Print this Article


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත්ව සිදු කෙරෙන වගය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත්ව සිදු කෙරෙන වගයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 06 දා පස්වරු 1.00ට

ත්‍රිපිටක ධර්මයත් පාලි භාෂාවත් ආරක්ෂා කොට පෝෂණය කිරීම සැමගේ වගකීමයි

දශක හතරකට ආසන්න ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශාස්ත්‍රිය මෙහෙවරෙහි නවමු මං සලකුණක් සනිටුහන් කරමින් පැවැත්වෙන 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය නිමිත්තෙන් මහා මහෝපාධ්‍යායන් වහන්සේ ලෙස සුභාශිංසන පණිවුඩයක් ලබා දෙනුයේ ඉමහත් සංතෝෂයෙනි. බුද්ධ ධර්මය, පාලි භාෂාව හා තදනුබද්ධ විෂය ඥානයෙන් ශික්ෂිත විවිධ කුසලතාවන්ගෙන් පරිපූර්ණ තථාගත ධර්මයෙන් විශද වන ජීවන දර්ශනය ශ්‍රී ලංකාවෙහි මෙන්ම විදේශයන්හි ද ප්‍රවර්ධනය කොට පෝෂණය කිරීමට ප්‍රතිබල සම්පන්න බහුශ්‍රැත ධර්මධරයන් හා ශාස්ත්‍රධරයන් ලොවට දායාද කිරීමේ උදාර චේතනාවෙන් ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිධර බෞද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස විද්වත් සම්භාවනාවට අද වන විට පාත්‍රව ඇත.

නොයෙක් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයන්ගෙන් හා ඉච්ඡාභංගත්වයෙන් පීඩාවට පත්ව සිටින අද්‍යතන සමාජයට එයින් අත්මිදීම උදෙසා ඤාණමය ආලෝකය ලබා දීමේ ඒකායන මාර්ගය ලෙස ලෝකවාසීන්ගේ සුවිශේෂී අවදානයක් බුදුදහම සම්බන්ධයෙන් යොමුවන මෙවන් මොහොතක ශ්‍රී සද්ධර්මය පිළිබඳවත්, පාලි භාෂාව පිළිබඳවත් ගැඹුරු දැනුමකින් හෙබි මනා ධර්ම සන්නිවේදන ශක්‍යතාවකින් පිරිපුන් ගිහි පැවිදි ශාස්ත්‍රධරයන් පිරිසක් සමාජයට තිළිණ කිරීමට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කටයුතු කිරීම ප්‍රශංසාර්භ කටයුත්තකි.

ත්‍රිපිටක ධර්මයත්, පාලි භාෂාවත්, ආරක්ෂා කොට පෝෂණය කරමින් අවිඡින්න ව පවත්වා ගැනීමේ ප්‍රෞඪ ඉතිහාසයකට ලාංකිකයන් ලෙස අපි උරුමකම් කියමු. එකී ප්‍රෞඪ අතීත පරම්පරාවේ වර්තමාන නියෝජනය ලෙස නිර්මල ථේරවාදී බුදුදහමේ ප්‍රවර්තනය, ප්‍රවර්ධනය හා සුරක්ෂණය උදෙසා කටයුතු කිරීම අද දින උපාධිධරයන් ලෙස නික්මෙන ඔබ සෑම දෙනාගේ ම වගකීමක් වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද්‍යතන සංවර්ධනය උදෙසා යුහුසුලුව කටයුතු කරන මහෝපාධ්‍යායන් වහන්සේ ප්‍රමුඛ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු සාමාජිකයන්ටත් අද දින උපාධිධරයන් ලෙස නික්මෙන ඔබ සැමටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ආයත්‍යාභිවෘද්ධිය සිද්ධවේවා යි ආශිංසනය කරම්හ.

****

බුදුරදුන්ගේ දහම් පණිවිඩය ලෝකයාට ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සිදුකරන ලද උත්කෘෂ්ට පර්යේෂණයේ ප්‍රතිඵල වශයෙන් සර්වඥතා ඥානය ලබා ගත්හ. එය ලෝකයාට පැහැදිලි කරමින් දේශනා කළ සනාතන බුද්ධ වචනය “ධර්මචක්‍රය” මෙරට තුළත් ජාත්‍යන්තරයෙහිත් පැහැදිලි කරදීමේ යුග කාර්යභාරය ඉටුකරලීමටත් ඒ සඳහා අවශ්‍ය ධර්මධරයන් හා විද්වතුන් බිහිකරලීමත් අපේක්ෂා කරමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ස්ථාපිත කර ඇත.

පුරා වර්ෂ 40 ක ඉතිහාසයකට උරුමකම් ඇති මෙම විශ්ව විද්‍යාලය අද්‍යතනය වන විට ලොව වටා අනුබද්ධ ආයතන 12 ක් සම්බන්ධ කර ගනිමින් විශ්ව ව්‍යාප්ත ව ධර්මචක්‍ර ප්‍රවර්තනය සිදුකරමින් පවතී. පීඨ තුනකින් සමන්විත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් සිංහල, පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා සමය අධ්‍යයන, පුරාවිද්‍යා ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාමාන්‍යවේදී, විශේෂවේදී පාඨමාලා පවත්වාගෙන යනු ලබන අතර, අභ්‍යන්තර විද්‍යාර්ථීන් සියලු දෙනාට ම නේවාසිකාගාර පහසුකම් ද ලබා දී ඇත. 50000කට අධික ග්‍රන්ථ සංඛ්‍යාවකින් පරිපූර්ණ පුස්තකාලයක් මෙන්ම නූතන පහසුකම් සහිත දේශන ශාලා ද සිසුන්ට ලබා දී තිබේ.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 214හි ස්ථාපිත කර ඇති පශ්චාද් උපාධි හා බාහිර විභාග මධ්‍යස්ථානය මඟින් සිංහල, පාලි, බෞද්ධ අධ්‍යයන ඉංගී‍්‍රසි ආදි විෂයයන් පශ්චාද් උපාධි මට්ටමින් අධ්‍යයනය කිරීමට පහසුකම් සලස්වා ඇති අතර, බුදුදහම හා සම්බන්ධ විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා හඳුන්වා දී තිබේ. මේ වන විටත් බුදුදහම පිළිබඳ දැනුමක් අපේක්ෂාවෙන් විවිධ වෘත්තිකයන් එම පාඨමාලා හැදෑරීමට පෙළඹී තිබේ. ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන්, අන්‍යාගමික පූජකවරුන් ද, නීතිඥවරු, විනිශ්චයකාරවරුන් ද ඇතුළු වෘත්තිකයන් මෙම පාඨමාලා හැදෑරීමට ඉදිරිපත්ව සිටීම බෙහෙවින්ම සතුටුදායක කරුණක් වේ.

ලෝකයේ විවිධ රටවල ශාස්ත්‍රාභිලාෂීන් බුදුදහම පිළිබඳ ව මෙන්ම පාලි භාෂාව හැදෑරීමට කෙතරම් උනන්දුවක් දක්වන්නේ ද යන්න සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවල ස්ථාපිතව ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයන්හි පාඨමාලා සඳහා ලියාපදිංචි වන විද්‍යාර්ථින් මඟින් පැහැදිලි කරගත හැක.

නවක උපාධිධාරීන් ලෙස අභිෂේක ලබන සියලු විද්‍යාර්ථින්ට තම හැකියාවන් අනුව කුමන මාධ්‍යයකින් හෝ බුදුරදුන්ගේ දහම් පණිවිඩය ලෝකයාට ලබාදීමට ශක්තිය, ධෛර්යය හා වාසනාව තුණුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ලැබේවා’ යි ප්‍රාර්ථනා කරමි.

****

ශ්‍රී ලංකාවටත්, සම්බුද්ධ ශාසනයටත් ගෞරවනීය පිළිගැනීමක් අත්කර දෙනු ඇතැයි අපේක්ෂා කරමි

ථෙරවාදී බෞද්ධ චින්තනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධියට කැපව සිටින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පිරිනමන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳ සතුටට පත්වෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයට බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම පැවරී තිබේ. රජය, එකී වගකීමට අනුගතව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අවැසි සියලු යටිතල පහසුකම් සලසමින් ශ්‍රී ලාංකික විද්‍යාර්ථින්ට මෙන්ම විදේශීය විද්‍යාර්ථින්ට ද බුදුදහම ගැඹුරින් හැදැරීමේ අවස්ථා පුළුල් කළේ ය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද වන විට ජාත්‍යන්තරව දිනා සිටින කීර්තිය බෞද්ධ සම්ප්‍රදායත්, චිරස්ථිතියත් තහවුරු කරන්නකි. ලෝකයට අපට දිය හැකි අගනාම දායාදයන් අතර ථෙරවාදී නිර්මල බුදුදහම ප්‍රමුඛව පවතින බව අපගේ පිළිගැනීම ය.

විශ්ව කීර්තිධර පඬිවරුන් අතර වියත්, සිල්වත් භික්ෂූන් වහන්සේට හිමි වන්නේ අද්විතීය පිළිගැනීමකි. මෙම උත්සවයේ දි උපාධිය ලබන භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවටත්, සම්බුද්ධ ශාසනයටත් ගෞරවනීය පිළිගැනීමක් අත්පත් කරදෙන විශිෂ්ට පඬිවරුන් වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනික මෙහෙවර සාක්ෂාත් කරනු පිණිස කැපවන අධ්‍යයන කාර්යය මණ්ඩලයට කෘතඥතාව පළ කරන අතර, මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිය ලබන ගිහි පැවිදි සියලු දෙනාට සුබ පතමි.

****

බාහිර හා අභ්‍යන්තර පාඨමාලා නවීන ලෝකයට අවශ්‍ය ලෙස බෙදා හැරීම යුගයේ කාර්යයයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් එකතු කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වීමි.

1981 අංක 74 දරන පාර්ලිමේන්තු පනතින් ආරම්භ කළ මෙම විශ්වවිද්‍යාලයට මේ වන විට වසර 40 ක් සම්පූර්ණ වී තිබේ. මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ දේශීය හා විදේශීය රටවල ද පාලි භාෂාවත්, බෞද්ධ දර්ශනයත් ප්‍රචළිත කිරීමයි.

ඒ තුළින් බෞද්ධ දර්ශනය එහි මාතෘ භාෂාවෙන් ම සැමට ම බෙදා දීමට හැකියාව ඇති අතර, විදේශීය රටවල ශිෂ්‍යයන්ට ද බෞද්ධ දර්ශනය ඉගෙනීම සඳහා විශාල උපකාරයක් ඉන් සැලසෙනු ඇත.

නවීන ලෝකයට ගැලපෙන පරිදි අවශ්‍ය දැනුම ලබාදීමට නම් විවිධ භාෂාවන් එයට එක් කිරීම, මෙම පාඨමාලා ප්‍රචළිත කිරීමට ඇති සාර්ථක ම මාර්ගය බව මාගේ විශ්වාසය යි.

එම පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය පාඨමාලා මේ වන විටත් සකසා තිබීම සතුටට කරුණකි. එබැවින් රජයක් ලෙස මේවා සංවර්ධනය කිරීමේ දී විශාල මූල්‍ය දායකත්වයක් ලබා දිය යුතුව තිබේ.

එය අප රජය මනාව තේරුම් ගෙන ඇති අතර, කුමන ආර්ථික අපහසුතාවයක දී වුව ද උසස් අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරියේදීත් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසනු ඇත.

අතීතයේ ඉන්දියාවේ පැවැති නාලන්දා, වික්‍රමශිලා වැනි විශ්වවිද්‍යාල තුළින් ඉටුකළ අධ්‍යාපන මෙහෙය, ලොව බුද්ධිමත් ජනතාව අදත් සිහිපත් කරන්නේ ඉතා සතුටිනි.

එබඳු තත්ත්වයට අපට මෙම විශ්ව විද්‍යාලය පත්කිරීමට හැකිනම් මෙහි පාඨමාලාවන් බටහිර රටවලට ව්‍යාප්ත කිරීමට වැඩි කලක් නොයනු ඇත.

එම අරමුණින් සකස් කර ඇති බාහිර හා අභ්‍යන්තර පාඨමාලා නවීන ලෝකයට අවශ්‍ය ලෙස බෙදා හැරීම යුගයේ කාර්ය භාරය වේ.

එම උසස් පරමාර්ථ මුදුන් පමුණුවාලීමට වෙහෙසෙන දැනට මහෝපාධ්‍යාය ධුරයේ කටයුතු කරන මහාචාර්ය ගෞරවාර්හ නෙළුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ ඇතුලු ඇදුරු මඬුල්ලටත්, කාර්ය මණ්ඩලයටත් මාගේ කෘතවේදීත්වය පිරිනමන අතර, අද දින උපාධි ලබා සමාජතලයට පිවිසෙන සියලු විද්‍යාර්තීන්ට මාගේ සුභාශිංසන පිරිනමමි.

****

කුසලතාවලින් යුතු තරුණ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම ප්‍රශංසනීයයි

බෞද්ධ අධ්‍යාපනයට අනන්‍ය වූ උසස් අධ්‍යාපන ආයතනයක කාර්යය හා වගකීම මැනවින් ඉටුකරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ස්වකීය අභිමානවත් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙහි දෙවිසි වසරක අගසස් සනිටුහන් කරයි.

ථේරවාදී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික කාරණය ධර්මධර, විනයධර සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ මෙන් ම යහපත් විනයානුකූල තරුණ ගිහි ප්‍රජාවක් සකස් කර ගැනීම යි. එම මෙහෙවර මැනවින් ග්‍රහණය කොට ශාස්ත්‍රීය නිපුණතා පමණක් නොව ආකල්ප හා කුසලතාවන්ගෙන් හෙබි තරුණ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමෙහි ලා විශිෂ්ට සේවයක නියුතු වන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සිදු වන්නා වූ මෙහෙවර ප්‍රශංසනීය යි.

එලෙස ථෙරවාදි බෞද්ධ සම්ප්‍රදාය මෙරට පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද ප්‍රචළිත හා ස්ථාවර කරවීමට සමත් ශාස්තී‍්‍රය නිපුණතා, ආකල්ප, කුසලතාවන්ගෙන් පිරි විද්‍යාර්ථීන් මෙම උපාධිධාරි මානව සම්පත් කුලකය තුළින් බිහිවනු දැක්ම අප ප්‍රාර්ථනය යි.

****

කුසල් දහම් වැඩිදියුණු කරන පුණ්‍ය ක්ෂේත්‍රයක් වේවා

බෞද්ධ දර්ශනය පිළිබඳ ලෝකවාසි ජනතාව තුළ පිබිදීමක් ඇති වී ඇති මෙවන් අවධියක ශික්ෂාකාමී, සියලු සතුන්ට යහපත උදා කරලීමේ චින්තනයක් සහිත උතුම් දර්ශනයක් ප්‍රගුණ කරන විද්‍යාර්ථීන් ලොවට දායාද කිරීමේ අරමුණ පෙරදැරි කොට ගෙන පිහිටුවා ඇති මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා සෑම වර්ෂයක ම විදේශීය භික්ෂූන් වහන්සේ සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන බව විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. උන්වහන්සේ ලෝකය වෙත නැවත ගෙන යන්නේ මේ පින්බිමේ සුරැකිව පවතින උතුම් ථෙරවාදී බුදුදහමේ මහත් වූ දැනුම් සම්භාරය යි.

උත්තරීතර බෞද්ධ දර්ශනය ලොව පුරා පතුරුවා හරිමින් එනයින් ලෝකය තුළ රජ කරන අවිදු අඳුර දුරු කිරීමට හැකි මනා ශික්ෂණයකින් යුතු විද්‍යාර්ථීන් ලොවට බිහි කරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින දින බැබළේවා’යි මම ප්‍රාර්ථනා කරමි.

එසේම, අධ්‍යාපනය ලබන හා උපාධිධාරින් ලෙස විසිර යන සියලුම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට කුසල් දහම් වැඩි දියුණු කිරීමට ඉවහල් වන පුණ්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කරත්වා’යි ප්‍රාර්ථනා කරමු.

****

උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පෙරමුණෙහි සිටියි

දේශීය මෙන් ම විදේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පෙරමුණ ගෙන තිබීම ශ්‍රී ලංකාවාසී සැමට මහත් අභිමානයක් වේ. විදේශීය සිසුන් වැඩි ම ප්‍රමාණයක් උසස් අධ්‍යාපන කාර්යයෙහි නියැළෙන මෙම විශ්ව විද්‍යාලයෙහි විදේශීය අනුබද්ධායතන දොළහක් විදේශ රටවල ක්‍රියාත්මක වේ. එම රටවල් නම් සිංගප්පූරුව, මැලේසියාව, ජර්මනිය, ස්කොට්ලන්තය. ඔස්ට්‍රියාව, හොංකොං, බංගලාදේශය, කොරියාව, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය හා ජපානය වේ.

විදේශීය භාෂා දැනුම, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලෝකවාසී ජනතාව අතර නිර්මල බුදුදහම ප්‍රචාරය කිරීමට සහ ශිෂ්ට සම්පන්න සමාජයක් ලොවට දායාද කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් බිහිවන මෙම විද්‍යාර්ථීන්ගෙන් අපේක්ෂා කෙරේ.