Print this Article


ලාංකේය සඟ පරපුරේ පහළ වූ අග්‍රගණ්‍ය වියත් පඬිරුවන අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන් වෙත මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය සිදු කෙරෙන වගය

ලාංකේය සඟ පරපුරේ පහළ වූ අග්‍රගණ්‍ය වියත් පඬිරුවන අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන් වෙත මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය සිදු කෙරෙන වගයි

මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී සරණංකරෝපසේන වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී ශ්‍රී සරණංකර ශාසනවංශාභිධජ සද්ධම්ම ජෝතික ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 14 වැනි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මහා නායක පදවිය පිළිබඳ පුණ්‍ය මහෝත්සවය 2022 මාර්තු මස 24 දින නිදහස් මන්දිරයේ දී සිදු කෙරේ.

****

ජාතික හා ජාත්‍යන්තර සම්මානයන්ගෙන් සම්මානයට පාත්‍ර වූ මහා තෙරනමකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධූරයට පත්වන්නට යෙදුණු අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශුභාශිංසනය පිරිනමන අතර ම පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් එළිදක්වනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහයට ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සංතෝෂයෙනි.

අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ව්‍යාවෘත ව්‍යක්ත මහ තෙර නමක් ලෙස තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නයේ නොමද සම්භාවනාවට පාත්‍රව සිටිති. සිය ශාසන සම්ප්‍රදායේ ආදි කර්තෘවරයාණන් වහන්සේලාගේ සුසමාදර්ශි ශාසන ගමන් මාර්ගය අනුගමනය කරමින් 1984 වර්ෂයේ සිටම රාමඤ්ඤ මහා නිකායේ නොයෙක් ඨානාන්තරයන් උසුලමින් සංඝ සෝභන ගුණයන්ගෙන් උපශෝභභිත ව රාමඤ්ඤ නිකායේ මෙන්ම ලාංකේය සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා උන්වහන්සේ විසින් සිදුකර ඇති සේවය ප්‍රශංසාර්භ ය.

අභිනව මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකර ඇති ධර්ම ශාස්ත්‍රීය සේවය වත්මන් තරුණ භික්ෂු පරපුරට සුවිසල් ආදර්ශයකි. පෙරාපර දෙදිග රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරමය කටයුතු සිදු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති මකුලෑවේ විමල මහා නාහිමියන් අග්ගමහා පණ්ඩිත උපාධිය ප්‍රමුඛ කොට ඇති බොහෝ ජාතික හා ජාත්‍යන්තර සම්මානයන්ගෙන් සම්මානයට පාත්‍රව ඇත.

තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සිත් දිනා ගනිමින් ගිහි පැවිදි උභයපාර්ශ්වයේ ම සම්භාවනාවට පාත්‍ර ව සිටින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ධුරයට පත් මකුලෑවේ විමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ශුභාශිර්වාදය ප්‍රකාශ කරන අතර ම, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි නිරත වන්නට උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.

****

බෞද්ධ අධ්‍යාපනයෙහි මහඟු මෙහෙවරක් කළ සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි

ශ්‍රී ලංකාවේ සඟ සසුන සෞභාග්‍යවත් වූයේ ශීල වෘද්ධ තපෝවෘද්ධ ගුණයන්ගෙන් සමන්විත සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේලාගේ ශාසනික සේවාව නිසාම බව ප්‍රකට කාරණයකි. ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එබඳු යතිවරයන් වහන්සේලා බොහෝමයක් වැඩ සිටි බව අප සිහිපත් කළ යුතු ය. එම නිකායේ වර්තමාන උත්තරීතර මහා නායක පදවියට අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පත්වීම අප අගේ කොට සලකන්නෙමු. උන් වහන්සේගේ ධර්ම විනයානුකූල පැවැත්ම සහ සංඝ සෝභනයෙන් පරිපෝෂිත සිල්වත් නිරහංකාර ගති පැවතුම් සහිත අල්පේච්ඡ ජීවන රටාව ඉතා ආදර්ශවත් ය.

උන්වහන්සේ ගුරු වෘත්තියට බැඳී පරිවේණාධිපති ධුරයට ද පත්ව බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවයක් ඉටු කළහ. දේශ දේශාන්තරයන්හි සංචාරය කරමින් ජාත්‍යන්තරයේ බෞද්ධාගම ව්‍යාප්ත කිරීම සහ බෞද්ධ දර්ශනය ප්‍රචළිත කිරීම සඳහා මහත් ශ්‍රමයක් කැප කොට ඇත.

උසස් අධ්‍යාපනයත්, ධර්ම විනයානුකූල ප්‍රතිමූර්තියත් නිසාම අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශී විමලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාවේ අනුමැතිය මත 14 වැනි මහා නායක ධුරයට සරණංකරෝපසේන වංසාලංකාර ශාසනවංශාභිධජ සද්ධම්ම ජෝතික ධර්ම කීර්ති ශ්‍රී සරණංකර යන ගෞරව නාම සහිතව සන්නස් පත්‍ර ප්‍රදානය පිළිබඳව අපගේ සුභාශිංසනය පළ කර සිටින අතර උන් වහන්සේගේ ආදර්ශවත් පැවිදි දිවියෙහි බහුශ්‍රැත අත්දැකීම් තුළින් ආගමික හා ශාසනික කටයුතු බොහෝමයක් ඉටු කිරීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන් ශක්තිය ධෛර්යය සහ නීරෝගී සම්පත්තිය ලැබේව'යි ආශිංසනය කරන අතර එම උත්තරීතර පදවි ප්‍රාප්තිය උදෙසා පවත්වන රාජ්‍ය උත්සවයේ කටයුතු සර්වප්‍රාකාරයෙන් ම සාර්ථක වේවා’යි ප්‍රාර්ථනා කරම්හ.

****

සසුනඹරෙහි පෑයූ ඕෂධී තාරකාවකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තෙළෙස්වන මහානායක ධූරයට පත් සිරිසරණංකරෝපසේන වංසාලංකාර, ශාසන සෝභන, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර ත්‍රිපිටක විශාරද, අග්ගමහා පණ්ඩිත,අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරෙහි පෑයූ ඕෂධී තාරකාවකි.

සංඝ ශෝභාකර ගුණ විශිෂ්ටතාවයෙන් යුක්ත වූ අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ආචාර්ය පරපුරේ සුවිශේෂී ගුණාංගවලට අනුගතව පැවිදි දිවිමඟ හැඩගස්වා ගනිමින් ස්ව භික්ෂු වංසයෙහි යසෝරාවය දසත පතුරුවාලීමට එදා මෙදා තුර ඉටු කළ මෙහෙය ප්‍රශංසනීය ය.

වර්ෂ 1984 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවට තේරීපත්වෙමින් 1987 දී කථිකාචාර්ය ධුරය ද , 1993 දී මීරිගම සංඝ සභාවේ අනුවිජ්ජක ධුරයද, 1996 දී ස්වනිකායේ ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ධුරය ද, 1998 දී කාරක සභික ධුරය ද, 2001 දී නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරි ධුරය ද, 2006 දී සඤ්ඤාලේඛකාධිකාරි ධුරය ද, 2011 දී මහෝපාධ්‍යාය ධුරය ද. 2012 අධිකරණ නායක ධූරය ද ආදී තනතුරු රාශියකින් පිදුම් ලැබූ මකුලෑවේ ශ්‍රී විමල නා හිමියෝ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි අභිධාන මහා නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධුරයට තේරීපත්වීමට තරම් වාසනාවන්ත වුහ.

අප සමඟ ද දිගු කාලයක් තිස්සේ සමීපව කටයුතු කරනු ලබන ථේරවාද භික්ෂු පරපුරේ පරමාදර්ශි චරිතයකින් හෙබි ව්‍යක්ත, විනීත, විශාරද, ධර්මකථිකත්වයකින් හා ධර්ම ශාස්ත්‍රීය පාණ්ඩිත්‍යයකින් හෙබි අග්ගමහාපණ්ඩිත මකුලෑවේ විමලාභිධාන මහා නායක මහා ස්ථවිරපාදයන් වහන්සේට අභිනව ධුරයේ කටයුතු මැනවින් ඉටුකිරීමට අවශ්‍ය කායික හා මානසික සුවතාවය තුණුරුවනේ ආශිර්වාදයෙන් සැලසේවා’යි ප්‍රාර්ථනා කරම්හ.

****

බෞද්ධ ප්‍රතිපදාව ආදර්ශයෙන් ම පෙන්වා දෙන සංඝ පීතෘවරයන් වහන්සේ නමකි

මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ධුරයට පත් අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයට ම ආලෝකයක් සපයන චරිතාදර්ශයකින් යුත් සංඝ පිතෘවරයෙකි. සංඝ සෝභන ගුණයන්ගෙන් ශෝභාවත් වූ උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මෙහෙයවීමේ වගකීම භාරගැනීම නිකායේත්, ශ්‍රී ලාංකේය සංඝ සමාජයේත්, අනාගත අභිවෘද්ධිය පිළිබඳ සුභ ලකුණකි. උන්වහන්සේගේ ආදර්ශවත් නායකත්වය නිකායටත්, පොදුවේ සංඝ සංස්ථාවටත් මහත් ශක්තියකි.

උන්වහන්සේ කිසිදා තනතුරු සොයා ගියේ නැත. අතිපූජ්‍ය මහා නායක ධුරය ඇතුළු උන්වහන්සේ දැරූ තනතුරු උන්වහන්සේ වෙත පැමිණි තනතුරු වේ. මීට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරි, මහෝපාධ්‍යාය, සඤ්ඤා ලේඛකාධිකාරි අධිකරණ ලේකම් හා අතිපූජ්‍ය අධිකරණ නායක හා අතිපූජ්‍ය අනුනායක යන තනතුරු බොහොමයක් උන්වහන්සේ දැරූ අතර ඒ සියලු තනතුරු බොහෝ දෙනාගේ ඉල්ලීම පිට උන්වහන්සේ භාරගත් තනතුරු වේ. ඒ හැම තනතුරකම වගකීම මැනවින් ඉටුකළ උන්වහන්සේට නිකායේ පරිපාලනය ගැන හා විවිධ අංශ ගැන මනා අවබෝධයක් හා අත්දැකීම් සමූහයක් ඇත.

උන්වහන්සේ තුළ කැපී පෙනෙන ගුණාංග අතර අනතිමානී බවත්, සරල බවත් විශේෂ තැනක් ගනී. උන්වහන්සේගේ තනතුර කොතරම් උසස් වුවත් උන්වහන්සේ ඇසුරු කරන, උන්වහන්සේ සමීපයට එන සියලු දෙනා කෙරෙහි ගෞරවයකින් උන්වහන්සේ කටයුතු කරති. අනතිමානී බවත් සමඟ බැඳි සුහදශීලි බව නිසා නිකායත්‍රයේ ම භික්ෂූන් වහන්සේලා අතර උන්වහන්සේට ඉහළ පිළිගැනීමක් ඇත. ලාභ, කීර්ති ප්‍රශංසා භෞතික සැප සම්පත් පිළිබඳ උනන්දුවක් නැති උන්වහන්සේ නිතරම සරල ව ජීවත් වන්නට උත්සාහ ගනිති. කීර්ති ප්‍රශංසාවලට හා භෞතික සැප සම්පත්වලට වහල් වුණු සමාජයකට උන්වහන්සේ බෞද්ධ ප්‍රතිපදාව ආදර්ශයෙන් ම පෙන්වා දෙති. නිකායත්, ශ්‍රී ලාංකේය සංඝ සමාජයත්, නිවැරැදි දිශාවට මෙහෙයවීමට, උන්වහන්සේට නිරෝගි සුවයෙන් යුත් චිර ජීවනය උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා’යි ගරු බුහුමනින් ප්‍රාර්ථනා කරමි.

****

මහා සංඝරත්නයේ පූර්වාදර්ශ නියමයන් හා ශාසනික වත සුරක්ෂිත කරන මහා යතිවරයන් වහන්සේ නමකි

මීරිගම, මිණිඔළුව, විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක ස්වාමීන් වහන්සේට මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දාහතරවන මහානායක ධුරයට පත්වීම පිළිබඳ නමස්කාර පූර්වකව සුබ පතමි.

සිල්වත්, ගුණවත් යතිවරයාණන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සෝභාවත් කළහ. අතිපූජ්‍ය මකුලෑවේ නාහිමිපාණන් වහන්සේ එහි වැඩ වාසය කළ මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ පූර්වාදර්ශ නියමයන් සහ ශාසනික වත එලෙසින්ම ආදර්ශ සම්පන්නව සුරක්ෂිත කරන මහා යතිවරයාණන් වහන්සේ නමකි.

අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ලද ආභාෂයත්, ධර්මයෙහි හා ප්‍රතිපදාවෙහි බහුශ්‍රැත බවත්, අනුව අභිනව මහා නායක ධුරය උන්වහන්සේ කෙරෙන් බැබළෙනු ඇතැයි විශ්වාස කරමි. අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ සඳහා වූ සියලු පරිචයන් පරිපූර්ණ බව උන්වහන්සේ පෙර ඉසිලූ තනතුරු හා වගකීම්වලින් පෙන්නුම් කරයි.

අප නාහිමිපාණන් වහන්සේ උතුම් පැවිදි භූමියට පත් වීමත්, මහා නායක ධුරයට පත්වීමත් පිළිබඳ උත්සවය එකම දිනයක යෙදී තිබීම උන්වහන්සේගේ යතිවර දිවියෙහි සුවිශේෂ දවසකි.

විද්‍යාලයීය උපගුරුවරයකු. පරිවේනාධිපතිවරයකු ලෙස බොහෝ පැවිදි ගිහි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ බව ද සිහිපත් කරමි.

ලේඛනයෙහි, දේශනයෙහි. සංවිධානයෙහි, පරිපාලනයෙහි උන්වහන්සේ සතු පරිචය ජාතික, ආගමික උන්නතියට බෙහෙවින් ඉවහල් වූ බව ද සිහිපත් කරමි.

ආසියාතික සහ යුරෝපීය රටවල් ගණනාවක වැඩම කරමින් සද්ධර්ම ප්‍රචාරය වෙනුවෙන් අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියෝ කළ මෙහෙවර ගිහි පැවිදි සියලු දෙනාගේ ගෞරවයට ප්‍රසාදයට හේතුවී තිබේ.

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

****

නිහතමානී හා ශික්ෂාකාමී ගුණයෙන් පිරිපුන් මහා තෙරනමකි

මීරිගම, මිණිඔළුව, විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, සිරි සරණංකරෝපසේන වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී සරණංකර ශාසන සෝභන, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, අග්ගමහාපණ්ඩිත මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තුදුස්වන මහා නායක ධුරයෙන් පිදුම් ලබන අතිගෞරවාර්හ මකුලෑවේ ශ්‍රී විමල නායක මා හිමිපාණන් වහන්සේගේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය වෙනුවෙන් එළිදක්වනු ලබන සමරු කළඹ සඳහා සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ. භක්ති පූර්වක වූ හදපිරි සතුටකිනි.

භික්ෂුවකට අවශ්‍ය සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ අධ්‍යනය කිරීමට උන්වහන්සේට තිබුණේ බලවත් ආශාවකි. ඒ නිසාම අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයට ඇතුළත්ව ත්‍රිපිටක ධර්මය සමඟ එකී භාෂාවන් ප්‍රගුණ කළ නායක ස්වාමීන් වහන්සේ, ඉන් නොනැවතී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි ලබා ගත්හ.

තමා ලබා ගත් ධර්ම ඥානය හා භාෂා ඥානය බෙදාදීම සඳහා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය, අලව්ව ශ්‍රී රාහුල පිරිවෙන, මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන යන පිරිවෙන් ගණනාවක ම තම සේවය ඉටුකළ නායක ස්වාමීන් වහන්සේ පසුව ස්ව නිකාය වෙනුවෙන් ද තම සේවය ඉටුකළහ .

උන්වහන්සේ තුළ තිබූ ව්‍යක්ත විශාරද, විනීත හා පරිපූර්ණ, නායකත්ව ලක්ෂණ නිසාම නිකායේ විවිධ තනතුරුවලට තේරීපත්වූයේ නිකායේ භික්ෂු මහා සංඝයාගේ බලවත් ප්‍රසාදය මත ය.

තෛ‍්‍රනිකායේ ම ගෞරවාදරයට පාත්‍ර වූ සිල්වත් ගුණවත් මහා තෙරනමක් වූ අපවත්වි වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේගෙන් හිස් වු එම ධුරය භාරගෙන නිකායේ සංවර්ධනය, සුභසිද්ධිය හා දියුණුව උදෙසා ඇපකැප වන ලෙස අභිනව මහා නායක මහා ස්වාමීන් වහන්සේට ආයාචනා කිරීමට සිදුවූහ.

එයින් ප්‍රචළිත වන්නේ උන්වහන්සේ තුළ තිබූ නිහතමානී බව හා ශික්ෂාකාමී බවයි. ස්ව නිකායේ පමණක් නොව මුළු මහත් භික්ෂු සංඝයා වහන්සේගේ ම සංඝ සාමගි‍්‍රය සඳහා වියත්, ගුණවත්, සිල්වත් මහා තෙරනමක් වූ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේ මහා නායක ධුරයට පත්වීම මා පමණක් නොව මුළු තෛ‍්‍ර නිකායික භික්ෂු මහා සංඝයා වහන්සේ ම සතුටට පත්වන කරුණකි.

ස්ව නිකායට පමණක් නොව සසුන් කෙතටම වැඩදායි මහඟු මෙහෙවරක් අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑව් ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේට ඉටු කිරීමට හැකි වන බව මාගේ බලවත් විශ්වාසයයි.

එම කටයුතු වඩාත් ශක්තිමත්ව, ඉටුකිරීමට මහා නායක ස්වාමීන් වහන්සේට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, නිදුක් නිරෝගී භාවයත්, චිර ජීවනයත්, තෙරුවන් සරණින් ලැබේවා’යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.