Print this Article


දිවි තොර වුවත් ප්‍රතිපත්ති රකින්න

දිවි තොර වුවත් ප්‍රතිපත්ති රකින්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. දුප්පත්කමින්, විවිධ රෝගවලින් සහ අපමණ කායික, වාචසික සහ මානසික දුක්වලින් පීඩා විඳිමින් ජීවත්වන ජනතාව ඒ ධර්මය ශ්‍රවණය කළා.

තමන්ට ගැටලු පැමිණි අවස්ථාවල ඒවා විසඳා ගැනීමට විවිධ ආගමික ප්‍රතිපත්ති අනුගමනය කළත් කිසිදු ශාන්තියක් හෝ සහනයක් ලැබී තිබුණේ නෑ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් සහ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අර්හත් උතුමන් වහන්සේලාගෙන් ධර්මෝපදේශ ලබා ගත්තා.

භෞතික සහ ආධ්‍යාත්මික සුගතියක් නැති අසරණ ජනයා තම ගැටලු ධර්මයට අනුව විසඳා ගැනීමට පුරුදු වුණා. එහි ඇති ශාන්ත බව, සුන්දර බව හඳුනා ගත්තා. තව තවත් ධර්මය අනුගමනය කළා. ක්‍රමයෙන් ධර්ම කරුණු ක්‍රියාවට නැඟීමටත් පටන් ගත්තා.

දිනක් එක් තරුණයෙක් තමන් මුහුණ දෙන ගැටලුවලින් මිදීමට ධර්මය අනුව ක්‍රමයක් සිතා බැලුවා. ඉපදීම සියලුම ප්‍රශ්න ඇතිවීමට හේතුව බව ඔහුට අවබෝධ වුණා. එයින් මිදීමට කළ හැකි එකම මාර්ගය ධර්මය පිළිපැදීම බවත් වැටහී ගියා.

දිනක් භික්ෂූන් වහන්සේ නමක් වෙත එළැඹ “ස්වාමිනි, මා ගිහි ජීවිතය ගත කළ කෙනෙක්. උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මම හොඳින්ම අධ්‍යයනය කළා. ඉපදීම තමයි මේ ජීවිතයේ ඇති සියලු ගැටලුවලට හේතුව.

වයසට යාමත්, ලෙඩවීමත්, දුක් සහ වේදනාව විඳීමත් ඉපදීමේ ප්‍රතිඵලයක්. මට ඕන ඉක්මනින්ම මේ ගමන නතර කරන්න. ස්වාමිනි, ඒ භාග්‍ය උදා කර දෙන්න" යැයි පවසා සිටියා. එකල්හි තෙරුන් වහන්සේ තරුණයා අමතමින්

“පින්වත් තරුණය, ඔබ ධර්ම කරුණු හොඳින් අවබෝධ කරගෙන ජීවත්වන බව වැටහෙනවා. පැවිදි කිරීමට නම් පුළුවන්. එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ විනය ශික්ෂා පද සමූහයක් තියෙනවා.

ඒවා ආරක්ෂා කරන්න ඕන. යම් හේතුවකින් ශික්ෂා පද බිඳී ගියහොත් සීලය නැති වෙනවා. ඇවැත් සිදු වෙනවා. ඒ සියලු කරුණු මුලින්ම ඉගෙන ගන්න අවශ්‍යයි.

ඔබ පැවිදිවීමට දැඩිව ඇලුම් කරන නිසා පළමුව ශික්ෂාපද ඉගෙන ගන්න. ඒවා ආරක්ෂා කිරීමට පුළුවන් යැයි සිතෙනවා නම් පැවිදි වෙන්න. පැවිදි බව ලබා දීමට අවශ්‍ය කටයුතු මම සූදානම් කර දෙන්නම්” යැයි පවසමින් කරුණු පහදා දුන්නා. තරුණයාත් එයට එකඟ වුණා. තෙරුන් වහන්සේ සමීපයේ ම සතර සංවර සීලයම ඉගෙන ගත්තා.

ඒවා ආරක්ෂා කිරීමට හැකි බවත්, අර්හත් භාවය ලබා ගැනීමට හැකි බවත් පවසා සිටියා. තෙරුන් වහන්සේ තරුණයාගේ දෙමාපියන්ගේ අවසරය ඇතිව තිස්ස තෙරුන් වහන්සේ නමින් පැවිදි කළා. උපසම්පදාවත් ලබා දුන්නා.

ගුරු හාමුදුරුවන් සමීපයේ වර්ෂ පහක කාලයක් උපසම්පදාවෙන් පසුව වැඩ සිටිය යුතු යි. විනයේ සඳහන් බුද්ධ නීතියක් එය. නවක උපසම්පදාව ලැබූ තෙරුන් වහන්සේත් එය අනුගමනය කළා.

උපසම්පදා භික්ෂුවක් යම් දෙයක් පිළිගැනීමේ දී එය තවත් කෙනකු විසින් පූජා කළ යුතු බවත්, පූජා නො කළ දෙයක් පිළිගන්නේ නම් එය ඇවතක් වන බවත් දැන ගත්තා. එදින සිට උන්වහන්සේ කිසිදු පූජාවක් ලබා ගන්නේ නෑ තම දෑතට පිළිගැන්වීමකින් තොරව.

මෙය කුඩා විනය ශික්ෂා පදයක් වුණත් එය කඩ කිරීමට අකැමැති වුණා. එය කඩ වුවහොත් ඇවැත් දේශනාවකින් පිරිසුදු විය හැකියි. එහෙත් තමාගේ දෑතට ම පිළිගැන් වූ දෙයක් හැරුණු විට වෙනත් කිසිවක් පරිහරණය නො කිරීමට තෙරුන් වහන්සේ පුරුදු වුණා.

කුඩා ශික්ෂාපදයක්වත් කඩ නො කර ආරක්ෂා කිරීමට කටයුතු කළා. උන්වහන්සේගේ ශීල ගුණය භික්ෂූන් අතරත්, ගිහි ජනයා අතරත් පැතිර ගියා.

තිස්ස තෙරුන් වහන්සේ වර්ෂ පහක්ම ගුරු හිමියන්ගේ ඇසුරේ ශාසනික ප්‍රතිපත්ති සහ ධර්මය පුහුණු කළා. දිනක් උදෑසන අවධි වී මෙහෙම කල්පනා කළා. “මා දැන් පැවිදි වී වර්ෂ පහක් පමණ කාලයක් ගත වුණා. ධර්මයත්, ශාසනික වත්පිළිවෙත් ආදියත් හොඳින් පුහුණු කළා. දැන් ඕනෑම තැනකට වැඩම කර තනිව ජීවත් විය හැකියි.

කිසිදු විනය ශික්ෂා පදයක් කඩ වෙන්නේ නෑ. ඒ නිසා ගුරු හිමියන්ගෙන් අවසර ගෙන වනගත වී භාවනා කර මේ සසර ගමන නිමා කර ගන්න අවශ්‍යයි.

දැන් එයට සුදුසු අවස්ථාව උදාවෙලා තියනවා. ගුරු හිමියන් විවේකීව වැඩ සිටින අවස්ථාවක මේ පිළිබඳව සිහිපත් කර අවසර ලබා ගන්න ඕනෑ” යැයි තීරණය කළා.

ඒ ලෙසින් ම තෙරුන් වහන්සේගෙන් විමසා අවසර ලබා ගත්තා. ගමනට අවශ්‍ය සියලු දෑ සූදානම් කර ගත්තා. දිනක් උදෑසනම ගමන ආරම්භ කළා. උන්වහන්සේගේ ගමන යෙදී තිබුණේ මිනිසුන් වාසය නො කරන ඈත මහා වනයක් මැදින්.

භාවනා කිරීමට සුදුසු වන්නේ මහා වනයක් බවත්, දායක ගමට සමීපවීමට හැකි ස්ථානයක් බවත් යැයි සිතමින් වැඩම කරන්න පටන් ගත්තා. පළමු දවස නිමා වුණා, දෙවන දවසත් ගමනේ ම යෙදුණා.

මේ දින දෙකේ ම කිසිදු අහරක් නිසි වේලාවට ලබා ගැනීමට නො හැකි වුණා.

ගමන අතරවාරයේ පලතුරු ගස් කොපමණ තිබුණත් ඒවා පිළිගැන්වීමට කෙනෙක් නැති නිසා සියතින් ගෙන වැළඳුවේ නෑ. තෙවැනි දවස තෙරුන් වහන්සේ දැඩි සේ වෙහෙසට පත් වුණා. තවදුරටත් ගමනේ යෙදීමට නොහැකි තරමට ම කුසගින්නෙන් රෝගී වුණා.

අවසානයේ ගමන නිමා කරමින් විශාල අඹ ගසක් යට නැවතී වැතිරුණා. ඒ අඹ ගසේ ඉදුණු ගෙඩි බිම පුරාම වැටී තිබුණා. උන්වහන්සේ වැතිර සිටි තැනටත් විටින් විට ඉදුණු අඹ වැටෙන්න පටන් ගත්තා.

එහෙත් උන්වහන්සේට අඹ පිළිගන්වන්නට කෙනෙක් නැති නිසා සියතින් ගෙන වළඳන්නට අකමැති වුණා.

“ජීවිතය අහිමි වුණත් ආරක්ෂා කළ ශීලය නො බිඳිමි” අධිෂ්ඨාන කර ගත්තා.

මේ අතර එක් උපාසකයෙක් අඹ ගස යටට ආවා. ඒ මොහොතෙහි ඔහුට තිස්ස තෙරුන් වහන්සේ දකින්න ලැබුණා. ඔහු උන්වහන්සේ හඳුනා ගත්තා.

තෙරුන් වහන්සේට කතා කළා. එහෙත් උන්වහන්සේ බොහෝ සෙයින්ම ශාරීරිකව දුබල වී සිටියා. කාරණය හොඳින් ම අවබෝධ කරගෙන වහාම ක්‍රියාත්මක වී වැළැඳිය හැකි අයුරින් අඹ සකසා තෙරුන් වහන්සේට පිළිගැන්වූවා.

උන්වහන්සේගේ සිහිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. එහෙත් ඇවිද යාමට තරම් කායික ශක්තියක් ලැබුණේ නෑ. උපාසක තෙමේ උන්වහන්සේ ඉදිරියේ සිටගෙන මෙහෙම කල්පනා කළා.

“මේ තෙරුන් වහන්සේ රැගෙන නො ගියහොත් මෙ තැනම මරණයට පත්වන බව නම් ඒකාන්තයි. ඒ නිසා කෙසේ හෝ අසල තිබෙන ගමකට වැඩම කරවන්න අවශ්‍යයි” යැයි සිතා උන්වහන්සේ ඔසවා පිටමත හිඳුවා රැගෙන යන්න පටන් ගත්තා.

තෙරුන් වහන්සේගේ සිහිය ක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත් වෙමින් තිබුණා. උන්වහන්සේ උපාසකයාගේ පිටමත යමින් ම තමන්ගේ ශීලගුණය භාවනා අරමුණක් වශයෙන් ගෙන ආවර්ජනය කළා. විදසුන් වැඩුවා. මොහොතකින් සියලු කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියා.

මේ පුවත උපාසක තෙමේ ගම්වැසියන්ට ප්‍රකාශ කළා. ගිහි සහ පැවිදි දෙපාර්ශ්වය ම උන්වහන්සේගේ අර්හත් භාවය අසා සාධු නාද දෙන්න පටන් ගත්තා. සතුටට පත් වුණා.

මේ නිසාම තිස්ස තෙරුන් වහන්සේ "අම්බඛාදක තිස්ස" තෙරුන් වහන්සේ යැයි ප්‍රසිද්ධ වුණා. ශීලය ආරක්ෂා කරන්නාගේ ප්‍රාර්ථනා ඉටුවෙන බවත්, ජීවිතය ආරක්ෂා වෙන බවත්, සමාජයේ ගරු බුහුමනට සහ ප්‍රසිද්ධියට පත්වන බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

ඒ වගේම සමාජය සුවපත් කිරීමටත්, සසර දුක නිමා කර ගැනීමටත් හේතු වෙනවා. සීලය පිරිහුණු සමාජය නිතරම ගැටලු උපදවනවා. ඒ බව වටහා ගැනීම වැදගත් වෙනවා.