Print this Article


දැන නොදැන රැස්කරන යහපත අයහපත

දැන නොදැන රැස්කරන යහපත අයහපත

(10 වෙනි ආධ්‍යාත්මික වර්ගය)

සැවැත්නුවර දී ,

අසන්තුට්ඨිකා සූත්‍රය (104)

ලද දෙයින් සතුටු නොවන බව

මහණෙනි තමාගේ ආධ්‍යාත්මික අංගයක් වූ සිත මුල් කොට ගෙන මහත් අනර්ථය පිණිස පවතින අසන්තුට්ඨිතාව ( ලද දෙයින් සතුටු නොවන බව – අතෘප්ත බව) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, අසන්තුට්ඨිතාව මහත් අනර්ථය පිණිස පවත්නේ ය.

සන්තුට්ඨිකා සූත්‍රය

ලද දෙයින් සතුටුවීම

මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් කොටගෙන තම සිතෙහි මහත් අර්ථය පිණිස පවත්නා යම් ධර්මයක් වේ ද සන්තුට්ඨිතාව (ලද දෙයින් සතුට තෘප්තියට පත්වීම) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, සන්තුට්ඨිතා ධර්මය මහත් අර්ථය පිණිස පවත්නේ ය.

අයෝනිසෝ මනසිකාර සූත්‍රය

නුනුවණින් මෙනෙහි කිරීම

මහණෙනි,ආධ්‍යාත්මික අංගයක් කොටගත් තම සිතෙහි මහත් අනර්ථය පිණිස පවත්නා යම් ධර්මයක් වේ ද අයෝනිසෝ මනසිකාරය (නුනුවණින් මෙනෙහි කිරීම) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, අයෝනිසෝ මනසිකාරය මහත් අනර්ථය පිණිස පවත්නේ ය.

යෝනිසෝ මනසිකාරය සූත්‍රය

නුවණින් මෙනෙහි කිරීම

මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් කොටගත් තම සිතෙහි මහත් අර්ථය පිණිස පවත්නා යම් ධර්මයක් වේ ද, යෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, යෝනිසෝ මනසිකාරය මහත් අර්ථය පිණිස පවත්නේ ය.

අසම්පජඤ්ඤ සූත්‍රය

නිවැරැදි ප්‍රඥාව නැති බව

මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් කොටගත් තම සිතෙහි මහත් අනර්ථය (අවැඩ) පිණිස පවත්නා යම් ධර්මයක් වේ ද, අසම්පජඤ්ඤය (නිවරැදි ප්‍රඥාව නැති බව) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්ථය පිණිස පවත්නේ ය.

සම්පජඤ්ඤ සූත්‍රය

නිවැරැදි ප්‍රඥාව ඇති බව

මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් කොටගත් තම සිතෙහි මහත් අර්ථය (වැඩසහිත) පිණිස පවතින යම් ධර්මයක් වේ ද, සම්පජඤ්ඤය (නිවරද (සම්‍යක්) ප්‍රඥාව ඇති බව) බඳු අන් එක ධර්මයකුදු මහත් නුවණැසින් නො දක්නේ ය. මහණෙනි සම්පජඤ්ඤය මහත් අර්ථය පිණිස පවත්නේ ය.

පාපමිත්ත සූත්‍රය

මිතුරු වෙසින් එන සතුරන්

මහණෙනි, බාහිර අංගයක් කොට ගතහොත් යමක් මහත් අනර්ථය පිණිස පවත්නී ද, පාප මිත්‍රතාව (තමා පවට යොමු කරන මිතුරු වේශයෙන් යුත් පුද්ගලයන් ඇසුරු කිරීම) බඳු අන් එක අංගයකුදු (මම) නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්ථය පිණිස පවත්නේ ය.

කල්‍යාණමිත්ත සූත්‍රය

කලණ මිතුරා

මහණෙනි, බාහිර අංගයක් කොට ගෙන යමක් මෙසේ මහත් අර්ථය පිණිස පවත්නා යම් කරුණක් වේ ද, කල්‍යාණමිත්‍රතාව (යහපතෙහිම යොදවන මිතුරන් ඇසුර) බඳු අන් එක අංගයකුදු නො දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්ථය පිණිස පවත්නේ ය.