Print this Article


හෙළදිව අමරණීය විරුවන්ගේ නාමාවලිය සරසන මිණිපහන ටිබෙට් ජාතික එස්. මහින්ද මා හිමි

හෙළදිව අමරණීය විරුවන්ගේ නාමාවලිය සරසන මිණිපහන ටිබෙට් ජාතික එස්. මහින්ද මා හිමි

“සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සන ද රෑට”

අප ළමා වියේ දී මිහිරට ගැයූ, අදත් නිතර ඇසෙන මෙම ළමා ගීය රචනා කළේ විදෙස් රටක උපත ලබා බුදුදහම ඉගෙනීමේ ආසාවෙන් මෙරටට පැමිණ භික්ෂුභාවය ලබා ගත් එස්. මහින්ද හිමියන් ය. දේශීය සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ අගය අප රට වැසියාගේ සිත්සතන් තුළ රෝපණය කරවීමෙහි සමත් ගී පදවලින් හෙළ සාහිත කෙත පෝෂණය කළ ටිබෙට් ජාතික මහින්ද හිමියන් අපවත් වූයේ 1951 මාර්තු 16 දින ය. කෘතඥතා පූර්වකව උන්වහන්සේගේ ගුණ සිහිපත් කිරීම අපගේ යුතුකමකි.

“මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද නුඹ ඔය බිම හාරන්නේ”

ළමයා සහ මුත්තා අතර සිදුවන සංවාදය ඔස්සේ වැඩිහිටියාගේ යුතුකම හා වගකීම පිළිබඳ, ළමා වියේ දී ම වැඩිහිටියන් වශයෙන් කළයුතු යුතුකම් පිළිබඳ උන්වහන්සේ බාල පරපුර දැනුවත් කළහ. සමාජ යුතුකම් සහ සාරධර්ම ජනතා සිත්සතන් තුළට කාවැද්දවීමට සමත් උපාය මාර්ගයක් කවිපද ඔස්සේ ඉතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට මහින්ද හිමියන්ට හැකි වූයේ කෙසේද යන්න වත්මන් පරපුරේ අප සැම විසින් අපගෙන් ම විමසිය යුතු කරුණක් නොවන්නේ ද?

පූජ්‍ය මහින්ද හිමියන්ගේ සමාජ සේවාව ගැන විමසා බලන විට විද්‍යා කෘති විසිනවයක්, ගද්‍ය කෘති එකොළසක් ඇතුළුව පුවත්පත් සහ සඟරා වෙනුවෙන් ලියන ලද ගැදි පැදි රැසක් මෙරටට දායාද කළ බව පාඨකයන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණකි. ළමා කවි මෙන්ම දේශානුරාගී කවිපද ඔස්සේ අප ජාතිය නින්දෙන් අවදිකිරීමේ මහා මෙහෙවරෙහි ප්‍රමුඛ නියමුවකු වශයෙන් උන්වහන්සේගෙන් සිදුවූ සේවය සදා අනුස්මරණීය වේ.

එම උදාර අරමුණ පෙරදැරිව “හිම ගිරෙන් හෙළදිවට වැඩිය යතිවරයාණෝ, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි” යන කෘතිය රචනා කළ පණ්ඩිත පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන්ට පුණ්‍යානුමෝදනා පෙරදැරිව එම කෘතියේ සඳහන් කරුණු ඇසුරින් පූජ්‍ය මහින්ද හිමියන්ගේ සුවිශේෂ සේවය පිළිබඳව විමසා බැලීම සඳහා මෙතැන් සිට කරුණු කිහිපයක් කෙටියෙන් පෙළගැස්වීමට යොමුවෙමි.

සිකිම් දේශය

1975 දී ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වූ සිකිම් රාජ්‍යය උතුරින් තිබ්බතය, බටහිරින් නේපාලය, නැඟෙනහිරින් භූතානය සහ දකුණින් ඉන්දියාවට මැදි වූ ස්වාධීන රාජ්‍යයක් විය. වසර පුරාම හිමෙන් වැසී පවතින, උසින් ලෝකයේ තෙවැනි තැන හිමි වන කඳු ශිඛරය වූ කන්චන් ජුංගා මුල් කොටගත් කඳු පන්තියකින් ආරක්ෂිත වු දේවදාර, ඕක්, සල් ආදී උස් ගසින් යුත් වනාන්තර සහ ඊට ආවේණික සත්ව විශේෂයන්, කුරුල්ලන්, උඩවැඩියා වැනි මලින් ගහණ වූ සශි‍්‍රක දේශයකි, සිකිම් රාජ්‍යය.

සිකිම් දේශයේ ජනවර්ගය ‘භූටියා’ නමින් හඳුන්වන යාබද තිබ්බත දේශයෙන් සංක්‍රමණය වූ පිරිසක් වූ අතර ආගම වශයෙන් මහායාන බුදුදහම අදහන්නෝ වෙති. පූජ්‍ය පක්ෂය ගිහි පිරිසක් වශයෙන් පෙනී සිටි අතර භූටියා බස්ති විහාරය ඔවුන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය විය.

සසුනට අරුතක්

භූටියා බස්ති විහාරයෙහි ප්‍රධාන පූජාචාරීතුමන් වූයේ නිම්පෙන්ජෝ සෙර්කි චෙරින් තුමා ය. ඔහුට දරුවන් හයදෙනකු සිටි අතර අපගේ ගෞරවයට පාත්‍ර වන මහින්ද හිමියෝ පවුලේ පිරිමි දරුවන්ගෙන් බාලයා විය.

1902 වසරේ උපත ලැබූ මෙම දරුවා පෙන්පා තෙන්දුප් නම් විය. එහි අරුත “ශාසනයට අර්ථයක් සිදු කරන්නා” බව පුජ්‍ය කමලසිරි හිමියෝ සඳහන් කරති.

පෙන්පා තේන්දුප්ගේ වැඩිමහල් සොහොයුරු වූ දවා සන්දුප් සිකිම් අගනුවර වූ ගැන්ටොක් හි නේවාසික සිප් හලෙහි ප්‍රධානාචාර්යවරයා විය. ඔහු සිය බාල සොහොයුරන් හා සොහොයුරියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා මෙම සිප්හලට ඇතුළත් කර ඇත.

සෙර්කි පවුලේ තුන්වන පිරිමි දරුවා වූ පූර්වාසෙර්කි පුඤ්ඤසාර නමින් පැවිදිව ලංකාවේ දොඩන්දූව පොල්ගස්දූව විහාරයේ වැඩවිසූ ජර්මන් ජාතික ඤාණතිලෝක හිමි යටතේ අධ්‍යාපන කටයුතුවල නියැළී ඇත. ඒ අනුව සෙර්කි පවුලේ බාල පිරිමි දරුවා වූ පෙන්පා තෙන්දුප් දරුවා ද කලිකුමාර නම් භික්ෂුවකගේ භාරකාරත්වය යටතේ ලංකාවට එවීමට වැඩිමහල් සොහොයුරු වූ දවා සින්දුප් විසින් කටයුතු කර ඇත.

ලංකාවට පැමිණි පෙන්පා තේන්දුප් දරුවා ද තවත් සාමණේර හිමිවරුන් දෙදෙනකු සමඟ දොඩන්දුවේ සරස්වතී මණ්ඩප පිරිවෙනෙහි අධ්‍යාපන කටයුතුවල නිරත විය. 1916 වසරේ දී පෙන්පා තෙන්දුප් ඇතුළු සාමණේර තෙනම දේවප්‍රතිරාජ පිරිවෙනෙහි අධිපතිත්වය දැරූ රත්ගම චූලසුමන නාහිමියන්ගේ ආචාරිත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.

උපසම්පදාව

පැවිදි සාමණේරවරුන් තිදෙනාම මහාබෝධි විද්‍යාලයෙහි අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණ ඇත. මහින්ද හිමියන්ගේ සහෝදර භික්ෂුව වූ පුඤ්ඤසාර හිමියන් සහ අනෙක් සිකිම් භික්ෂුව වූ ධම්මරතන හිමියන් වරින් වර රෝගාතුර වූයෙන් තිදෙනාම ආපසු සිකිම් දේශය වෙත යාමට අදහස් කළ ද ධම්මරතන හිමියෝ 1918 ජනවාරි මස අපවත් වූහ. මෙයින් පසුතැවිල්ලට පත් සිකිම් සාමණේරවරු දෙදෙනා ආපසු සිය මව්රට බලා පිටත් වූහ. එහෙත් මහින්ද හිමියෝ නැවත ලංකාවට පැමිණ සරස්වතී මණ්ඩපයෙහි අධ්‍යාපන කටයුතුවල යළි නිරතවූහ.

පසුව රත්මලාන පුරාණ රාජමහා විහාරයට සම්බන්ධ වූ අතර පළමුව අමරපුර නිකායෙන් ද, දෙවනුව රත්මලානේ රාජමහා විහාරයට අයත් සියම් නිකායේ ද පැවිද්ද ලබා ඇත.

1930 ජුනි 16 වැනි දින රත්මලාන පුරාණ රාජමහා විහාරාධිපති කිරිගල්පොත්තේ ධර්ම කීර්ති ශ්‍රී ධම්මාරාම ඉන්ද්‍රජෝති නායක හිමි ආචාර්ය කොටගෙන පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක හිමියන් වෙතින් දෙවැනිවර පැවිද්ද ලබාගෙන ඇත. ඉන් වසරකට පසු එනම් 1931 දී මහනුවර පුෂ්පාරාම උපෝසථාගාරයෙහි වාහල නාග යන නාමයෙන් උපසම්පදාව ලබා ගත් බව පූජ්‍ය කමලසිරි හිමියෝ සඳහන් කරති.

ආගමික හා සමාජීය මෙහෙවර -

මහින්ද හිමියෝ 1934 සිට 1936 දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙස සේවය කර ඇත. එම විද්‍යාලයේ ආචාර්යවරයකු වූ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන්ගේ ඇසුරට මහින්ද හිමියන් පත්වන්නේ මේ අවදියේ දී ය. එමෙන්ම ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ප්‍රමුඛව පෙර පර දෙදිග උගතුන් විසින් ආනන්ද විද්‍යාලය කේන්ද්‍රකොට ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ මෙම වකවානුව සිකිම් මහින්ද හිමියන්ගේ ප්‍රභාවය සශ්‍රීක වීමට මහෝපකාරී වී ඇත.

මහින්ද හිමියන් විසින් රචිත “ජාතික තොටිල්ල” පද්‍ය පන්තියෙහි ඇතුළත් දරු නැළවිල්ල, නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, ලංකා මාතා වැනි පද්‍ය කෘති එදාටත් වඩා අදට ගැළපෙන රට, දැය, සමය පුබුදුවාලීමේ පුනර්ජීවි ගුණයෙන් හෙබි කවි පද බව පසක් කළ යුතු ය.

“නිදහස් ගහේ ජාතික මල් පිපෙන තුරූ
ඇද වත්කරමු පපුවේ උණු ලේ වතුරූ
එද නොහැකි නම් නිවහල් මිනිහකු අයුරූ
වැඳ ලක් මවට අද අවසන් හුස්ම හරූ”

මෙවන් උද්වේගාත්මක දේශානුරාගී පද්‍යයෙන් හෙළදිව ජනතාව පුබුදුවා ලූ මේ විදේශික යතිවරයාණෝ 1951 මාර්තු 16 වැනි දින අපවත් වූහ. සිය උපන් බිම හෝ ලේ ඥාතීන් කිසිවකු නොදුටු උන්වහන්සේගේ මෘත දේහය කෘතවේදී හෙළ ජනතාව විසින් උන්වහන්සේ වැඩ විසූ පානදුරේ මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන ධර්ම ශාලාවේ තැන්පත් කොට දින 06ක් පුරා මහජන ගෞරව දැක් වූ බව පූජ්‍ය මිස්සක කමලසිරි හිමියෝ එම ග්‍රන්ථයේ සඳහන් කරති.

විදේශිකයකු වුව ද, ලක්දිවට පැමිණ එහි ජනතාවට, ආගමට, සාහිත්‍යයට හා ශාසනයට සිකිම් මහින්ද හිමියන් ඉටු කළ සේවාව අනූපමේය ය. එම නිසාම ටිබෙට් ජාතික මහින්ද හිමියන්ගේ ශ්‍රී නාමය ලක්මවගේ අමරණීය දූ පුතුන්ගේ නාමාවලිය සරසන තවත් මිණිපහනක් ම ය.