Print this Article


සම්බුදු සසුන ඒකාෙලා්ක කරන බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්ම පටිපන්න අතිපූජ්‍ය මකුලෑෙව් ශ්‍රී විමල මහා නාහිමිපාණන් වහන්ෙස්

සම්බුදු සසුන ඒකාෙලා්ක කරන බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්ම පටිපන්න අතිපූජ්‍ය මකුලෑෙව් ශ්‍රී විමල මහා නාහිමිපාණන් වහන්ෙස්

අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහා නායක මාහිමිපාණෝ සම්බුදු සසුනටත්, අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමි, අතිපූජ්‍ය නාපාන පේමසිරි වැනි සම්භාවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා පස් නමක් යටතේ තම නිකායටත් අමිල මෙහෙවරක් ඉටුකර ඇති ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම පටිපන්න දෙස් විදෙස් සුපතළ තෛ‍්‍ර නිකායේ ම සම්භාවනාවට පාත්‍ර වූ මෙරට සඟ පරපුරේ පහළ වූ අග්‍රගණ්‍ය වියත් පඬි රුවනකි. වර්තමාන භික්ෂු සමාජයට ම ආදර්ශවත් මහ තෙර නමකි.

උන්වහන්සේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ 45, නැඟෙනහිර කෝරළයේ ගල්ගමුව, මකුලෑව නම් සොඳුරු ගම් පියසේ ජන්ම ලාභය ලැබුවේ 1948 නිකිණි මස 25 වැනි දා ය. පියාණන් හේරත් මුදියන්සේලාගේ පුංචිරාල නම් වූ අතර මෑණියෝ ඉමියා මුදියන්සේලාගේ කිරිමැණිකේ නම් වූහ. මේ පින්වත් දෙමව්පියෝ සිංහල බෞද්ධ ගැමි සංස්කෘතියට අනුව යමින් තම දරුවාට කිරිබණ්ඩා යැයි නම් තැබූහ. නිසි කල වයස එළැඹි පසු මූලික අධ්‍යාපනය සඳහා යොමු කළේ නිතලව ඤාණිස්සර පාසලට ය.

නිතලව ගම්පියස සසුනට ලැදි සසුන් කෙත බැබළ වූ පින්වත් පිරිසක් විසු පෙදෙසකි. එම පෙදෙසට හිමි සසුන් උරුමය අනුව යමින් එච්.එම්. කිරිබණ්ඩා නම් කුල කුමරුවා පූජ්‍ය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා පූජ්‍ය වේවැල්දෙණියේ නන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1960 මාර්තු මස 24 දින මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරයේ දී මකුලෑවේ විමල නමින් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් විය. පැවිදි බිමට පත් වූ උන් වහන්සේ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන පූජ්‍ය පණ්ඩිත පිදුමේ රතන, පූජ්‍ය පණ්ඩිත ලෝලුවාගෝඩ ඤාණරතන යන මහා තෙරවරුන් වෙතින් පැවිද්දට අදාළ මූලික බණ දහම් ප්‍රගුණ කළහ.

අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1971 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව එවකට එහි ප්‍රථම පීඨාධිපති පදවිය හෙබවූ අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේ, අමරපුර සද්ධම්ම වංශික මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය බලපිටියේ විශුද්ධාලෝක, රත්මලාන පුරාණ විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය කොටනෙළුවේ චන්ද්‍රජෝති , අතිපූජ්‍ය හපුගොඩ නන්දාරාම, අතිපූජ්‍ය අම්බලන්ගොඩ පඤ්ඤාවංස , අතිපූජ්‍ය හීන්පැල්ලේ ඉන්ද්‍රවංස යන මහා ස්වාමීන් වහන්සේලා හා අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කබලෑවේ පියභාරති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි පින්වත් වියත් මහා යතිවරුන් ඇසුරේ උසස් අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූහ.

ඒ අතරතුර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාවේ ත්‍රිපිටකාචාර්ය උපාධිය ද, 1976 දී එම සභාවේ ත්‍රිපිටක විශාරද උපාධිය ද හිමිකර ගත්හ. 1982 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි ගෞරව උපාධිය ද, 1990 වර්ෂයේ දී එම විශ්ව විද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ද හිමිකර ගත්හ.

1969 ජුනි 29 වන දින කොළඹ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වූහ.

උසස් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු අප මහා නාහිමිපාණෝ කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් ද මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස ද පසුව පරිවේණාධිපති වරයකු වශයෙන් ද අලව්ව ශ්‍රී රාහුල පිරිවෙන් පරිවේණාධිපතිවරයෙකු වශයෙන් ද පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළහ. උන්වහන්සේ සිදු කළ ශාස්ත්‍රීය සේවය අතර ස්වකීය විහාර පරම්පරාවේ විශිෂ්ට යතිවරයකු වූ සඤ්ඤා ලේඛකාධිකාරි ධූරයක් හෙබවූ නිතලව ඤාණිස්සර නාහිමියන් විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන සුරක්ෂිතව රැක ගැනීමත් ඒ ශාස්ත්‍රීය ලේඛනවල ඇති පිටපත් ව්‍යාකරණ රත්නාකරය ඇතළු ශාස්ත්‍රිය ලේඛන රැසක් මුද්‍රණය කිරීම, සීමා මාලකයේ දී උපසම්පදා ලබන නවක උපසම්පදා ලාභීන් සඳහා පොහොය විනය කර්ම කිරීමේ පිළිවෙළ හා වෙනත් විනය කර්ම විධි නම් වූ විනය කර්ම ග්‍රන්ථය මුද්‍රණය කර නොමිලේ බෙදා දීම, පරියත්ති ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය වැනි ශාස්ත්‍රීය සඟරාවල සංස්කාරකවරයකු ලෙස කටයුතු කිරීම ද, කැපී පෙනේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වන අප මහා නාහිමිපාණෝ

1984.06.30 ශ්‍රී සරණංකරෝපසේන සංඝ සභාවේ ලේඛකාධිකාරි ධුරයටත්, 1984.07.07 පරියත්ති පාලක සභාවටත්, 1984 වර්ෂයේ කර්මාචාර්ය ධුරයටත්, 1993.03.12 මීරිගම ප්‍රාදේශීය සංඝ සභාවේ අනුවිජ්ජක ධුරයටත්, 1996 වර්ෂයේ ජ්‍යෙෂ්ඨානුවිජ්ජක ධුරයටත්, 1998.03.28 කාරක මහා සංඝ සභාවටත්, 2006.10.03 පූජ්‍යතර සඤ්ඤා ලේඛකාධිකාරි ධුරයටත්, 2011.03.31 පරියත්ති සංවද්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයටත්, 2011.11.26 අතිපූජ්‍ය මහෝපාධ්‍යාය ධුරයටත්, 2012.10.19 අතිපූජ්‍ය අධිකරණ නායක ධුරයටත්, 2020.09.25 දින අතිපූජ්‍ය අනුනායක ධුරයටත් පත් වූහ.

මීට අමතරව ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සාමාජිකත්වයටත් පසුව එහි කාරක සභාවටත්, 2000 වර්ෂයේ සිට මහාබෝධි සමාගමේ යාවජීව සාමාජිකත්වයටත් උන් වහන්සේ පත්වූහ.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව, පකිස්ථානය, කැනඩාව, ඉතාලිය, ඕස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් රැසක ධර්ම දූත සේවය සිදුකර ඇති උන්වහන්සේ ඉන්දියාවේ සාංචි විහාරයේ දීර්ඝ කාලයක් වැඩවාසය කරමින් විශිෂ්ට ලෝක ශාසනික සේවයක් ඉටුකර ඇත.

අප මහා නාහිමිපාණෝ සිදුකළ ලෝක ශාසනික සේවය අගය කරමින් උන්වහන්සේ වෙත ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්ති ධර, සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසන සෝභන යන ගෞරව සම්මාන උපාධි රැසක් ද ප්‍රදානය කර ඇත.

එසේම 2019 මාර්තු 20 දින මියන්මාර්( බුරුමය) රජය අග්ගමහා පණ්ඩිත උපාධිය එම රටේ දී පිරිනමා ඇත.

වර්තමාන ගිහි පැවිදි සමාජයේ බොහෝ දෙනා තනතුරු සොයා යන යුගයේ අප මහා නාහිමිපාණෝ තමන් වහන්සේට ලැබෙන තනතුරු අත් හරිමින් විශිෂ්ට බුද්ධ පුත්‍රයකුගේ පූර්වාදර්ශ ලක්ෂණ අවස්ථා කිහිපයක දී ම සනාථකර ඇත.

තම තමන් වෙත තනතුරු ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් පසු පස යන මෙවන් කාලයක අප නාහිමිපාණන් වහන්සේට පදවි තානාත්තර බාර ගන්නා ලෙස ආයාචනා කිරීම ද කැපී පෙනේ. මෙම උතුම් පදවියට පත්වීම ද ඊට හොඳම උදාහරණයකි.

මෙවැනි උතුම් ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පෝෂිත ශීලාදී නේක ගුණයන්ගෙන් සමලංකෘත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නායක මාහිමිපාණන් වහන්සේට එම පදවියේ කටයුතු කිරීමට උතුම් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා.