[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමි සතුටක සුවය ගෙන දෙන භාග්‍යවත් මාසයේ සූර්ය මංගල්‍යය

දැහැමි සතුටක සුවය ගෙන දෙන භාග්‍යවත් මාසයේ සූර්ය මංගල්‍යය

මේ බක් මාසය යි. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් සමාජ වටපිටාවක් දැකිය හැකි බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත කාලයකි. තුරුලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහ උදාවත් සමඟම ආරම්භ වුණි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිම කළ ගොවීහු ද බක් මහ වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ ඉමහත් සැනසිල්ලෙන් ජීවත් වෙති.

වෙනසකට මුල පිරීමක්

බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තව යි. අලුත් අවුරුද්ද සූර්යයා මුල්කරගෙන පවත්වන උළෙලක් වන හෙයින් මෙකල එයට “සූර්ය මංගල්‍යය” යන නම ද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අප ගේ පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙනුයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව යි. සූර්යයා මුල් කරගෙන පවත්වන එකම උළෙල මෙම බක් මහ උළෙලයි. අනෙකුත් උත්සවවලට වඩා මෙහි ඇති තවත් විශේෂ වෙනසක් නම් සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත්, මුලු සමාජය ම යම් වෙනසකට මුල පුරන උත්සවයක් වීමයි.

චාරිත්‍ර රැසක්

ලක්දිව සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙහි ඉතිහාසය පණ්ඩුකාභය රාජ්‍ය සමය තෙක් අතීතයට දිව යයි. සතියක් පුරාම පැවැත්වෙන චාරිත්‍රානුකූල අවස්ථා සමූහයකින් සමන්විත අවුරුදු උළෙල හා සමගාමීව ක්‍රියාත්මක කෙරෙනුයේ පහත දැක්වෙන සංස්කෘතික අංග ය.

නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය. ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම

බෞද්ධ සංස්කෘතිය උරුමව පවත්නා අප රටට බෙහෙවින් ම ගැලපෙන චාරිත්‍ර මුසු වූ උත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකි ය. ඉහත දැක් වූ අවස්ථාවන් හි දී ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික වටිනාකම් සහිත ක්‍රියාකාරකම් දෙස විමසිලිමත් ව බැලීම තුළින් එය මනාව පැහැදිලි වෙයි.

අවුරුදු නැකැත්

නව අවුරුදු උදාවට පෙර දිනය පරණ අවුරුද්ද ලෙස හඳුන්වයි. ඒ අපේ‍්‍රල් 13 වැනිදා ය. මෙවර පැරණි අවුරුද්දට කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම, නිර්දේශිතව පවතියි. මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ අපේ‍්‍රල් 14 පෙරවරු 08.41 ටයි. සිංහල අවුරුද්දේ කිසියම් නැකතක් නොමැති වේලාව “නොනගතය” ලෙස හැඳින්වේ. එය සියලු වැඩ කටයුතු අත්හැරීමේ චාරිත්‍රයයි. විහාරස්ථානවලට ගොස් ආගමික කටයුතුවල නිරතවීම පමණක් මෙහිදි සිදු කෙරෙන අතර එම නිසාම මෙය “පුණ්‍ය කාලය” ලෙස ද හැඳින්වේ. මෙය එතරම් සුභ වේලාවක් නොවන නිසා මෙසේ පුණ්‍ය කටයුතුවල යෙදීම සුදුසු වන බව ඡ්‍යොතිෂයේ ඉගැන්වේ.

මෙවර අපේ‍්‍රල් 14 පෙ.ව. 02.17 සිට එදින ප.ව. 03.05 දක්වා මෙම පුණ්‍ය කාලය යෙදී තිබේ. එබැවින් අපේ‍්‍රල් 14 පෙ.ව. 02.17 ට පෙර ආහාරපානාදිය ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් 14 පෙ.ව.08.41 සිට ප.ව. 03.05 දක්වා නියමිත ඒ ඒ නැකැත් හෝරාවන් තුළ පහත සඳහන් චාරිත්‍ර සිදු කළ යුතු බව ද ඡ්‍යොතිෂ විද්‍යාව තුළ උගන්වා ඇත.

කිරි ඉතිරවීම

ලිප ගිනි මෙලවීමෙන් අලුත් අවුරුද්ද උදා වෙයි. අපේ‍්‍රල් 14 පෙ.ව. 09.05ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැඟෙනහිර දිසාව බලා ලිප් බැඳ ගිනි මෙලවීම සිදු කළ යුතු ය. නියමිත නැකැත් හෝරාවට කලින් ලිප තුළ ගිනි අඟුරු තබා ගැනීම සිදු නොකළ යුතු ය. මෙසේ දැල්වූ ලිපෙන් කිරි ඉතිරවීම ද මෙහිදී සිදු කෙර්. මීට භාවිත කරනුයේ නැවුම් මුට්ටියකි. කිරි ඉතිරවීමෙන් පසු ආහාර පිසීම කිරි උතුරා යාම සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් වන හෙයින් මෙම චාරිත්‍රය වාසනාව ගෙට කැඳවා ගෙන ඒමක් ලෙස විශ්වාස කරයි. කිරි ඉතිරවීමෙන් පසු ආහාර පිසිම සිදු කෙරේ.

ආහාර අනුභවය

අපේ‍්‍රල් 14 පෙ.ව. 10.17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැඟෙනහිර දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මෙවර සිදු කළ යුතු වේ. ආහාරය සත්ත්වයාගේ ප්‍රධානතම අවශ්‍යතාවකි. එය ජීවය ගෙන දෙන ප්‍රධාන සාධකයකි. එබැවින් නව වසරේ චාරිත්‍ර අතර මෙම ආහාර අනුභවයට ද ප්‍රමුඛත්වයක් ලැබෙයි. බිම පැදුරු එළා ඒ මත වාඩි වී ආහාර අනුභව කිරීම පුරාණ චාරිත්‍රයයි.

එහෙත් දැන් ඒ වෙනුවට “අවුරුදු කෑම මේසය” යොදා ගැනෙයි. එහි කිරිබත සේ ම විශේෂයෙන් කැවුම්, කොකිස්, අතිරස. කෙසෙල් ගෙඩි යනාදිය තබා තිබේ. මෙම කෑම මේසය ඉඳුල් කිරීම සඳහා ගමේ සත් ගුණවත් ප්‍රභූවරයකුට ආරාධනා කෙරෙයි. ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේ දීි ද බොහෝ විට සිදුවන්නේ ආහාර අනුභවය සඳහා ආරාධනා ලැබූ ප්‍රභූවරයා අතින්ම මූලික ගනුදෙනුව සිදුවීමයි. පසුව ගනුදෙනු හුවමාරු කර ගන්නේ පවුලේ සාමාජිකයින් අතර ය. වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේ දී කිරි ගහකට කෙටීම සිරිතක් වන අතර පුරාණ චාරිත්‍රයට අනුව උදැල්ලක් ගෙන හේනේ, ගෙවත්තේ හෝ කුඹුරේ වැඩ ඇල්ලීම සිදු කරයි.

හිසතෙල් ගෑම

අවුරුදු චාරිත්‍ර අතර හිස තෙල් ගෑමට ද ප්‍රමුඛස්ථානය හිමි වෙයි. මනා ශරීර සෞඛ්‍යයකින් ජීවත්වීමට හා මිනිස් ජීවිතයට හිස ප්‍රධාන වන හෙයින් ඊට යෝග්‍ය සෞඛ්‍ය සත්කාර සිදුකිරීම මෙහි අරමුණයි. එබැවින් මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය පුරාතනයේ පටන් සුභ නැකතින් ඉතා භක්තිමත් ව සිදු කළ කාර්යයකි. මේ සඳහා හිසට උඩින් එල්ලීමටත්, පයට පෑගෙන සේ තැබීමටත් විවිධ ඖෂධීය ගුණයෙන් යුත් කොළ වර්ග ඒ ඒ වසර අනුව වෙනස්වෙමින් යොදා ගැනෙයි. මෙම වසරේ එය සිදු කළ යුත්තේ අපේ‍්‍රල් 17 වැනිදා පෙ.ව. 07.04 ට ය. මෙවර ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු භාවිත කරන ලෙස සම්මත කොට තිබේ. එසේම හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද, තබා රතු හා කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා මෙවර හිස තෙල් ගෑම සිදුකළ යුතු ය. මෙම චාරිත්‍රය බොහෝවිට ගමේ විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන්නකි. මෙකල හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය රටේ ජනාධිපතිවරයා ගේ ද සහභාගිත්වයෙන් තෝරාගත් මෙම චාරිත්‍රයෙහි ඇති වටිනාකමයි.

රැකීරක්ෂා සඳහා නික්මයාම

සියලු අලුත් අවුරුදු චාරිත්‍ර නිමවා පෙර සේ යළිත් සිය සුපුරුදු රැකීරකෂා කටයුතු සඳහා නික්ම යනුයේ ද සුභ නැකැත් හෝරාවක් තුළ ය. ගෙවී ගිය වසරේ දී මෙන්ම ඉදිරි වසෙර්දී ද රැකියාව හා සම්බන්ධ සියලු කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම මෙහි අදහසයි. මෙහිදී පළමුව තෙරුවන් වන්දනා කොට දෙවියන්ට පින්දී නියමිත වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳ රැකියාවට නික්ම යාම සිරිතයි. මෙම වසරේ රැකීරක්ෂා සඳහා පිටත්ව යා යුත්තේ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී අපේ‍්‍රල් 18 වැනිදා පෙ.ව. 06.51 ට දකුණු දිසාව බලාගෙනයි.

සමාජ සබඳතා ඔප්නැංවීමක්

අද බොහෝ දෙනකු ගත කරනුයේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි. එයින් මොහොතකට මිදී පවුලේ සාමාජික පිරිස හා අවට ඥාති හිතවතුන් සමඟ නිදහස් සොම්නසින් කාලය ගත කිරීමට මෙම අවුරුදු චාරිත්‍ර බෙහෙවින් ම මහෝපකාරි වනු ඇත. මෙහිදී සිදු කෙරන තවත් වැදගත් කාර්යයක් නම් අසල්වාසීන් සමඟ යම් සුළු සුළු කරුණු මුල්කරගෙන පවත්නා අසමගි අමනාපකම් දුරුකර ගැනීමයි. ඒ සඳහා බුලත් අතක් දී ආචාර කිරීමෙන් සුහදතාව පළ කිරීම සිදු කෙරේ.

එබැවින් පලුදු වී යන සමාජ සබඳතා ඔප්නංවා ගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට ද මෙම අවුරුදු සමයේ අවස්ථාව උදාවෙයි.

අද වන විට මෙම අවුරුදු උත්සවයට ද බටහිර අංග එකතු වී එය කෙලෙසී ඇති බවක් පෙනෙන්නට තිබේ. සුරාව, සූදුව වැනි දුරාචාර බහුල ලෙස අවුරුදු උත්සවය හා යොදාගෙන ඇති හෙයින් ඉහත විස්තර වූ අවුරුදු චාරිත්‍ර සමාජයේ සීමිත කොටසක් කෙරෙන් ඈත්වෙමින් පවතියි. රබන් ගැසීම, ඔලිඳ කෙළිය හා අනෙකුත් අවුරුදු ජන ක්‍රීඩා වෙනුවට මුදල් පදනම් කරගත් සූදු ගණයට වැටෙන ක්‍රියාවන්හි නිරතවීමත්, සුරාවත් නිසා එකිනෙකා කලකෝලාහල කර ගැනීම් කොතෙකුත් වාර්තා වෙයි.

රටට ආශිර්වාදයක්

සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මකව විමසා බැලූ කල ද ඉතා වටිනා චාරිත්‍ර ලෙස අවුරුද්ද වෙනුවෙන් නැකතට එකාවන්ව එක්සිත්ව සිදුකරන කණ්ඩායම් ක්‍රියාකාරකම් පෙන්වා දිය හැකි ය.

මුළු රටම එසේ එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය රටට ද මහත් ආශිර්වාදයක් වනු ඇත. එසේ කරනු වෙනුවට ඇතැම්හු මෙම සත් චාරිත්‍ර අවතක්සේරුවෙන් බැහැර කරති. හරවත් සංස්කෘතික අංග කෙරෙහි අනවබෝධයෙන් පසුවන එවැනි විපරීත අදහස් ඇත්තවුන් ගේ ක්‍රියා පිළිවෙත අපට රටක්, ජාතියක් වශයෙන් ඉදිරියට යාමට බාධාවක් වෙයි. මෙම අලුත් අවුරුදු උළෙල ආගමික වටපිටාවක් තුළ ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන ධාර්මික විනෝදයෙන් ගත කිරීමට ලොකු කුඩා සැවොම අදිටන් කරගත යුතු ය.

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]