Print this Article


එකසිය තිස් වසරක් පුරා බොදු දන පුද ලබන වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම බෝධීන් වහන්සේ

එකසිය තිස් වසරක් පුරා බොදු දන පුද ලබන වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම බෝධීන් වහන්සේ

වැල්ලවත්තේ ශ්‍රී බෝධිරුක්ඛාරාමය ආරම්භ කරන ලද්දේ පාලි භාෂාව සහ ත්‍රිපිටක ධර්ම පිළිබඳ ව හසල දැනුමක් සහ ලොව උගතුන් අතර චිර ප්‍රසිද්ධ අතිපූජනීය වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමියන්ය. උන්වහන්සේ පාලි භාෂාවට මෙන්ම පානදුරාවාදයේ දී විශාල සේවයක් කළ මහා තෙරනමකි.

කලක් ලංකාවේ ආණ්ඩුකාර ධුරය ඉසුලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි මහතා මෙරටින් විශ්‍රාම ගොස් නැවත දිවයිනට පැමිණි අවස්ථාවක දී , අතිපූජනීය වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හාමුදුරුවන් දඹදිව බුද්ධගයාවේ වැඩ වෙසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගැනීමට සතුටු බව දැන්වීමෙන් පසු, එම මහතා විසින් බුද්ධගයාවේ ඒජන්ත ජි.ඒ ගිරිසන් මහතාට ඒ බව දන්වන ලදී .ඉන්පසු ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ශාස්ත්‍රානුකූලව මුල් අද්දවා ඒ බැව් අප අතිපූජනීය වස්කඩුවේ සුභූති නාහිමියන්ට දැන්වීමෙන් පසුව බෝධි ශාඛාව ලබා ගැනීම සඳහා සුමනතිස්ස මහ ස්ථවිරයන් ද , සරනෙරිස් සිල්වා ගුරුතුමා ආදී පිරිසක් දඹදිව බලා පිටත්ව ගියහ . එම කාලයේ දඹදිව වන්දනා පිණිස පැමිණ සිටි සියමයේ ඩැම්රොන් (Damron) කුමාරයා ලංකාවෙන් ගිය පිරිස වෙනුවෙන් බෝධි ශාඛාව ඉතාමත් ශ්‍රද්ධාවෙන් භාරගෙන සුමනතිස්ස මහා ස්ථවිරයන් වෙත පිළිගන්වා ඇත .

පසුව 1892 මාර්තු මස 15 වැනිදා සිට මාර්තු මස 27 වැනි දා දක්වා විශේෂ රන්සිවිගෙයක තබා කොටුවේ සිට දහස් ගණනක සාධු නාද මැද මහා පෙරහරින් වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයට වඩමවා දාවිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සැදැහැවත් බෞද්ධයන් විසින් රෝපණය කරනු ලැබූ වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය තවත් අතකින් ඓතිහාසික වන්නේ කපිලවස්තු පුරවරයෙන් හමු වූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව නිදන් කොට ඉදිකොට ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ නිසා ය .

මේ 27 වැනි ඉරු දින සවස දෙකට මහා බෝධින් වහන්සේට වසර 130 පිරීම නිමිතිකොටගෙන විශේෂ පුණ්‍ය මහොත්සවයක් විහාරාධිපති ශාසන සෝභන, සද්ධර්මාචාර්ය වස්කඩුවේ ධම්මිස්සර නා හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වේ . එදින විහාරාධිපති වස්කඩුවේ ධම්මිස්සර නාහිමි විසින් රචිත "බෝ රුක් අරමේ පුරාණය" නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමට නියමිත ය.