Print this Article


පහන් සිතක කවි

 

අමා නිවන් මඟ

මහ ගංවතුරේ යන ඇත් කුණ සේ
මුහුදට පාවී ගිලෙනා විල සේ
පස් කම් සුව රැස් කරනා සිතු සේ
මිනිසා මරුවා වෙත යයි එලෙ සේ

ගැලෙමින් පස්කම් සුව මල් සොයනා
මල්කරු මෙන් කාමය වෙත ඇලෙනා
මිනිසුන් මිය යන තුරු ඒ ලෙසි නා
විඳුමෙන් සෑහීමට පත් නොවෙ නා

මේ කය පෙණ පිඬ – මිරිඟුව වැන් නේ
සිතන තැනැත්තා කෙලෙස් සිඳින් නේ
බන්ධන මල් දම් සිඳ බිඳ ලන් නේ
අමා නිවන් මඟ වෙතට ඇදෙන් නේ


පව් මල සෝදා

උස් මනසක් ලැබ
උතුම් මිනිස්කම
ලබනට පින් සිත්
ගලන්නෙ දෝ.......

දුක් ගිනි ඇවිලෙන
සැනසුම ගිලිහෙන
පින් මද භවයෙන්
අත් මිදි යන්නට
නුඹලත් පින් සොයලා
ඇති දෝ........

කුරිරුව දරුණුව
සිත් ඇවිලෙන මනු ලොව
මතු සැරිසරනට
නොඑනු මැනවි යළි
කුහුඹුවනේ
පොඩි කුහුඹුවනේ

මෙත් මුනි සෙවනේ
එකත් පසක හිඳ
මුනි සිරිපා පියුමන් වැඳලා
අම දම් රස විඳලා..

සසරින් එතෙරට
නිවී සැනසෙන්නට
පින් ඇති
පින් ඇති
කුහුඹුවනේ
පොඩි කුහුඹූවනේ....


බිය නැති තැන

තෙවරක් අසා මගෙ කෙස් රොද අතට ගෙන
කතුරට දෙන්න ඉඩ අවසර ලබා ගෙන
ගුරු මෑණියන් දුන් කෙස් අත තබා ගෙන
අනියත සිහි කළා දෙනුවන් වසාගෙන

බොදු පියකුට දාව මව්කුස දැරුවාට
බුදු බව පතමි මගෙ මව්පිය දෙදෙනාට
පතා ආ ලෙසින් කහවත වෙලුවාට
පින් දෙමි ගුරු මව්නි කෙස් ටික කැපුවාට

මව්පිය සොයුරු සොහොයුරින් සිටියාට
නෑ හිත මිතුරු දූ දරු ගුණ වැණුවාට
ඉඩම් කඩම් ගේ දොර වතු තිබුණාට
තනියම යා යුතු ය මරු පැමිණුන දාට

තනියම ඉපදිලා තනියම මිය යා නම්
කුමකට දුක් වෙමි ද පෙර ලෙස දෙසුවා නම්
කෙලෙස් නැමති ගැටයෙන් සිත මිදුණා නම්
බියක් නොමැත සසරෙහි දුක දැනුණා නම්

සසුන් කෙතට බැස කය සිත වෙහෙසාලා
සදහම් බිජුවලින් සරු කෙත වපුරාලා
කෙලෙස් නැමති විෂ බිජු සැම වනසාලා
ගත හැක අස්වැන්න කුසලින් පුරවාලා


ගිලිහී ගිය පැතුම

සිරිමා බෝධියේ ගිලිහුනු බෝ පත තිසා වැවට පාවී යනවා
ස්වර්ණමාලි සෑ ගර්භය පතුළෙන් පිරිත් හඬක් සවනට එනවා
ථූපාරාමේ කොත් කැරැල්ල මත සවණක් බුදු රැස් විහිදෙනවා
නිවන් මඟට කෙටි පාර සොයා ගෙන දෙනෝදහක් හිමි නමදිනවා

පුදබිම මායිම ඉමෙන් පැන්න පසු සංවර සිතිවිලි නැති වෙනවා
මිමිනූ ගාථා අමතක වීලා සරිගම ලෙස පද හැඩ වෙනවා
තේවා දවුලට පසු තැන දීලා රබන් සුරල් හඬ පැතිරෙනවා
බුදුන් වැන්ද දෑතට පණ ලැබිලා අත් පොළසන් හඬ නැඟ එනවා

බුද්ධ වන්දනා ගාථා ඇසුරින් නව පද වැල් මුවගට එනවා
රබන් සුරල් හඬ අතරේ රථයේ ටකරන් හඬ බෙරිහන් දෙනවා
රියදුරු මහතා කැඩපත අතරින් නෝක්කාඩුවට හිනැහෙනවා
අසුනේ තැන තැන නිදි ගත් මුහුණෙන් නළඟන විකාර සිහි වෙනවා

මහ රෑ සැතපෙන නඩයට සුරැකුම් රියදුරු මහතා ලැබ දෙනවා
රථයේ මුදුනේ සිංදු පෙට්ටියෙන් දම්සක් පැවතුම කියැවෙනවා
අලුයම ගම වෙත සේන්දු නඩයේ ඝෝෂා නාදය රැව් දෙනවා
යන්නං චෙරියෝ බායි කියලා උතුම් නිවන අමතක වෙනවා


කවදා ද?

තණ්හා ආශා පොදි බඳිමින්නේ
මිසදිටු බවකිනි සසර ගෙවන්නේ
දුක ඝණදුරු නැත පහවී යන්නේ
ජීවිත අඳුරේ කාලෙ ගෙවෙන්නේ

ගුණ නැණ නැත මිනිසුන් අඳුනන්නේ
පුහු ආටෝපෙන් කාලෙ ගෙවෙන්නේ
බව දුක නැසුමට සසර සොයන්නේ
මිනිසුනි කවදද එළිය දකින්නේ

බුදු හිමි දෙසූ ඒ මඟ සොයමින්නේ
ජීවිත ගමනට අරුත සොයන්නේ
යහ මඟ හරිබව තෝරා ගන්නේ
එවිටයි මිනිසකු පිරිපුන් වන්නේ