Print this Article


වසර සියයකට පෙර අපවත්වී වදාළ  රාජ පූජිත පෑලව ශ්‍රී ධම්මරතන නාහිමිපාණෝ

වසර සියයකට පෙර අපවත්වී වදාළ  රාජ පූජිත පෑලව ශ්‍රී ධම්මරතන නාහිමිපාණෝ


ශ්‍රී ධම්මරතන නාහිමියන් වැඩසිටි බටගලු පරපුරේ ප්‍රධාන විහාරය
බටගල්ල සුධර්මාරාම රාජමහා විහාරය

"උන්වහන්සේ අපවත්වී වසර සියයක් සපිරෙන මෙම යුගයේ දී කෘතවේදී ගිහි පැවිදි සෑම දෙනාගේ සහභාගීත්වයෙන් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. විශේෂ ගුණසමරු උත්සවය ගිහි පැවිදි ප්‍රභූ උතුමන්ගේ හා සැදැහැවත් මහජනතාවගේ සහභාගීත්වයෙන් 2022 මාර්තු 26 වන දින ප.ව. 02.00ට මහනුවර මහලේකම් කාර්යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ය."

දහනවවන සියවසේ අගභාගයේ පටන් විසිවන සියවසේ මුල් දශක දෙක අවසාන වනතුරු වසර 50ක් පමණ කාලයක් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන අතිමාත්‍ර ලෝක ශාසනික සේවාවන් හි නිරත වූ රාජ පූජිත පෑලව ශ්‍රී ධම්මරතන නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2022.01.01 දිනට වසර සියයක් සම්පූර්ණ වෙයි.

ක්‍රි.ව. 1851 මැයි මස 13 දින යටිනුවර ඓතිහාසික ගන්නෝරුව රණදෙරණට යාබද පෑලව ග්‍රාමයේ දී උන්වහන්සේ උපත ලැබූහ. බෝධාහාර පරම්පරානුයාත සමරක්කොඩි බෝධිගුත්ත දම්පතීන් දයාබර මව්පියන් වූ අතර ගිහි නම වූයේ බෝධිදාස සමරක්කොඩි යන්නයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලක්දෙරණ යටත්ව පැවති එම යුගයේ දී පෑලව විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. එමෙන්ම ගමේ විහාරස්ථානය ඇසුරු කරමින් නිති පන්සිල්, පෝය අටසිල් ආරක්ෂා කරමින් ආගමානුකූල ජීවිතයකට යොමු විය. මේ නිසා පුරාකෘත පුණ්‍ය මහිමය ද හේතු කොටගෙන සමරක්කොඩි කුමරුවා නව යොවුන් වියේ දී ගිහි දිවියට වඩා ශාසනික පිළිවෙතට ඇලුම් කළේ ය.

මෙම කාලයේ දී මහනුවර කේන්ද්‍ර කරගත් උඩරට පළාත්වල උඩරට අමරපුර සමාගමේ භික්ෂූන් වහන්සේලා ගම් නියම්ගම් හි සැරිසරමින් පොදු මහජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පැවැත්වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම අමරපුර සමාගමේ ප්‍රථම මහා නායක සංඝානන්ද ඝනප්පධාන අතිපූජ්‍ය උඩගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායව, පූජ්‍ය පල්ලේගම සෝමානන්ද ස්වාමීපාදයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ශ්‍රී.බු. ව. 2420 දී මැයි මස 08 වැනි දින සමරක්කොඩි තරුණයා ධම්මරතන නමින් පැවිදි විය. පැවිදි වන විට විසි වයස් සපුරා සිටි පෑලව ධම්මරතන හෙරණපාණෝ උගතමනා මූලික බණදහම් හදාරා නොබෝ කාලයකින් ම අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වූහ.

අනතුරුව තවදුරටත් ධර්ම විනය සහ භාෂා ශාස්ත්‍ර උගෙනීමට අදහස් කළ ධම්මරතන හිමියෝ එවකට දකුණුලක වැඩසිටි විද්වත් මහා පඬිරුවනක් වූ අතිපූජ්‍ය අම්බලන්ගොඩ දේවානන්ද මහා ස්වාමීන් වහන්සේ වැනි ව්‍යක්ත විශාරද යතිවරයන් වහන්සේලාගේ ඇසුරට පත් වූහ.


බුරුමයේ තිබෝ මහරජතුමා පෑලව
ශ්‍රී ධම්මරතන නාහිමියන් වෙත පිළිගැන්වූ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ

මෙසේ වසර කීපයක් එකී සම්භාවනීය මහා සංඝරත්නය සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගත් ධම්මරතන හිමියන්ට දඹදිව බුද්ධභූමි වන්දනා කර ගැනීමට හා බුරුම රටෙහි සංචාරය කිරීමට ද අවස්ථාව උදා විය. ඒ අනුව ක්‍රි.ව. 1877 මැයි 17 වැනි දින පහත රට ස්ව නිකායික කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ කීපනමක් සමඟ ගාලු වරායෙන් නැව් නැග්ගාහ.

මෙම ගමනට කැපකරු දායක මහත්මා වශයෙන් සහභාගි වූයේ උඩරට පළාතේ ඉතා ප්‍රසිද්ධ බෞද්ධ ජන නායකයකු වූ කොබ්බෑකඩුව මහ දිසාපතිතුමා ය. පළමුකොට ම දඹදිව බුද්ධභූමි වන්දනා කරගෙන ජූනි 26 වැනි දින බුරුම රට බලා පිටත් වූහ. එරට බොහෝ වැදගත් සිද්ධස්ථාන වන්දනාමාන කරගෙන සැප්තැම්බර් 07 වැනි දින මණ්ඩලේ නුවරට හෙවත් අමරපුරයට වැඩමකළහ.

එහිදී තමන් වහන්සේ ලංකාවේ දී ලබාගත් උපසම්පදාව ප්‍රතික්ෂේප කොට ඤාණින්දාභි සිරි කවිධජ මහාධම්ම රාජාධිරජාගුරු නම් සංඝරාජයන් වහන්සේ උපාධ්‍යායවැ මහාවිහාර පරම්පරානුයාත සුපරිශුද්ධෝපසම්පදා භූමියට පත් වූහ.

මහා විශාරද පඬිවරයකු වශයෙන් ගිහි පැවිදි සැම දෙනාගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වී සිටි ලක්මිණි පහණ පත්‍රයේ කර්තෘවර බුද්ධශාසන මහාසූරසේනාපති ධර්මරත්න ශ්‍රීමතාණන් මේ කාලයේ දී බුරුම රටේ ලංකාරාමයේ විසී ය. එතුමා අතිපූජ්‍ය පෑලව ධම්මරතන හිමිපාණන් වහන්සේගේ ශීලාදි ගුණසම්පත්තිය කෙරෙහි පැහැදී බුරුම රටෙහි වැඩ සිටින තුරු කළ යුතු ඇප උපස්ථාන සහ සත්කාර සම්මාන ආදිය මහත් හරසරින් සිද්ධ කළේ ය. ධර්මරත්න පඬිතුමා ලක්දිවට පැමිණි පසුව ද ගරු ධම්මරතන නාහිමියන් වහන්සේ සමඟ සමීප කල්‍යාණ මිත්‍රයකු වශයෙන් කටයුතු කළේ ය. ක්‍රි.ව.1916.08.21 දින ධර්මරත්න පඬිතුමා විසින් ධම්මරතන නාහිමියන්ට උපහාර පිණිස එවූ ලිපියක මෙසේ සඳහන් වෙයි.

" මීට අවුරුදු හතළිස් ගණනකින් මත්තෙහි මහනුවර දිස්ත්‍රික්කයට ඇතුළත් වූ බටගල්ල ප්‍රදේශයේ වැඩවසන ධම්මරතන නායක ස්ථවිරයන් වහන්සේ තවත් භික්ෂූන් හා සමඟ බුරුම රට මණ්ඩලේ නුවර මෙන්ඩුන් නම් ධම්ම සංගායනාකාර මහා ධම්ම රාජාධිරාජතුමාණන්ගේ කාලයෙහි මෙම ස්ථවිරතුමා කොබ්බෑකඩුවේ බණ්ඩාර මහතාත් සමඟ එම නගරයට පැමිණ අපි විසූ ලංකාරාමයට පැමිණි කල්හි අප විසින් දීපාලංකාර මහා ධම්ම රාජාධිරාජ ගුරු වූ මහා ස්ථවිරතුමන්ට හඳුන්වා දී මහ රජතුමාට දන්වා පිරිසත් සමඟ උපසම්පදා කරවා එහි වසන තෙක් කල් මුළුල්ලේ සිවුපසයෙන් උපස්ථාන කොට සිය රටට ඒමට කැමැති වූ කාලයෙහි මහ රජතුමාගේ සිවුරු ආදී පිරිකර පිළිගනිමින් නැව් ගාස්තු ආදී සියලු වියදම් දීමෙන් ලංකාවට පිටත් කරවන්ට යෙදුනේ ය. මේ බටගල්ලේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේ තරම් සිල්වත් ගුණවත් ආපත්ති භීරුක භික්ෂුනමක් සිංහල ජාතියේ කොයි නිකායකින් වත් සොයා ගැනීම ඉතා අපහසු කරුණකි. ඒ බව බොහො කල් ආශ්‍රය කිරීමෙන් හස්තාමාලකයක් මෙන් නිශ්චය කර ගනිමු." (මෙවගට ඇම්.ධර්‍මරත්න වම්හ)

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අමාවක පෝදා පත්‍රයේ (31) පළවේ.