Print this Article


සසුන රැක ගැනීමේ සටන කල් දමන්නේ නැහැ

දුටුගැමුණු මහ රජතුමා - 61 කොටස:

සසුන රැක ගැනීමේ සටන කල් දමන්නේ නැහැ

“ඉතා බලවත්, ප්‍රබල සේනාංකයක් මහියංගනයේ රඳවා සිටිනවා. අම්බතිත්ථය කැළෑ සටන් පුහුණු කළ සේනාංක නිසා අමාරුවෙන් ජයගත යුතු බළ කොටුවක්.

කසා තොටින් එගොඩ වූ පසු අපට මුහුණ පාන්නට වන අමාරු ම සටන විජිතපුර බලකොටුව බිඳ දැමීමයි. මහෙල, ගිරිල බලකොටු දෙකත් සොළී සේනාවෙන් ම ආරක්ෂිත බලකොටු. මේ බලකොටු තුන අල්ලා ගත්තොත් අනුරාධපුර රාජධානිය අල්ලා ගත්තා හා සමානයි.

දීඝජන්තු ආරක්ෂා සංවිධාන යෙදීම අතින් ඉතාම දක්ෂයි. ඔහු භාරයේ රැඳුණු සංග්‍රාමිකයන්, මහ සෙනෙවිවරුන්, සෙනෙවි හා උප සෙනෙවිවරුන් සේනාංක වශයෙන් අසූවක් රාජ්‍ය නගරයේ ආරක්ෂාවට යොදා තිබෙනවා. අසූ දහසක සෙබළුන් දිවා රෑ දෙකෙහි සේවයේ යෙදෙනවා.

අනුරාධපුර ඇතුළු උතුරුකරයේ ආරක්ෂාවට මා භාරයේ පනස් දහසක සේනාංකයක් සිටිනවා. අනුරාධපුර ඇතුළු නුවර ආරක්ෂාවට පමණක් තුණ්ඩිල නම් සෙනෙවියකු යටතේ විශාල සොළී සේනාංකයක් යොදවා තිබෙනවා. තුණ්ඩිල එළාර රජතුමාගේ බෑනා කෙනෙක්.

විජිතපුර බලකොටුව දීඝාභය මහ සෙනෙවි හා උපතිස්ස සෙනෙවි භාරයේ පවතින්නේ. සිංහල දෙමළ සේනාංක සියයක් සෙබළුන් ලක්ෂයක ආරක්ෂාව යටතේ උපතිස්ස වෙනුවට තුණ්ඩිල පත් කිරීමට දීඝජන්තුට වුවමනා වී තිබෙනවා.

මොවුන් යුද්ධ උපායයන්හි දක්ෂ යැයි මා සිතන්නේ නැහැ. එහෙත් කවුරුත් පාහේ දක්ෂ සංග්‍රාමිකයන්. අවි ගබඩා, ආහාර ගබඩාවල මනා පාලනයක් නැහැ. මේ දිනවල මාගම අරගල දෙස බලාගෙන සිටිනවා මිස යුද පුහුණුවක්, යුද්ධ සංවිධානය තර කිරීමක් පෙනෙන්නේ නැහැ.”

“තිස්ස අප හා සටන් කිරීමට කැටුව ආ පනස් දහසක සේනාවෙන් හතළිස් දහසකට වැඩි පිරිසක් අපට එකතු වුණා. හෙට මෑණියන් වහන්සේ මෙහි එනවිට ඉතිරි පිරිසත් එන බවට සැකයක් නැහැ. අලුතින් අපට එකතු වූ පනස් දහසම සිරිනාගට පවරා යුදගනාවේ අලුත් පුහුණු කඳවුරක් ආරම්භ කිරීමට නන්දිමිත්‍ර මහාසෙන්පතිට නියම කරනවා.”

“මහරජතුමනි, සිරිනාග වඩා කැමති අනුරාධපුරයේ සිටින්නයි. එය අපට වඩාත් වාසිදායක වේවි. අප කළ යුත්තේ සිරිනාගට ආපසු එහි යා හැකි උපායක් යෙදීමයි. ඒ සඳහා සිරිනාග යෝජනා කරන උපාය මාර්ගයක් තිබෙනවා.”

“සිරිනාග සිරභාරයට ගෙන මරණ දඬුවමට නියම කර ඇති බවත්, එහෙත් අනුරාධපුරයෙහි දැනට හිර අඩස්සියේ සිටින සිංහල චර පුරුෂයන් සියලු දෙනා නිදහස් කොට කසාතොට උපතිස්ස බණ්ඩාර සෙනෙවිට භාර දුන් විට සිරිනාග නිදහස් කොට එවන බවත්, අපේ දූතයකු මඟින් එළාර මහ රජතුමාට දන්වා යවන ලෙසයි. සිරිනාගගේ යෝජනාව.” මහාසිව මහා ස්වාමීන් වහන්සේ වදාළහ.

“අපේ තෝරාගත් දූතයකු අත හසුන් පතක් යවා බලමු. ඔවුන් එයට දක්වන ප්‍රතිචාරය හොඳ වුවත් නරක වුවත් අපට එයින් ප්‍රයෝජන කිහිපයක් ගතහැකි.” මාහිමියෝ තවදුරටත් කීහ.

“ඔව්, සිරිනාගගේ වටිනාකම තක්සේරු කර බලන්නටත් හොඳ අවස්ථාවක්” උත්තර මහ ඇමැති සිනාමුසු ව කීවේ ය.

“එය අමාරු කාර්යයක් නොවෙයි. ඔබ කාගේත් අනුමතය ඒක නම්, හෙට යුද්ධ සම්මන්ත්‍රණයෙන් පසු අනිද්දා වෛතාලෙන් ම අපි දූතයකු යවමු. දූත කාර්යයට මා කැමතියි ඛඤ්ඡදේව තෝරා ගැනීමට.”

දුටුගැමුණු රජතුමාගේ තේරීම මහ සෙනෙවිවරුන්ගෙන් අනුමත විය. ඛඤ්ඡදේව කැමැත්ත පළ කළේ ය.

“හෙට යුද්ධ සම්මන්ත්‍රණයේ දී සිරිනාග කෙරෙහි අපේ සෙනෙවිවරුන් අතර ඇති අප්‍රසාදය නැති කොට කවුරුන් අතරත් ප්‍රසාදයට පත් කිරීමේ කාර්යය වේළුසුමනගෙන් කෙරේවි. එතෙක් තොපට වෙස් වළාගෙන සම්මන්ත්‍රණ ශාලාවට එන්නට අවසර ලැබෙනවා. සිවනාග සිරිනාග වීමේ හාස්කම අපේ මහාසිව මාහිමිපාණන්ගෙන්ම කියැවුණොත් සභාවේ කුතුහලය වැඩි වේවි.”

“ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්ස, මහාසිව මහා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලාගෙන් මට ලැබුණු රැකවරණයත්, උපදෙසුත්, ඇල්ම බැල්මත් වෙනුවෙන් මා ණය ගැතියි. ඒ ණය ගෙවිය යුත්තේ කෙසේද යන්න මාත්, මේ සෙනෙවි වරුනුත් තීරණය කොට හමාරයි. ඔබ දෙදෙනා වහන්සේගේ කැමැත්ත පරිදි අනුරාධපුර රාජධානිය සිංහලයන්ට අත්පත් කර ගැනීමේ හා බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ සටන කවර කරුණක් නිසාවත් කල් දමන්නේ නැහැ.

හෙට සන්ධ්‍යාවෙහි මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුද්ධ මණ්ඩලය රැස් වෙනවා. දාව ආචාර්යතුමාත්, කාම්බෝජ බ්‍රාහ්මණ තුමාත් එයට සහභාගි වෙනවා. ඔබ වහන්සේලා දෙනමගේ අනුශාසනයෙන් පසු ඒ අනුව කටයුතු තීරණය කෙරෙනවා.

“මහරජතුමනි, කාම්බෝජ පඬිතුමා සාදා ඇති නැකත ඉතාම ප්‍රබලයි. ජයග්‍රාහියි. අවි ආයුධ ඔපකළ සැටිත්, මුවහත් කළ යුතු සැටිත්, ජයග්‍රහණය සඳහා සුදුසු වත් පිළිවෙත් ආදියත් අපේ පැරැණි සම්ප්‍රදායන් අනුව දාව ආචාර්යතුමා විස්තර කොට තිබුණා. ඒවා රහසිගතව කඳවුරු ප්‍රධානීන්ට දැන්වීමට උපදෙස් හෙට සෙනෙවි මණ්ඩලයට දිය හැකි නම් හොඳයි. නවන්ගම ආයුධ කර්මාන්ත ශාලාවකින් ඔබතුමා වෙනුවෙන් සෑදුනු කුන්තායුධය අපට එව්වොත් එහි සර්වඥධාතු තැන්පත් කොට පරිත්‍රාණ සජ්ඣායනා කොට පේකර තබන්නට පුළුවන්.

යුද්ධය අපට කැප නැතැයි කීම තර්ක ගෝචරයි. යුද්ධය වැළැක්විය යුතු එකක් නිසා. එහෙත් අවශ්‍ය වූ විට එය නොකර සිටියොත් වැරැදියි. විහාර මහා දේවිය සහෝදරයන් දෙදෙනා අතර යුද්ධය අනුමත නොකළත්, වැළැක්වීමට වෑයම් නොකිරීමෙන් ගත් පිළිවෙත හරි. ඉතාම ප්‍රඥාවන්තයි. ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්සේ කීහ.