Print this Article


අංගුත්තර නිකාය - 03 කොටස: කුසල් අකුසල් රැස් කරන හැටි

කුසල් අකුසල් රැස් කරන හැටි

(10 වැනි ආධ්‍යාත්මික වර්ගය)

සැවැත්නුවර දී , අකුසලානුයෝග සූත්‍රය

අකුසලයෙහි යෙදුණොත්

මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් කොට ගෙන යම් සේ අකුසලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී ද, එබඳු වූ අන් එක කරුණකුදු මම නොදකිමි. මහණෙනි, අකුසල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත් අනර්ථය පිණිස පවතී.

කුසලානුයෝග සූත්‍රය

මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් කොට ගෙන යමෙක් මෙසේ මහත් අර්ථය පිණිස පවතින කුසලධර්මයන්හි යෙදී ම (කුසලානුයෝග) හා අකුසල ධර්මයන්හි නොයෙදීම බඳු අන් එක් අංගයකුදු මම නොදක්මි. මහණෙනි, කුසල ධර්මයන්හි යෙදීම හා අකුසල ධර්මයන්හි නොයෙදීම මහත් අර්ථය පිණිස පවත්නේ ය.

සද්ධම්මන්තරධාන කෝසජ්ජි සූත්‍රය

ශ්‍රී සද්ධර්මය විනාශවන කරුණු

මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නේ ද, කුසීත බව (සද්ධර්මයෙහි හැසිරීමට ඇති කම්මැලිකම – දවසේ කාලයක් වෙන් නොකර ගැනීම වැනි කාරණා මෙහි කුසීත බව නම් වේ) බඳු අන් එක ධර්මයකුදු මම නොදක්මි, මහණෙනි, සද්ධර්මයාගේ විනාශය පිණිස අන්තර්ධානය පිණිස කුසීත බව (කෝසජ්ජ) හේතු වන්නේ ය.

(මාර්ගයක්, ජනයා එදිනෙදා භාවිතයට නොගන්නේ ද ඒ මග වල්බිහිව විනාශයට යයි.)

සද්ධම්මඨිති සූත්‍රය

වීර්ය වැඩීම

මහණෙනි, යමෙක් මෙසේ ම'විසින් මැනවින් දෙසූ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, වීර්යාරම්භය (ධර්මයෙහි හැසිරීමට උනන්දුවීම, අගය දැන වීර්ය වැඩීම) බඳු අන් එක් ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, වීර්යාරම්භය සද්ධර්මයාගේ (චිර) පැවැත්ම පිණිස – අවිනාශය පිණිස, අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.

118 සිට 123 දක්වා (සූත්‍ර 06කි)

සද්ධම්ම අන්තරධාන සූත්‍ර

මහේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු, අසන්තුට්ඨිතාව බඳු අන් එක ධර්මයකුදු, අයෝනිසෝ මනසිකාරය, බඳු අන් එක ධර්මයකුදු, අසම්පජඤ්ඤය බඳු අන් එක ධර්මයකුදු, පාපමිත්ත සේවනය බඳු අන් එක ධර්මයකුදු, අකුසල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මෙසේ සද්ධර්මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, මම නොදක්මි. මහණෙනි, මේ ධර්මතා සියල්ල සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නේ ය.

125 සිට 132 දක්වා (සූත්‍ර 06 කි)

සද්ධම්මඨිති සූත්‍ර

අල්පේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු, සන්තුට්ඨිතාව බඳු අන් එක ධර්මයකුදු, යෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්මයකුදු, සම්පජඤ්ඤය බඳු අන් එක ධර්මයකුදු, කල්‍යාණමිත්ත ඇසුර බඳු එක ධර්මයකුදු, කුසල ධර්මයන්හි යෙදීම හා අකුසල ධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මෙසේ සද්ධර්මයාගේ ස්තිථිය පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස හේතු කාරණා වන්නේ යයි මම දකිමි.

මහණෙනි මේ ධර්මතා සියල්ල සද්ධර්මයාගේ ස්ථිතිය (ඨිතිය) පිණිස, විනාශ නොවීම (අසමෙමාසාය) පිණිස අතුරුදන් නොවීම් පිණිස (අනන්තරධානය) පවත්නේ ය.

පාදක සටහනකි

මෙම සූත්‍ර දෙතිස සිවුවැදෑරුම් දේශනා අතුරින් අට්ඨුපත්තික දේශනා ලෙස ගැනීම මැනැවි.

ක්ෂණිකව පැන නඟින කරුණක් මුල්කොට ගෙන පුද්ගල චරිත දැන බුදුරජාණන් වහන්සේ කළ දේශනා අට්ඨුප්පත්තික නම් වේ. එකම කරුණ නැවැත නැවැත කීමක් සේ දැකිය හැකිමුත් මේ එක් එක් කරුණ විවිධ තැන්හි විවිධ පුද්ගලයන් අරභයා කළ දේශනා වෙති.

අධම්මික භික්ඛු සූත්‍රය

අධර්මය ධර්මය ලෙස ප්‍රකාශ කළොත්

මහණෙනි, යම් මේ භික්ෂුව අධර්මය ධර්මය වශයෙන් ප්‍රකාශ කරත් ද ( ඒ ඒ ධර්ම කොටස් අඩු වැඩි වශයෙන් කරන ප්‍රකාශ)

ඒ භික්ෂුව හෝ භික්ෂූහු හෝ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, මුළු දෙව් – මිනිස් දෙවර්ගයටම අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙති.

මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද කර ගනිති. ඔවුහුම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්.

උපකාරක පද : මෙහි අධර්මය ධර්මය වශයෙන් ප්‍රකාශ කිරීම යනු,

ධර්මය නම් – තථාගත සම්මා සම්බුද්ධ ලෝකවිදූ ශාස්තෘ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාවරණ ඤාණය සංඛ්‍යාත සිවු විශාරද ප්‍රඥාවෙන් දැන දැක දේශනා කළ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධන් වීරිය, සතර ඉද්ධිපාද, ආර්ය අට මඟ ආදී සත්තිස් බෝධිපක්ෂ ධර්මයෝ ආදි වෙත්. තවද චිත්ත 89 චෛතසික 52,රූප 28, නිවන 01 ආදී වශයෙන් දෙසූ 170වක් වූ ස්කන්ධයෝ පරමාර්ථ ධර්මයෝ වෙත්. අධර්මයෝ නම් 1500 අධික කෙලෙස් එකකුද ක්ෂය නොකළ අන්ධ පෘථග්ජන ස්වභාවයේ සිටිමින්ම සද්ධර්ම ප්‍රතිරූපකයන් සේ (රන් නොවූවත් යකඩයට රන් පිටතින් තවරා රන් සේ පෙන්වන අරහත් ධජය (චීවර) පොරවා ගත්තහු) සතිපට්ඨාන හතරක් විය නොහැක. එය තුනකි ප්‍රධන් විරිය හතරක් නොව පහක් විය යුතු ය. පටිච්ච සමුප්පාද අවබෝධයට ආර්ය අටමග ම අවශ්‍ය නොවේ. පහකින් චතුස්සත්‍යය ආදී ප්‍රකාශ මෙන්ම අවබෝධ කළ හැක. “අනිච්ච” නොව නිවරද පදය” අනිච්ඡා” විය යුතු ය.

අංගීරස බුදුරජාණන් වහන්සේ සිවුවෙනි සතියේ රුවන්ගෙයි සිට ප්‍රත්‍යවේක්ෂා කළ, සත්වෙනි වස මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට හා අගසව් සාරිපුත්ත මහරහත් තෙරුන් වහන්සේ හරහා මිනිසුන්ට දේශනා කළ “අභිධර්මය” බුද්ධ දේශනාවක් නොවේ ආදී මත ජනගත කරන වර්තමාන ක්‍රියාකාරකම් ද අධර්මයෝ ම ය.