Print this Article


අතීත මුතුන්මිත්තන්ගේ දස්කම් විස්කම් සපිරි අරන්කැලේ ආරණ්‍ය සේනාසන පුදබිම

අතීත මුතුන්මිත්තන්ගේ දස්කම් විස්කම් සපිරි අරන්කැලේ ආරණ්‍ය සේනාසන පුදබිම

හරිත පැහැයෙන් දිස්වෙන දොලුකන්ද කඳු වැටියේ එක් කන්දක් පාමුල අරන්කැලේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ.අතීතයේ මලියදේව මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් භික්ෂූන් වහන්සේ මෙහි වැඩසිටි බව සඳහන්‍ වේ.

කටාරම් කෙටූ ලිපි සහිත ගල්ලෙන්වලට අනුව මෙහි සංඝාරාමයක් මුලින්ම ස්ථාපිත වූයේ ක්‍රි.පූ.2 - 1 අතර සියවස් අතර ය. ඓතිහාසික සාධක අනුව මෙම ආරණ්‍ය සේනාසනයේ ආරම්භය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් වේ.ගම්පොළ යුගය වනවිට මෙම පුදබිමෙහි ආගමික කටයුතු සිදුවූ බවට සාධක තිබේ.මහසෙන් රජුගේ පුත් ජෙට්ඨතිස්ස කුමරු විසින් ආරාම සංකීර්ණයක් කොට නිමවා ඇති බව ද සඳහන් වේ.


අරන්කැලේ ආරණ්‍ය සේනාසනාධිපති උඩුබද්ධාවේ ධම්මතිලෝක හිමි

අරන්කැලේ යන නම බිහිවූ ආකාරය ගැන ජනප්‍රවාදයේ මත කීපයක් පවතී. “ අරහතුන් වැඩ සිටි කැළය “ අරන්කැලේ වී ඇති බව එක් මතයකි.විශාල භික්ෂූන් වහන්සේ පිරිසකට වැඩ හිඳීම සඳහා ආරාම විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එලෙස “ ආරාමවලින් පිරුණු කැලය “ අරන්කැලේ වී ඇතිබව දෙවැනි මතයයි. “ගලේ දෙවිඳු තෙද පාමින් අරන් කැලේ - දිය යට සඟවලා යට කරපු රන් කළේ “ යනුවෙන් පැරැණි කවියක කොටසක් තිබේ.

රන් කළය සැඟවූ කැලය පසුව අරන්කැලේ ලෙස ව්‍යවහාර වූ බව තෙවැනි මතය යි.

අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රජු,වලගම්බා රජු,බුද්ධදාස රජු,සිරිසඟබෝ රජු,පොලොන්නරු යුගයේ 1වැනි බුවනෙකබාහු රජු,6 වැනි පරාක්‍රමබාහු රජු,නිශ්සංකමල්ල රජු, ආදී මෙරට පාලනය කළ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය මෙම බෞද්ධ සිද්ධස්ථානයට ලබා දී තිබේ.

ක්‍රි.ව.1890 දී පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සහ හෝකිට් යන අය විසින් මේ ස්ථානය පරීක්ෂණයට භාජනය කර තිබේ.

වර්තමාන අරන්කැලේ ආරණ්‍ය සේනාසනය නිර්මාණය කළේ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා පූජ්‍ය කහටපිටියේ සුමතිපාල අනුනාහිමියන් වේ.අනතුරුව පූජ්‍ය කිරිපෙද්බේ පියදස්සී නා හිමියන් සේනාසනාධිපති ලෙස කටයුතු කළහ.උන්වහන්සේගේ අපවත් වීමත් සමඟ වර්තමානයේ පූජනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි සේනාසනාධිපති ලෙස කටයුතු කරති.වත්මන් සේනාසනාධිකාරි ලෙස කටයුතු කරන්නේ ශාස්ත්‍රවේදී, දර්ශනපති, කොස්වත්තේ ධම්ම විමුක්ති හිමිපාණන් ය.

අරන්කැලේ ආරණ්‍ය සේනාසනය වැඳ පුදාගෙන නටබුන් ස්ථාන දැක බලා ගැනීමට තුරුලතා මඩුල්ල මැදින් මද දුරක් යනවිට පළමුව හමුවන්නේ මලියදේව ලෙන ලෙස සැලකේ.එය ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වැඩසිටි ලෙන බව කියයි.ඉන්පසු අප ඇතුළු වන්නේ පෙත්මඟට යි.එය දිගින් අඩි 1800 කි.ඉන්පසු පිළිවෙළින් චක්‍ර මණ්ඩපය , පධානගර ගොඩනැඟිල්ල,ගල් පියගැටපෙළ පිවිසුම,හඳුනා නොගත් ගොඩනැඟිල්ල,ගල් පොකුණ,සම්මුඛ ලෙන,සෝපානය,සීමා මාලකය,සක්මන් මලුව ,වැසිකිළිය - කැසිකිළිය - දෝවනය, ආරෝග්‍යශාලාව ( උණුපැන්හල ) යන අපගේ අතීත මුතුන් මිත්තන්ගේ දස්කම් විස්කම් දැකබලා ගත හැකි වේ.

අරන්කැලේ ආරණ්‍ය සේනාසනාධිපති උඩුබද්ධාවේ ධම්මතිලෝක හිමි මෙසේ අදහස් දැක්වූහ “ අරන්කැලේ ආරණ්‍ය සේනාසනය වෙත සැදැහැවතුන් වාහනවලින් පැමිණෙනවා.ඉතා අපහසුවෙන් තමයි ප්‍රධාන මාර්ගයේ සිට පිවිසුම් මාර්ගයේ එන්නේ.පිවිසුම් මාර්ගය අබලන් වෙලා.මීටර් තුන්සීයක් විතර කන්දට එන්න ඕන.වත්මන් සේනාසනාධිපති හිමිපාණන්ගේ උපදෙස් අනුශාසනා මත මේ වනවිට සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතිනවා.යෝගාවචර භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීම සඳහා කුටි නිර්මාණය කිරීම,පොහොය සීමා මාලකය ප්‍රතිසංස්කරණය කිරීම ,විහාර මන්දිරය ඉදිකිරීම ,සංඝාවාසය ගොඩනැඟීම , විශ්‍රාම ශාලාව ඉදිකිරීම ,මේ දිනවල සිදුකරනවා.මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ආධාර උපකාර අවශ්‍යම මොහොතයි මේ.ඔබත් මේ ස්ථානය වැඳපුදාගෙන අතීතයේ අප මුතුන් මිත්තන්ගේ දස්කම් විස්කම් දැක බලා ගන්නට පැමිණෙන්නට කියා ආරාධනා කරනවා.”