Print this Article


කුමාර පේ‍්‍රත වස්තුව: අකුසලයේ විපාකය විඳවන හැටි...

කුමාර පේ‍්‍රත වස්තුව:

අකුසලයේ විපාකය විඳවන හැටි...

කොසොල් මහ රජතුමාට පුත්‍රයන් දෙදෙනකු සිටියහ. මොවුන් දෙදෙනා පරදාර සේවනයෙහි යෙදී අකුසල් කර්ම කොට පේ‍්‍රත ලෝකයෙහි ඉපදුණි.

දිය අගලක් මතුපිට උපත ලද මෙම පේ‍්‍රතයන් රාත්‍රී කාලයෙහි භයානක ශබ්ද නඟා කෑ ගසති. මේ ශබ්දයට මහජනයා බියට පත් වූහ. බියට පත් වූ ජනයා බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙත සපිරිකර සඟ ගත දක්ෂිණාවක් පිරිනමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පුවත දන්වා සිටියහ.

බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරමින් පේ‍්‍රතයන් කෑමොර දීමට හේතුව වදාළහ.

කිං තතෝ පාපකං අස්ස
යං තෝ රාජකුලං චුතා
උප්පන්නා පෙත්ති විසයං
ඛුප්පිපාසා සමප්පිතා

පව්කම් කොට රජ කුලයෙන් චුත ව පේ‍්‍රත ලෝකයෙහි ඉපදුනි. සා පිපාසා දුකින් පීඩිත විය. පෙර අත්බවේ දී කළ කම් පල විඳින්නේය.

මෙලොව විශාල සම්පත් හිමිව ධනවත් ව සිට පව්කම් කොට ඒ උසස් මිනිස් ලොවින් චුතව පේ‍්‍රත ලොව ඉපිද අනන්ත දුක් විඳිමින් සා පිපාසාවෙන් පෙළේ කියමින් ඔවුන් කෑමොර දෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුමාර පේ‍්‍රත වස්තුව දේශනා කරමින් පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කොට වදාළ සේක.