Print this Article


දියුණුවේ රහස

දියුණුවේ රහස

සතුට පරම ධනය බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ සේක. උන්වහන්සේගේ ජීවිතය පුරාම සංවිධානාත්මක බව දකින්නට හැකිවිය. එයට හොඳම නිදසුන නම් දවස කොටස් පහකට බෙදා ගෙන ක්‍රියා කිරීම යි. කාලසටහනකට අනුව ක්‍රියා කිරීම යි. බෝසත් චරිතය තුළින් ද පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී තුළින් ද කියන්නේ ක්‍රමවත් ව තම කටයුතු සම්පූර්ණ කළ අයුරුයි.

ඕනෑම ජීවිතයක් සාර්ථක වන්නට ඒ ජීවිත තුළ සංවිධානාත්මක බව, ක්‍රමවත් බව තිබිය යුතුයි.

ඔබ සිටුවන ලද පැළයකට කලට වේලාවට වතුර පොහොර දමන විට නිසි ඵල නෙළන්නට හැකියි. එසේම ඔබේ ජීවිතයටත් සුදුසු කල ධර්මය නැමැති ඖෂධය ලබා ගැනීමෙන් ධර්මය නමැති අමා පැන් ඉසීමෙන් උසස් ම ප්‍රතිඵලය ලබාගත හැකි වෙනවා.

එදා කුම්භඝෝෂක උට්ඨාන වීය¸යෙන්, සිහිකල්පනාවෙන් විමසා බලා කටයුතු කිරීමෙන්, දැමුණු ඉඳුරන් ඇතිව ක්‍රියා කිරීමෙන් අප්‍රමාදී ව කටයුතු කිරීමෙන් ඔහුගේ යසස කීර්තිය පතුරවන්නට හැකිවිය.

ඔබේ ජීවිතය සාර්ථක වන්නට මේ වටිනා ගුණ දහම් මතුකර ගත යුතු ය. ඔබේ කටයුතු කිරීමේ දී ද අවශ්‍ය දේ තෝරා ගැනීමටත්, අනවශ්‍ය දේ බැහැර කිරීමටත් පුරුදු විය යුතුයි. උපකරණ භාවිතයෙන් පසු නැවත තිබූ තැන තැබීම ඉතාමත් අගනේ ය. හොඳ පුරුදු නැවත නැවත කළ යුතුයි. ස්වයං නිරීක්ෂණය, විවේචනය තම දියුණුවට හේතු වෙනවා. තමාගේ අඩුපාඩු ගැන තමා නිතර සෙවිය යුතුයි. එදා රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේ සෑම උදෑසන ම ප්‍රාර්ථනා කළේ මේ වැලි දෝතේ තරමට මට අවවාද අනුශාසනා ලැබෙන්න කියා ය.

ඔබත් ඔබේ ජීවිතයට කෙනකු අවවාද අනුශාසනා කරන විට එය වරදක් කොට නොසිතන්න. ඔහු නිධානයක් පෙන්වන්නේ යැයි සිතන්න. සාමකාමි වටපිටාවක් ද ගොඩනැඟෙන්නේ එවිට ය. එය මොනතරම් සුන්දර ද?

ඉවසීම, කාරුණික බව, අලසකමින් තොරව ක්‍රියා කිරීම, තම වගකීම් නිසි ලෙස ඉටු කරලීම තම යුතුකම් ඉටු කිරීම, සතුට ළඟා කර ගැනීමේ රහස් වන්නේ ය. එවිට “ඉධ නන්දති පෙච්ච නන්දති” මෙලොව පරලොව දෙකෙහි ම සතුටු විය හැකි වන්නේ ඔබට ම ය.