Print this Article


සදහම් අරණ

සංඝමිත්තා තෙරණින් වහන්සේ

භාරතයේ සිටි මහා අධිරාජ්‍යයා වූ ධර්මාශෝක රජුගේ දියණිය ලෙස සුන්දර කුමරියක් උපත ලැබීය. ඈ නමින් සංඝමිත්තා කුමරිය විය. ඇයට මහින්ද නමින් සහෝදරයෙක් ද විය. බුදු සසුනේ උන්නතිය සඳහා සංඝමිත්තා කුමරියත්, මහින්ද කුමරුත් පැවිදි බව ලැබීය. මිහිඳු මහ රහතන් වහන්සේ ලක් දිවට වැඩමකොට බුදු සසුන ස්ථාපිත කළහ. ඉන්පසු සඟමිත් තෙරණිය ද ලංකාවට වැඩම කළහ. එතුමියගේ ලංකා ගමනයෙන් පසු ලංකාවේ කාන්තාවන්ට බුදු සසුන විවෘත විය. උන්වහන්සේ අප සිරි ලක් දීපයේ ම පිරිනිවනට වැඩි සේක.

****

අහිමි සිනහව

සිනහවෙන් හද සපිරි ජාතිය මාස් එකකට හිරවෙලා
ඇඳිරි නීතිය ඉගිල ගිය දින මාස් එක නැත නැතිවෙලා
කොරෝනාවේ සෙවණැල්ල උඩ කෙලෙස ඉන්නද නැගිටලා
වසංගත බිය දුරුව ගිය කල නගමු ජය හඬ තුටු වෙලා

****

මගේ රට

මේ රට මගෙයි මා ඉපදුන රටයි
සිරිලක කියා පවසන රට මගෙයි
මුතු ඇටයක් ලෙසින් දිලෙනා රට අගෙයි
රට රැක ගැනීම සැමගෙ යුතුකමයි

****

සෙංකඩගල මාතාවනි

දිලෙන දළදා මැදුර වැජඹෙයි
මන්දිරේ රන් පියන් සෙවණින්
නැඟෙන දියරැළි නීල වාපිය
ගෙනෙයි සිසිලස සෙනෙහසින්

හමන මදනල පවා සුවයකි
ඈත බහිරව කඳු දෙසින්
සවන පිනවන සියොත් නාදය
දනට ආසිරි දෙයි යෙහෙන්

නඟින හන්තානයේ ගිරිකුල මහා
සරසවියෙහි තෙදින්
වියන තුරුහිස් කුණ්ඩසාලේ
තවත් සැනසුම දෙයි සොඳින්

නමින් සෙංකඩගලයි මේ
පිනෙන් සරු බිම ඒ ලෙසින්
පෙමින නමදිමි දිවිය ඇති තුරු
මගේ නගරය හද බැතින්

****

හොඳ ළමයා

හොඳ ළමයා නිතරම තෙරුවන් නමදිනවා. පන්සලට ගියවිට හාමුදුරුවන්ට පසඟ පිහිටුවා වඳිනවා. හොඳ ළමයා හොඳට ඉගෙන ගන්නවා. වැඩිහිටියන්ටත් සලකනවා. කරදරයක් වූ අයට උදව් කරනවා. මමත් හොඳ ළමයෙක්.

****

විදුමවගෙන් පණිවිඩයක්

පෙර සිට ඇදුරිඳු දූ දරු සෙනෙහස අද නැතිවද මා හට ඇත්තේ
පාළුව තනිකම දරා සිටිමි මම ඔබ සැම එනතුරු මතු දිනයේ
මා නොමැතිව දූ පුතුනේ ඔබ සැම කෙලෙසක දෝ ජීවිතය විඳින්නේ
මගෙන් මිදී අද අකුරු කළත් ඔබ කිසිදින නොමඟට නොයනු පුතේ

අපමණ වෙහෙසව සිප්කිරි පෙවුමට ඔබ ගන්නා දිරි මා දන්නේ
මා මෙහි ඔබ එහි දරුවන් වෙනතක ඇදුරාණෙනි අප වෙන්වී ගොසිනේ
මේ දුක සඟවා අදත් හෙටත් පුදනෙම් විදුමාතා සෙනෙහේ
‘ලොව්තුරු ගුරුපති’ දෙසූ පරිද්දෙන් ඉවසීමයි දැන් කළ යුත්තේ

මාගේ විදුමාතාවගේ, (රත්නපුර ජේසුබිළිඳාගේ කන්‍යාරාම ජාතික පාසලේ) 97 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ලියමි.

****