහන් වෙයි. ‘අපගේ කුලයේ සංඝයා වහන්සේට විමතියක් නොකරම්හයි කියා මේ තුන් කොටසින් එක කොටසක් කවයැ‘යි කිවූ ය. එම්බල තිස්සය, තා සේ වූ ගැත්තෝ කුලදේවතා වූ ස්වාමි දරුවන් කරින් යෙද්ද (ථූපවංස පිටු 79-82)යනුවෙන් කුලදේවතා වචනය ද යෙදේ.

ඉහත ප්‍රකාශවලින් කියැවෙන කුලදේවතාවන් ගැන ලංකාවේ හැර වෙනත් බෞද්ධ රටවල ද නොකියවේ. ලංකාවේ භික්ෂූන්ට ලංකාව ගැන හා එහි වැසියන් ගැන ඇති කැක්කුමත්, ලාංකිකයන්ට ලාංකික භික්ෂූන් ගැන ඇති කැක්කුමත් මෙයින් පෙනේ.

කුලය යනු දෙවියන් දේවතාවියන් වසන නිවසයි. එහි කුලපති ස්වාමි දේවතාවායි. ලාංකික භික්ෂූව දරුවා, පුතා යන වචන හැර නැන්දේ මාමේ කියමින් ගිහි ඤාතීනට අමතන්නේ ද නැත.

භික්ෂූවගේ කුලය හෙවත් නිවස සමස්ත මානව වර්ගයායි. ලොව වෙනත් සත්තු හා පරිසරය භික්ෂුව විසින් ම රැකිය යුතු ආරඤ්ඤයයි.

ඉහත දක්වන ලද සියලු දේවතාවන් සහ දේවතාවියන් භාෂාව ව්‍යවහාර කරන මනුෂ්‍යයෝයි.

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]